Breaking News

ගෘහ සේවයට ගිය තරුණියකට ඉතිහාසයේ වැඩිම වන්දි මුදල ලැබීමෙන් සතුටු විය හැකිද?

මැද පෙරදිග රටක ගෘහ සේවයට කාන්තාවකට මෙතෙක් ලැබුණු වැඩිම වන්දි මුදලක් ලැබුණු බවට ලංකාවේ මාධ්‍ය මහත් ආඩම්බරයෙන් වාර්තා කරනු දක්නට ලැබේ. එම වන්දි මුදල යනු ලක්ෂ 68ක මුදලකි.

මෙම වන්දි මුදල සහ එම කාන්තාවට අත්වූ ඉරණම යනු ලංකාවේ විදෙස් ගත ශ්‍රමිකයන් මුහුණ දෙමින් සිටින ප්‍රශ්නයේ බරපතල කම පෙන්වන්නකි. එහෙත් එම කාරණය යට ගසා ආණ්ඩුව ඇතුළු මාධ්‍ය ඉල්ලා සිටින්නේ ලක්ෂ 68ක් ලැබීම ගැන ප්‍රීති වන ලෙසයි.

මෙම සිදුවීම වාර්තා කර ඇති ආකාරයට කුවේට් රාජ්‍යයේ ( Sabah Al Salim City ) නගරයේ ගෘහ සේවය සදහා ගොස් තිබුණේ එරට රාජ්‍ය සේවයේ නිරත පවුලකට අයත් නිවෙසකටය .

එහිදී එම නිවසේ සිටින මෙම හාම්පුතාගේ 32 හැවිරිදි පුතා විසින් අවස්ථා කීපයක දී මෙම කාන්තාවගේ කැමැත්තෙන් තොරව ඇය බලහත්කාරයෙන් ලිංගික අතවරයට ලක් කර තිබේ.

කෙටි කාලයක් ගත වනවිට මෙම කුවේට් ජාතික තරුණයාගේ මව විසින් මෙම ශ්‍රී ලාංකික තරුණිය ගැබ් ගෙන ඇති බව තේරුම් ගැනීමෙන් අනතුරුව,ඇයගේ නිවෙස වෙත රහසිගතව වෛද්‍යවරයෙකු ගෙන්වා,මෙම තරුණියගේ කැමැත්තෙන් තොරව ගබ්සා කිරීමක් කර තිබේ.එහිදී මෙම සිදුවීම කිසිවෙකුටත් ප්‍රකාශ නොකරන ලෙස ඇය විසින් මෙම ශ්‍රී ලාංකික තරුණියට තර්ජනය කර ඇතැයි වාර්තා වේ.

මෙම සිදුවීමෙන් පසුව මෙම කාන්තාව අධික රුධිර වහනයකට ලක්ව ඇති අතර , එයින් දින තුනකට පසුව ඇය ආපසු ශ්‍රී ලංකාවට එවීම සදහා 2023.03.23 දින රෝද පුටුවක හිදුවා කුවේට් රාජ්‍යයේ ගුවන් තොටුපොළ වෙත කුවේට් ජාතික තරුණයාගේ පියා විසින් ගෙනැවිත් භාර දී තිබේ.

කුවේට් ගුවන් තොටුපොලේදී එරට ගුවන් සේවා නිලධාරීන් විසින් රෝගී වී රෝද පුටුවක සිටි මෙම කාන්තාවගෙන් කරුණු විමසා ඇති අතර , එහිදී තමන් මුහුණ දුන් මෙම සිදුවීම එම නිලධාරීන් හමුවේ පවසා තිබේ.

එහිදී මෙම තරුණියගේ තත්ත්වය ගුවන් ගමනක් සඳහා සුදුසු මට්ටමක නොපවතින බැවින් ගුවන් සේවා බලධාරීන් වහාම මේ පිළිබඳව කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණි.

