Breaking News

දම් පාට මේකුළ

රජීව දසනායක

මම සිංහල කවි වලට වඩා ඉංග්‍රීසි කවි කියවන කෙනෙක්. ලොකු කමකට කියනවා නෙවේ; ඒ මගේ රුචිකත්වය… එහෙම වෙන්න එක හේතුවක් තමයි සිංහල කාව්‍යයන්ට පාදක වන “ප්‍රශ්ණ”, සැබෑ ලෝකයට වඩා, වෙනත් නිර්මාණ වලින් අත්විඳිනවා වගේ හැඟී යාම. මම වැඩකරන්නෙ රෝහලක. එතනට වඩා මිනිස්සු අසරණ වෙන තවත් තැන් තිබේනම් බොහොම කීපයයි. ඒත් මේ ගැන කාව්‍ය නිර්මාණ තියේද? තුන්සිය හැටපස් දවසෙම මිනිස්සු විඳින මේ දුක් දකින කවියෝ කවුද ඉන්නෙ?

එක්කෙනෙක් ඉන්නවා. මේඛලා උදාරී ලියනගේ.

මට ඇයව හඳුනගන්නේ “දම් පාට මේකුළ” කාව්‍ය සංග්‍රහයේ එන “හිමියනි මම ජීවක නම් වෙමි” කවිය මෙසෙන්ජර් කවි සමූහයකදී දැකලා. එවෙලේම මා සිටි සෑම කවි ගෲප් එකකටම මේ කවිය යැව්වා.

ඇය ප්‍රවීන විචාරයකන්ගේ ඇසට හසුවූ සම්මානලාභී කිවිඳියක්. ඉතින් මගේ මේ සටහන “වන පස මලින් පුද කළැයි පවසනු කවර වරදද” න්‍යාය ