ශ්‍රී ලංකාව යළි ආර්ථික අර්බුදයක් කරා ගමන් කරමින් සිටින බවත් ඒ සඳහා වන බොහෝ සංඥා ආර්ථික ක්‍රියාකාරිත්වය තුළ දැනටමත් දැකිය හැකි බවටත් මූල්‍ය හා ආර්ථික විශේෂඥයෝ අනතුරු අඟවයි.
මේ සඳහා නිසි ක්‍රියාමාර්ග නොගතහොත් ලබන වසරේ (2027) දී ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පත්වෙනු ඇති බවත්, දැනටමත් උග්‍ර විදේශ විනිමය පීඩනයකට රට මුහුණ දෙමින් සිටින බවත් ඔවුහු පෙන්වා දී තිබේ.
පසුගිය දිනවල ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව දිගින් දිගටම රුපියල පිරිහීමට ලක් වූ අතර රජයට සහ මහ බැංකුවට එම තත්ත්වය පාලනය කර ගැනීම සඳහා විනිමය පාලන ක්‍රියා මාර්ග අනුගමනය කිරීමට ද සිදුව ඇත. එසේම මහ බැංකුව විසින් දේශීය විදේශ විනිමය වෙළෙඳ පොළේ ඩොලර් විකිණීමට කටයුතු කරමින්, ඒ හරහා රුපියලේ පිරිහීම පාලනය කර ගැනීමට උත්සාහ කළත් එය ද තිරසර විසඳුමක් නොවන බව ද එම මූල්‍ය හා ආර්ථික විශේෂඥයෝ සඳහන් කරති.
2022 වසරේ රට ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දීමෙන් පසුවත් ඉන් නිසි පාඩම් ඉගෙන ගෙන තිරසර ලෙස විදේශ විනිමය ඉපයුම් මාර්ග වැඩි කර ගැනීමේ උපාය මාර්ග වලට යොමුව නැති බවට චෝදනා කරන ඔවුහු, අයිඑම්එෆ් වැඩසටහනක් සම්පූර්ණ කරමින් සිටියදී ද නැවත වතාවක් රටට විදේශ විනිමය පීඩනයකට මුහුණ දීමට සිදුව ඇති බවත් එසේම ණය තිරසර භාවය (විදෙස් ණය ගෙවීමේ හැකියාව) අතින් ඉහළ අවදානමක සිටින බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින්ම සිය නවතම සමාලෝචන වාර්තාව මගින් රතු එළියක් දල්වා ඇති බවත් පෙන්වා දෙයි.
ඔවුන් තවදුරටත් සඳහන් කරන්නේ 2027 මාර්තු මාසයේ මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන අවසන් වීමෙන් පසු කාලයේ ආර්ථික හා විදේශ විනිමය කළමනාකරණයට ශ්‍රී ලංකාව සූදානම් විය යුතුව ඇති බවත් එය ඉතාම අභියෝගාත්මක වනු ඇති බවයි.
ආණ්ඩුවට දැන් සිදුවී ඇත්තේ නටපු නැටුමකුත් නැති බෙරේ පලුවකුත් නැති වීම වැනි වැඩකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන කියන ආකාරයට ඊටත් වඩා සුවච කීකරු ආකාරයට කටයුතු කර ඇතත් දැන් ඔවුන්ම පස්ස හරවමින් දැන් අපිට කරන්නට දෙයක් නෑ කියමින් රතු එලි දල්වති. අවසානයේ සිදුවූ වේ ජනතාව නිකරුනේ බදු බර දරාගනිමින් දුක් විඳීමයි. නමුත් එම දුක් විඳීමෙන් ද ලැබූ ප්‍රතිපලයක් නැත. නැවත ණය ගෙවීම අර්බුදයකට යා හැකි බව කියවෙයි.
වෙන එකක් තබා මෙම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගමන් කිරීමේ මූලික අඩිතාලම දැමූ රනිල් වික්‍රමසිංහ ද ඉදිරියේදී ආර්ථිකය කඩා වැටීමට නියමිත බව අනාවැකි පළකරමින් සිටියි. ඔහු පාලනයේ සිටියත් සිදුවීමට නියමිතව තිබුනේ මෙයයි. මන්ද ජාතික ජන බලවේගය ඔහුගේ වැඩපිළිවෙලින් බින්දුවක වෙනසකින් තොරව ක්‍රියාත්මක කරමින් ඇති බැවිනි. නමුදු ඒ කිසිවකින් දැන් වැඩක් නැත. රනිල් නැවතත් පොර වී ජාතික ජන බලවේගය ආණ්ඩුවට ආර්ථිකය හැසිරවිය නොහැකි බවට ලේබල් වීමද වැළක්විය නොහැකි වනු ඇත.






