Breaking News

ඔන්ලයින් ටීචිංවල ඇත්ත තත්ත්වය ජ’පුර විශ්ව විද්‍යාලය සමීක්ෂණයකින් පෙන්වයි

ඔන්ලයින් ටීචිං පුලුවන්ද?

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය මගින් තම සිසුන්ට ඇති අන්තර්ජාල පහසුකම් පිළිබඳව කරන ලද සමීක්ෂණයක අතුරු වාර්තාව පහත දැක්වේ. කළමනාකරණ පීඨය යනු මේ විශ්වවිද්‍යාලයේ තම අධ්‍යයන පාඨමාලාවන්ට සහ පරිපාලන කටයුතුවලට වැඩියෙන්ම අන්තර්ජාලය භාවිත කරන පීඨයයි. එසේම එය මේ රටේ ප්‍රමුඛතම කළමනාකරණ පීඨයයි. මෙයින් පෙන්වන්නේ එවැනි තැනක පවා සිටින සිසුන්ගේ ඇත්ත තත්ත්වයයි.

ඔන්ලයින් ඉගැන්වීමක් හරියට කරන්නට නම් සිසුන්ට කුමන වර්ගයක හෝ පරිගණකයක් තිබිය යුතුය. එසේ තිබෙන්නේ ප්‍රතිචාර දැක්වූ සිසුන්ගෙන් 69% කට පමණි. නමුත් ඩිවයිස් එක පමණක් ප්‍රමාණවත් නැත. කනෙක්ෂන් එකත් හරියට තිබෙන්නට ඕනෑය. එසේ නොමැතිව සක්‍රීය සහ අඛණ්ඩ ඔන්ලයින් ඉගැන්වීමක් කිසිසේත් කළ නොහැකිය. එසේ ඩිවයිස් එක සහ කනෙක්ෂන් එක කියන දෙකම හරියට තිබෙන්නේ 26% කට පමණකි. ඊට අමතරව සිසුන්ගෙන් 35% ක් ම ඩේටා සඳහා මසකට වියදම් කරන්නේ රුපියල් 400 ට වඩා අඩුවෙනි. 65% ක් ම රුපියල් 800 ට අඩුවෙනි.

පන්ති කාමර ඉගැන්වීමට ආදේශකයක් ලෙස කෙසේ වෙතත් අනුපූරකයක් ලෙස නම් ඔන්ලයින් ක්‍රම භාවිත කිරීම අවශ්‍යය. ඒ ගැන විවාදයක් නැත. එසේම විශ්වවිද්‍යාලයේ පමණක් නොව රටේ අනෙකුත් හැම තැනකම කාර්යාලීය සහ පරිපාලන කටයුතු හැකි තාක් දුරට ඔන්ලයින් කිරීම අවශ්‍යය. එහෙත් එසේ ඔන්ලයින් පටන් ගැනීමට පෙර කළ යුතු වැදගත් දෙයක් තිබේ. එනම් අන්තර්ජාල පහසුකම් ව්‍යාප්ත කිරීමයි. ඒ පහසුකම් යන්නට ආවරණය, පරිගණකය සහ ප්‍රවේශය (ඩේටා ලබා ගැනීමේ හැකියාව) යන අංග තුනම අවශ්‍යය. මේ අතුරින් දැනට හදිස්සියේ විසඳා ගත හැක්කේ ඩේටා ප්‍රශ්නය පමණකි.

මේ කෝවිඩ් අර්බුදය නිසා අප වහාම ඔන්ලයින් ඉගැන්වීම්වලට යා යුතු යැයි යම් පිරිසක් කල්පනා කරති. එය බරපතල වරදකි. අප කළ යුත්තේ වහාම ඔන්ලයින් ඉගැන්වීම් පටන් ගැනීම නොව, හැකි ඉක්මනින් ඔන්ලයින් ඉගැන්වීම සඳහා අවශ්‍ය තත්ත්වයන් හා පහසුකම් ඇති කර ගැනීමට කටයුතු කිරීමය. මේ වසංගතය විසින් අපට කියන්නේ ඔන්ලයින් හෙට පටන් ගන්නට කියා නොව, ඔන්ලයින් සඳහා වහාම රට සූදානම් කර ගන්නා ලෙසටය. එය උදාහරණයකින් පැහැදිලි කළහොත් මෙසේය. අපි අපේ දරුවන්ට පිහිනීමට ඉගැන්විය යුතුය. එම හැකියාව ලබා දීමෙන් ඔහුට හදිසි දියේ ගිලීමකින් ගැලවිය හැකි වේ. එහෙත් දරුවා දැන් දියේ ගිලෙමින් සිටින්නේ නම් අප කළ යුත්තේ ඔහුට පිහිනුම් පාඩම් කියා දීමට උත්සාහ කිරීම නොව ඔහුව වහාම දියෙන් ගොඩ ගැනීමය. එසේ දියෙන් ගොඩ ගත් පසුව හැකි ඉක්මනින්ම එළඹෙන දවසක ඔහුව පිහිනුම් පන්තියකට යැවීමය. සිසුන්ගෙන් බහුතරයකට පරිගණකයක් නැති, තමන්ගේ ප්‍රදේශයට හරි හමන් අන්තර්ජාල ආවරණයක් නැති සහ ඩේටා සඳහා වියදම් කිරීමේ හැකියාවක් නැති සිසුන්ව දියට තල්ලු කොට කොහොම හරි ගොඩ වරෙල්ලා යැයි කීම නුවණක්කාර හෝ මානුෂික වැඩක් නොවේ.

අන්තර්ජාල ප්‍රවේශය පුළුල් කිරීම දැන් ජාතික ප්‍රමුඛතාවක් බවට පත් විය යුතුය. එය උමතුවක් බවට පත් උනත් කමක් නැත. ඒ වෙනුවෙන් කළ යුතු හැම දෙයක්ම කළ යුතුය. නමුත් අනුපිළිවෙල පටලවා නොගත යුතුය. මා කියන්නේ කෝච්චිය දුවවිය යුතු නැති බව නොවේ. ඊට පෙර රේල් පාර හදන ලෙසටය.

leave a reply