ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහනේ කැපවීම්වලට අනුකූලව ලබන වසරේ අයවැය සකස් විය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝජියෝ ප්‍රකාශ කර ඇති බව ලංකාදීප පුවත්පත වාර්තා කර තිබේ.
ජනපති ට්‍රම්ප් මෙරට අපනයනයන් සඳහා පනවා ඇති තීරු බද්දෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය මන්දගාමී වීමේ අවදානමක් තිබෙන බව ද ඔහු පවසයි.
2026 වසරේ අයවැය සකස්වීමේදී රජයේ ආදායම ඉහළ දමා ගැනීම සඳහා ශක්තිමත් ක්‍රියාමාර්ග ඇතුළත් විය යුතු බවත් ක්ෂේත්‍ර සඳහා ප්‍රමාණවත් ප්‍රතිපාදන වෙන්කිරීම් එයට ඇතුළත් විය යුතු බවත් ඔහු පවසා ඇත.
බදු නිදහස් කිරීම් ලබාදීම සඳහා වන නීති රාමුව, බදුවලට අනුකූලවන පිරිස ඉහළ දැමීම, බදු පදනම පුළුල් කිරීම සහ රාජ්‍ය මූල්‍යකරණය වැඩිදියුණු කිරීම පිළිබඳව ශක්තිමත් පියවරයන් ලබන වසරේ අයවැයට ඇතුළත් විය යුතු බවද ඔහු ප්‍රකාශ කර තිබේ.
එසේම රාජ්‍ය වියදම් හිඟයක් නැවත ඇතිවීම වැළැක්වීම සඳහා වන පියවර යන්ද අයවැයට ඇතුළත් වීම ඉතා වැදගත් බවද ඔහු පවසයි.
රාජ්‍ය – පුද්ගලික හවුල්කාරීත්වය, රාජ්‍ය ව්‍යවසායන්, ප්‍රසම්පාදනය හා රාජ්‍ය වත්කම් කළමනාකරණය පිළිබඳව ඉදිරියේදී සකසන පනත් කෙටුම්පත් රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත හා හොඳම භාවිතයන්ට අනුකූල විය යුතු බවද පැපජෝජියෝ ප්‍රකාශ කර ඇත .
මූල්‍ය අවදානම් අවම කිරීමටත්, බලශක්ති ක්ෂේත්‍රයේ මූල්‍ය තිරසරභාවයට සහායවීමටත් විදුලිය හා ජලය ඒකකයක් නිපදවීමට යන පිරිවැයට සරිලන ගාස්තු ක්‍රමයක් ඉදිරියටත් ක්‍රියාත්මක විය යුතු බවද ඔහු පවසා තිබේ.
එසේම මතුව ඇති ගෝලීය වෙළඳ ප්‍රතිපත්ති අවිනිශ්චිතතාව සහ වර්තමාන භූ දේශපාලනයේ නිරන්තරයෙන් සිදුවන වෙනස් වීම්ද මෙරට ආර්ථික වර්ධනය පහළ වැටීමට තිබෙන අවදානම ඉහල දමන බවද ඔහු පවසා තිබේ.
මෙම අවදානම් අඛණ්ඩව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව මෙන්ම මූල්‍ය අවකාශය නැවත ගොඩනගා ගැනීමේ සහ විදේශ සංචිත නැවත ගොඩනගා ගැනීමේ අවශ්‍යතාව පෙන්නුම් කරන බවද ඔහු පවසයි.
මෙහෙයුම් ප්‍රධානියා මේ සරලව පවසන්නේ ඉදිරි අයවැය හරහා බදු දැල ශක්තිමත් කිරීම, රාජ්‍ය දේපොළ විකිණීම, රාජ්‍ය සේවාවල බර කෙලින්ම ජනතාව පැටවීම අරමුණු කරගෙන ඉදිරි අයවැය සකස් කරන ලෙසයි.
මෙම බලපෑම ජාතික ජන බලවේගයේ පළමු අයවැය සඳහා ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් කරන ලදී. අපේ රටේ ජනතාවගේ ආර්ථිකය තීරණය කරනු ලබන්නේ ජනතාවගේ ඡන්දයෙන් බලයට පත්වෙන ආණ්ඩුව නොව ජාත්‍යන්තර අරමුදලයි.