Breaking News

‘ඇමෙරිකන් සිහිනය’ ඇමෙරිකාවේවත් නැත! – ගීතිකා ධර්මසිංහ

මෙවර ඇමෙරිකන් ජනාධිපති, රිපබ්ලිකන් (සංස්ථාපිතය දැඩිව විශ්වාස කරන, ජාතිකවාදී කඳවුර) නායක ඩොනල්ඩ් ට්‍රම්ප්. වසර අටක් තුළ දෙවන වරටත්, ඡන්දදායකයින් රටේ පළමු කාන්තා ජනාධිපතිවරිය තෝරා පත් කර ගැනීම වෙනුවට ට්‍රම්ප් තෝරා පත් කරගෙන ඇත! ඔහුව විවේචකශීලී, ප්‍රගතිශීලි කොටස් හඳුන්වන්නේ ඇමෙරිකාවේ පාලනයට ෆැසිස්ට් නායකත්වයක් රැගෙන එන නායකයෙකු ලෙසයි.

ඔහුගේ පාලනයේ තතු, සිය පළමු ධුර කාලය තුළ වතාවක් ඔහු විසින් පෙන්නුම් කෙරිණි. එම අත්දැකීම ජනතාවට අවශ්‍යව තිබූ බවත්, එම අවබෝධය විසින් පසුකාලීනව ඔහුගේ පාලනය පිළිබඳ ජනතාව සිය අකමැත්ත පළ කරනු ඇති බවත්, දාර්ශනික ස්ලවොයි ශිශෙක් පවා වරක් සඳහන් කර තිබුණි.

එහෙත් ඇමරිකාවේ ජීවත් වන, පහළ පන්තියේ එදිනෙදා ජන ජීවිතය ගැන අවධානය යොමු කරන කිසිවෙක්ට
ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා, කමලා හැරිස් මෙවර ජයග්‍රහණය කරන බවට විශ්වාස කිරීමට තරම් කරුණු තිබුනේ නැහැ.

ට්‍රම්ප් විශ්වාස කරන හර පද්ධතිය සහ ඔහු විසින් මැතිවරණ තරඟ පිටියට ගෙනෙන ලද ප්‍රධාන සටන් පාඨ මොනවද?

1) වෙනත් රටවල යුද්ධයට අත නොපෙවීම, විශේෂයෙන් යුක්රේනයට මතවාදී සහ ආයුධ ශක්තිය ලබා දීම ඔහු දිගින් දිගටම විවේචනය කළා.

2) ඇමෙරිකන් ජනතාවගේ ආර්ථික ශක්තිය තහවුරු කිරීම වෙනුවෙන් වෙනත් රටවලට ඇදී ගොස් ඇති ඔවුනගේ නිෂ්පාදන බලවේග සිය රට රැගෙන එන බවට පොරොන්දු උනා.

3) ගබ්සාවට එරෙහිවීම.

4) සංක්‍රමණික ප්‍රජාව විසින් ඇමෙරිකාවේ රැකියා අත්පත් කරගෙන ඇති බවත්, ඔවුන් විසින් සිය සංස්කෘතික වටිනාකම් විනාශ කරන බවත්, ඊට එරෙහි විය යුතු බවත් ඔහු දිගින් දිගටම සඳහන් කළා. උදාහරණයකට ඔහායෝ ප්‍රාන්තයේ සිටින අනීතික හේෂියන් සංක්‍රමණිකයන් විසින් ඇමෙරිකන් ජනතාවගේ සුරතලුන් ආහාරයට ගන්නා බව ඔහු මැතිවරණ වේදිකාවේ සඳහන් කළා!

මේ කරුණු පිළිබඳව සිතන, බහුතර පහළ පාන්තික ජනතාව මෙවර මැතිවරණයේදී තමන් පවතින බවත්, තමන් බහුතරය බවත් පෙන්නුම් කොට තිබෙනවා.

මට සමීප උදාහරණවලින් මේ ජයග්‍රහණය අවබෝධ කරගතහොත්:

1) මම ඉගෙනුම ලැබුවේ කෝනෙල් විශ්ව විද්‍යාලයේ. ඒ අති පොහොසත් විශ්ව විද්‍යාලයේ 95% කට වඩා මුල්‍යමය සහ මතවාදී සහාය ලැබෙන්නේ ඩිමොක්‍රටික් පක්ෂයට. නමුත් ඉතකාවලින් ඔබ කිලෝමීටර් 15 ක් එපිටට ගියහොත්, එහි සිටින ජනතාවගේ ජීවන තත්වය ඇමෙරිකානු සිහිනයේ ළඟ පාතකවත් නැහැ. පාසල් ගුරුවරයෙකු වන මගේ සමීපතම මිත්‍රයෙකුට අනුව, ඔහුගේ පාසලේ සිසුන්ගේ නිවෙස්වල සීත කාලයට උණුසුම් කෙරෙන යාන්ත්‍රණයක් නොමැති වීම බහුලව දක්නට ඇති කාරණයක් සහ විවේක කාලයට අහාරයක් රැගෙන නොඑන සිසුන් පිරිස විශාල ප්‍රමාණයක් සිටිනවා. ඒ අනුව පෙනෙන්නට තිබෙන්නේ විශාල කාලයක් තිස්සේ ඩිමොක්‍රටික් පක්ෂයට බහුතර ජනතාවගේ සහාය තිබෙන නිව්යෝක් ප්‍රාන්තයේ පවා පහළ පන්තියේ ජනතාවගේ ජීවන තත්වය සැලකිය යුතු තරමේ යහපත් තත්වයක නොමැති බව.