පසුව ලංකාවේ තානාපති කාර්යාලයේ නිලධාරීන් හරහා රෝහලට ඇතුලත් කර ඇත. ඉන්පසුව මෙම සිදුවීම අහමදි අධිකරණය වෙත රැගෙන ගිය මෙම ශ්‍රී ලාංකික නිලධාරීන් , එරට නීතිවේදීන් සමග මාස 06 ක පමණ නඩු කරය පවත්වාගෙන යාමෙන් පසු මෙම තරුණිය වෙත කුවේට් ඩිනාර් 6,500 ක (රුපියල් ලක්ෂ 68 ක) වන්දි මුදල ලබා දීමට කටයුතු කර තිබුණි.

ඒ අනුව මෙම වන්දි මුදල, යළි ශ්‍රී ලංකාවට පැමිණීම සදහා ගුවන් යානා ප්‍රවේශ පත්‍රය සහ මෙම තරුණියගේ ගමන් බලපත්‍රය කුවේට් ජාතිකයා විසින් ලබා දීමෙන් අනතුරුව, මෙම තරුණිය සැප්තැම්බර් 03 වැනිදා දිවයිනට පැමිණ තිබේ.

කුවේට් රාජ්‍යය තුළ ඇති පසුගාමී නීති යටතේ පවා බලහත්කාරී ලිංගික අතවරය වසර ගණනක් දඬුවම් ලබාදෙන වරදකි. එසේම ගබ්සාව ද නීතියෙන් තහනම් දඬුවම් ලැබිය හැකි වරදකි. එසේනම් එවැනි දඬුවමකින් තොරව වන්දි මුදලක් ලබාදීමෙන් පමණක් අදාළ කුවේට් ජාතිකයාට බේරීමට හැකිවන්නේ කෙසේද? ලංකා බලධාරීන් ඒ පිළිබඳ හෙළිකළ යුතුය.

අනිත් අතින් මෙවැනි සිදුවීමක් හරහා හෙළිවන අනෙක් කාරණා නම් ලක්ෂ 68ක් වැනි මුදලක් මෙතෙක් ලැබුණු වැඩිම මුදල නම් මෙතෙක් විදේශ ගත වූ කාන්තාවන්ට සිදුවූ අසාධාරණයකදී ලැබී ඇත්තේ ඊට අඩු මුදලක් බවයි. නැතහොත් සිදුවූ අසාධාරණයකදී වන්දි මුදලක් හෝ ලැබී නැති බවයි.

ලංකාවේ වසරකට මැද පෙරදිග ගෘහසේවය සඳහා යන කාන්තාවන් ඝාතනය වීමේ, ලිංගික අතවරවලට ලක්වීමේ, විවිධ අඩත්තේට්ටම් සිදුවීම, වැටුප් ලබා නොදී සේවය ලබාගැනීමේ සිදුවීම් වසරකට 200ක් 300ක් වාර්තා වේ. ඔවුන්ට සිදුවන අසාධාරණවලට එරෙහිව නිතිය ක්‍රියාත්මක වීමක් හෝ වන්දි ලබාදීමක් හරිහැටි සිදු නොවන බව මේ සිදුවීම හරහාද තවදුරටත් තහවුරු වේ.

රනිල් වික්‍රමසිංහලා, මනුෂ නානායක්කාරලා උදේ හවා කාන්තාවන්ට රැකියා සඳහා රට යෑම ප්‍රවර්ධනය කරමින් සිටියි. නමුත් රැකියා සඳහා යන කාන්තාවන්ට ගෞරවාන්විතව තම රැකියාව කිරීමට අවශ්‍ය ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීමට ඔවුන්ට අවශ්‍ය වී නැත. ඔවුන්ට අවශ්‍යව ඇත්තේ රැකියා සඳහා යන කාන්තාවන් කුමන පීඩාවක් මැද හෝ එවන ඩොලර් ලබාගැනීම පමණි.

leave a reply