2026 සිට වසරේ 1 සහ 6 ශ්‍රේණිවල ඉගෙනුම ලබන ළමුන්ට පාසල් පෙළපොත ලබා නොදෙන බවට ආණ්ඩුව විසින් නිවේදනය කිරීම හරහා මතුවිය හැකි ගැටළු ගණනවක් පිළිබඳ විවිධ පාර්ශව අදහස් දක්වා තිබේ.
පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් පැවසුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නමින් සිදුකිරීමට සූදානම් වන්නේ අධ්‍යපනයට රජය සිදුකරන වියදම් අඩුකිරීමට බවයි. එහි එක කොටසක් ලෙස විශාල වියදමක් දැරීමට සිදුවන පාසල් පෙළපොත වෙනුවට මොඩියුල් ක්‍රමවේදයක් හඳුන්වා දීමට සූදානම් වන බවත් තවත් එකක් ලෙස දරුවන් 50ට අඩු පාසල් වසා දැමීම සඳහා පියවර ගනිමින් සිටින බවත් අන්තරේ කැඳවුම්කරු පවසයි.
දැන් ආණ්ඩුව සිදුකරමින් සිටින්නේ වෙන්කරන මුදල් වැඩිකිරීම වෙනුවට වෙන්කරන මුදලට අනුව වියදම් කප්පාදු කිරීම බව අන්තරේ කැඳවුම්කරුගේ අදහසයි.
මෙම හඳුන්වා දෙන මොඩියුල් ක්‍රමය තුළ QR කෝඩ් ස්කෑන් කරමින් වැඩිදුර අධ්‍යාපනයට අවශ්‍ය දේවල් ලබාගැනීමට තිබෙන බවත් ඒ සඳහා අවශ්‍ය අන්තර්ජාල පහසුකම්, දුරකථන පහසුකම් හෝ පරිගණක පහසුකම් ලබාදීමට දෙම්වපියන්ට නොහැකි බව මධුෂාන් චන්ද්‍රජිත් පවසයි.
මේ අතර අද කොළඹදී පැවති මාධ්‍යහමුවකදී අදහස් දක්වමින් නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ ජාතික කමිටු සාමාජිකා නිරෝෂා ගුරුගේ පැවසුවේ අධ්‍යාපනය සඳහා වැඩි පහසුකම් දෙන බව පවසමින් පැමිණි ආණ්ඩුව දැන් පාසල් 3000ක් පමණ වසා දැමීමට සැරසෙන බවයි.
එසේම කිලෝ මීටර් එකක් එකහමාරක් දුරක තිබුණු පාසලට පවා ඉතා අපහසුවෙන් දරුවන් යැවූ දෙමව්පියන්ට දැන් ආණ්ඩුව පවසන්නේ එම පාසල් වසා දමන බවත් නගරයේ තිබෙන පාසලට දරුවන් යැවීමට සූදානම් වෙන ලෙස බව නිරෝෂා ගුරුගේ පවසයි.
ඇය වැඩිදුරටත් පැවසුවේ දැන් පෙළපොත් වෙනුවට මොඩියුල, බාර්කෝඩ් ගෙනෙන බව පැවසුවත් එම වචන මොනවද යන්න ගැනවත් ග්‍රාමීය ජිවත්වන මව්වරුන් නොදන්නා බවයි. අවසානයේ සිද්ධ වෙන්නේ මොකක් හෝ සමාගමක් මුද්‍රණය කරන පොතක් දෙමව්පියන්ට මිලදී ගැනීමට සිදුවනු ඇති බව ඇය පවසයි.