නැගෙනහිර මලිත්තමඩු කිරි ගොවීන්ගේ ප්‍රශ්නයට තවමත් විසඳුම් නැහැ

Date:

කිරි ගවයන්ට තණ කෑම සදහා වසර ගණනාවක් තිස්සේ වෙන්කර තිබෙන අක්කර දහස් ගණනක අයිතිය නීතිගත කරන ලෙස රජයට බලකරමින් නැගෙනහිර පළාතේ කිරි ගොවීන් විරෝධයක් දියත් කර තිබේ.

“කිරි ගොවීන්ගේ ජීවනෝපාය සඳහා මහවැලියෙන් ලබා දුන් හෙක්ටයාර 3025 අපිට ගැසට් කරලා දෙන්න කියලා ඉල්ලීම් කරලා තමයි අපි පාරේ සටන් කරමින් ඉන්නේ. අපි දින 730ක් තිස්සේ විසඳුමක් බලාපොරොත්තුවෙන් ඉන්නවා.”

කිරි ගොවීන්ගේ ගැටළුවට විසදුම් ලබා දෙන ලෙස බල කරමින් මඩකලපුව සිත්තාන්ඩි පාසල ඉදිරිපිටදී 2023 වසරේ සැප්තැම්බර් 15 වැනි සිකුරාදා කිරි ගොවීන් ආරම්භ කළ විරෝධතාවයට වසර දෙකක් සම්පුර්ණ වු 2025 සැප්තැම්බර් 15 වැනිදා මයිලත්තමඩු මාදවනෙයි කිරි ගොවි සමිතියේ සභාපති සීනිතම්බි නිමලන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ තමන්ගේ බඩ වියත තිරසාර ලෙස රැක දෙන විසඳුමක් ලබා දෙන ලෙසයි.

මඩකලපුව සිත්තාන්ඩි පාසල ඉදිරිපිටදී 2023 වසරේ සැප්තැම්බර් 15 වැනි සිකුරාදා කිරි ගොවීන් මුල් වරට විරෝධතාව ආරම්භ කර තිබුනේ 2023 සැප්තැම්බර් 13 වැනිදා මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති ගොවි කමිටු රැස්වීමේදී කිරි ගොවීන්ගේ ගැටළුවට විසදුම් ලබා දීමට තමන්ට නොහැකි බව දිස්ත්‍රික් ලේකම් කමලාවතී පද්මරාජා පැවසීමෙන් පසුවයි.

මඩකලපුව, මයිලත්තමඩු, මාදවනෙයි ප්‍රදේශයේ පිහිටි තෘණ භුමිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නැගෙනහිර ආණ්ඩුකාරධුරය සඳහා පත් කරන ලද වියත් මග ක්‍රියාකාරිණි අනුරාධා යහම්පත් විසින් ඒ සමයෙහි පදිංචි කළ සිංහල පවුල් 150 ට පමණ බඩ ඉරිඟු ඇතුළු බෝග වගා කිරීම සඳහා පවරා දීමත් සමග පාරම්පරිකව කිරි ගවයන් පාලනය කරන්නන් සහ වගාකරුවන් අතර පසුගිය කාලයේ අවස්ථා කිහිපයකදීම ගැටුම් ඇති වී තිබුනි.

කිරි ගොවීන් පවසන්නේ එම ප්‍රදේශය නියෝජනය කරන ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී කන්දසාමි ප්‍රභු මේ ප්‍රදේශය නිරීක්ෂණය කර ගියත් තවමත් විසඳුමක් ලැබී නොමැති බවයි.

වසරකට අධික කාලයක් තිස්සේ අඛණ්ඩව සිදු කළ අරගලයේ ප්‍රතිළුලයක් ලෙස සිංහල ගොවීන් එම භුමියෙන් ඉවත්ව ගිය ද කිරි ගවයන්ට තණ කෑම සදහා වෙන්කර තිබෙන භුමිය ගැසට් පත්‍රයක් මගින් මෙතෙක් පවරා නොදීම නිසා පෙර දී මුහුණ දුන් ගැටළුව යළිත් වරක් ඉස්මතු විය හැකි බව මයිලත්තමඩු මාදවනෙයි කිරි ගොවි සමිතියේ සභාපති සීනිතම්බි නිමලන් අවධාරණය කරයි.

Share post:

Popular

More like this
Related

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...