2) ඔබ කැලිෆෝනියාවේ ගුගල් ආයතනය හෝ සියැටල්වල මයික්රෝසොෆ්ට් ආයතනවල (ඇමරිකානු ඩොලර් බිලියන ගණනක ආදායම් ලබන විශාල ආයතන) අවට ප්‍රදේශ සලකා බැලුවහොත් පෙනෙන්නට තිබෙන දෙයක් වන්නේ විශේෂයෙන් කොවිඩ්වලින් පසුව නිවෙස් අහිමි වූ විශාල පිරිසක් මහ මග ජීවත් වෙන බව. කැලිෆෝනියාවේ මිචිගන් දිස්ත්‍රික්ක නගරය තුළ ඇවිදින්නෙකුට පදික වේදිකාවේ සුදු පැහැයෙන් තැනු ටෙන්ට් තුළ ජීවත්වන විශාල පිරිසක් දැකිය හැකියි. කැරපොත්තන් සහ මීයන්ගෙන් පිරුනු ඒ කලාපවල ජීවත් වන ජනතාව නොසලකා හැර තිබීමේ විපාකය ට්‍රම්ප්ගේ ජයග්‍රහණය තුළින් පෙන්නුම් කරනවා.

3) කැනඩාවේ ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයේ සමහර (මෑත සති තුන තුළ) මට හමුවන ඉන්දියානු සිසුන් (අතේ ඇඟිලි ගණනටත් වඩා අඩුවෙන්, එහෙත් සැලකිය යුතු බවයි මගේ අදහස) ස්ත්‍රීන්ට සහ සුළුතර ජනතාව වෙනුවෙන් සාධාරණතත්වය තහවුරු කිරීම උදෙසා ගෙන ඇති උපක්‍රම (Affirmative actions) පිළිබඳ විශාල අකමැත්තක් දක්වනවා. ඔවුන් අකමැතියි තමන් මෙරටට ඇවිත් තිබෙන්නේ සමානාත්මතාවයේ සහ සාධාරණවත්යේ කතිකාව ශක්තිමත් වීමේ ප්‍රතිපලයක් නිසාය යනුවෙන් පිළිගැනීමට. ඒ වෙනුවට ඔවුනගේ අදහස වන්නේ ඔවුන්ට අවස්ථා ලැබී ඇත්තේ ඔවුන් ‘දක්ෂවීම’ නිසා බවයි. ඒ නිසා දක්ෂතාවයට ඉඩ දීම සිදු කළ යුතු බවයි ඔවුනගේ විශ්වාසය. ඉන්දියාවේ පහළ කුලවල යැයි සැලකෙන ජනයාට ලබා දී තිබෙන අවස්ථා පිළිබඳ විශාල විවේචනයක් ඔවුනට තිබෙනවා. මෙම දැක්ම පොදුවේ තරුණ සංක්‍රමණික ප්‍රජාව අතර දක්නට ලැබෙනවා. එය සැලකිය යුතු කාරණයක්!

කෙසේ වෙතත් ඩිමොක්‍රටික් පක්ෂය සිය මැතිවරණ වේදිකාව බොහෝ විට සරසන්නේ ට්‍රම්ප් පන්නයේ පාඨවලට එරෙහිව ‘සමානාත්මතාවය’ හෝ ‘නිදහස’ පිළිබඳ සටන් පාඨවලින්. ඇත්ත වශයෙන්ම ට්‍රම්ප්ට එරෙහිවීම හැරෙන්නට ඔවුන් විසින් ඉදිරියට දැමු කිසිඳු වැදගත් සටන් පාඨයක් මට හමු උනේ නැහැ.

ආර්ථිකය පිළිබඳ අවධානය යොමු කරන, පහළ පන්තියේ ජනතාවට වැදගත් වන කිසිඳු ප්‍රතිපත්තියක් මැතිවරණ වේදිකාවේ ප්‍රධානව සාකච්චාවට ගැනුණේ නැහැ. ‘නිව්යෝක් ටයිම්ස්’ ඊට හොඳ උදාහරණයක්.

පෘතුවියේ පැවැත්ම පවා අවුලට ගොස් ඇති අද දවසේ, ලෝකයට අලුත් දැක්මක් අවශ්‍යය බවත්, එම දැක්ම රටකට සිමා නොවිය යුතු බවත් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය විසින් පිළිබිඹු කෙරෙනවා. අපි විශ්වාස කරන සම සමාජීය අදහස ගෝලීය විය යුතුයි. ඉහත කී සංක්‍රමණික ප්‍රජාවගේ සමහර අහිතකර අදහස් වලින් පවා පෙන්නුම් කරන්නේ එය බවයි මගේ විශ්වාසය!

leave a reply