Breaking News

හෙටත්, හෙටින් පසුවත්……

රජීව දසනායක

ගොඩක් දුක හිතෙන සිද්ධියක් ගැන දුක්බර වචන දාලා ලියන්න. නැත්නම් තරහ යන දෙයක් ගැන තරහ යන වචන දාලා හරි, හිනායන දෙයක් ගැන හිනායන වචන දාලා හරි ලියන්න. එළිසමය තිබ්බත් කමක් නෑ, නැතත් කමක් නෑ. ලියලා ෆේස්බුක් එකේ දාන්න. ඒක ගොඩක් ජනප්‍රිය කවියක් වේවි. හැබැයි මට නම් ඕවා රසයක් මතු කරනවට වඩා රසය හිඟාකන කවි. මම ඒවට කැමති නෑ.

මම කැමති වෙන කවුරුත් නොබලන කෝණෙකින් බලලා, ඒ කෝණෙන් බැලුවත් නොපෙනෙන දෙයක් දැකලා, එහෙම පෙනුනත් නොහිතෙන දෙයක් කියන කවි වලට. කවියාගේ පරිකල්පන ශක්තිය (imagination) කියවන කෙනා පුදුමයට පත් කරන්න ඕනෙ. මම කවි ලියන්න උත්සාහ කරන්නෙත් එහෙමයි.

ඉතින් එහෙම උත්සාහ කරලා මම ලියන කවි නිකන් අපි කැම්පස් කාලෙ ට්‍රිප් එකක් ගිහින් අන්තිම දවසේ උයන මාලුව වගේ. කන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා නම් ඉතුරු වෙලා තියෙන හැම දෙයක්ම දානවා, අපරාදෙ නෙ කියලා. ඉදිලා ඉවරවෙද්දි තමයි ඒකට නමක් දාන්නෙ. (ගොඩක් වෙලාවට ආහාර ජීර්ණ පද්ධතියේ එක කොණකින් එළියට එන දෙයක් සිහිගන්වන නමක් තමා දාන්නෙ). හාමතින් නොමැරී ඉන්න වෙන ක්‍රමයක් නොතිබුනොත් මිසක් ඒක කන්න බෑ! ඉතින් වෙනස් විදිහට බලලා, වෙනස් විදිහට
දැකලා, වෙනස් විදිහට ලියන මගේ කවිත් ටික දවසකට පස්සෙ බලද්දි මටම ඊයා කියලා හිතෙනවා! ඒ වැඩේට උත්සාහය විතරක් මදි….

මට බැරි උනාට එහෙම ලස්සන කවි ලියන අය ඉන්නවා. වැඩේ කියන්නෙ, මුහුණුපොත් කවි යුගයේදී ඒවා බොහොමයක් අර මුලින් කියපු කවි වගේ ජනප්‍රිය වෙන්නේ නෑ.

මේඛලා උදාරී ලියනගේ ගෙ අළුත් කාව්‍ය සංග්‍රහය මුද්‍රණය වෙන්නේ මේ අවුරුද්දේ ගොඩගේ අත්පිටපත් තරගයෙන් ජයග්‍රහණයක් ලබමින්, ගිය වසරේ ඇගේ “දම් පාට මේකුළ” කාව්‍ය සංග්‍රය වගේම. (මාත් දැම්මා… පැරදුනා… ) ඇය සම්මාන දිනපු, ඇත්ත විචාරකයන්ගේ අවධානය දිනාගත් කිවිඳියක්. ඒත් මට පුළුවන් කමක් තිබුණා නම් ඇයව තියන්නෙ දැන් ඉන්න තැනටත් පියවර කීපයක් ඉහළින්. මොකද පරිකල්පන ශක්තියෙන් පාඨකයා පුදුම කරන ගමන්ම, ජනප්‍රිය වෙන කවි නිර්මාණය කිරීමේ සුවිශේෂී හැකියාව නිසා. (ඇගේ “හිමියනි, මම ජීවක නම් වෙමි” වගේ නිර්මාණ ප්‍රබුද්ධ විචාරකයන්ගේ නොමඳ ප්‍රශංසා ලබන ගමන්ම මුහුණු පොතෙත් ශෙයා වුනේ දස දහස් ගණනින්… ).

සැමියාගෙන් හිරිහැර ලබන කාන්තාවක් ගැන කවියක් කොහොම ලියවෙයිද? එක්කෝ ඇයගේ මව ලියන විදිහට “අනේ, චූටි කාලෙ පවුඩර් දාපු කම්මුලේ තැලුම් පාරවල් දක්කාම ඇස තෙත් වෙනවා, අත වෙවුලනවා, හදවත ගැස්සෙනවා” මාදිලියට ලියයි. නැත්නම් “ඔයාට මම මෙහෙමයි” වගේ බිරිඳගේ අඳෝනාවක් විදිහට හරි, “උඹ පිරිමියෙක්ද” වගේ කාගෙ හරි දෝශාරෝපනයක් විදිහට හරි ලියයි. ඒත් මේඛලා ලියන්නෙ කොහොමද?

“ඔයාට නම් ඉන්නෙ රත්තරන් මහත්තයෙක්.. සුජාතා කියයි…

සුජාතා නුඹ දැක නැතුව ඇති
දවස් ඇත මම
නුහුරට සාරිය පොරවන
වත්සුණු වැඩිපුර තවරන
නිය කැළැල් සඟවන

සුජාතා දන්නවද,
ගෑණු ඉන්නවා පපුව ගිනි ඇවිලෙන
ඒත් හිනාවක් පළඳින…….

නුඹ කියූ රත්තරන් මහතා
ප්‍රේමයේ ලේබලය අලවා
මගේ තටු සිඳලන
ඔහු තුටින් ඉගිලෙන
කළුම කළු හදවතක් දරා
රත්තරන් පාටට හිනැහෙන

සුජාතා,

ගෑණුනම් ඕනෑ තරම් ඇත
රත්තරන් මහත්වරු හිමි වුණ
ළං වී බලාපන්
උන් තොල් වලින් විතරක් හිනැහෙන….”

වැලපිලි නෑ, අනුකම්පාව හඟාකෑම් නෑ. මහත්තයාට රත්තරන් කියන කෙනෙකුට දෙන උත්තරයක් විතරයි. මතුපිටින් සරලයි, ඒත් ගැඹුරුයි. පොලු පාරවල් ගහන්නේ නැතුවට විදුලිය වගේ සැරයි. “ළං වී බලාපන්, උන් තොල් වලින් විතරක් හිනැහෙන……..”. ගෑනු විඳවන බව නොදැන විඳවමින් ලෝකෙට බොරු මූණක් පෙන්නන මේ සමාජයේ හදවත පතුළටම කිඳා බහින ඊතලයක් වගේ. පුහුණු රසවින්දනයක් ඇති අයට වගේම එහෙම නැතත් කවි කියවන්න කැමති හැමෝටම දැනෙන නිර්මාණයක්. මේක තමා මේඛලාගේ අනන්‍යතාවය.

මේඛලාගේ අළුත් පොත මට ලැබුනේ අද හවස. ඇත්තටම තාම කියවලා ඉවරත් නෑ. ඒ ගැන මම ලියන එකත් රුපියල් අස්සෙ අරුක්කාල් ගහනවා වගේ තමා. ඒත් මම ගොඩක්ම කැමති කිවිඳියකගේ පොත අතට ලැබුණු වෙලේ ඉඳන් යමක් ලියන්නමයි හිතෙන්නේ. මේක ඉතින් විචාරයක් නෙවේ. අවංකව හිතට ආපු දේවල්. “වන පස මලින් පුද කලැයි පවසනු කවර වරදද” තියරි එකෙන් පිළිගන්න!

කියාගන්න භාශාව ප්‍රමාණවත් නොවන දේවල් හැම දෙනාටම දැනෙන විදිහට කියන්න පුළුවන් නම්, එතන තමා කවියේ හොඳම තැන. එතැනට යෑමේ සුවිශේෂී හැකියාවක් තියන කිවිඳියක් තමන්ගේ පොතට දාලා තියන නම හරි අපූරුයි.

“හෙටත් ලියැවිය යුතුය තව කවි”

ඔව්… හෙටත්, හෙටින් පසුවත්! ඔබට මගේ උණුසුම් සුබ පැතුම්, මේඛලා!

leave a reply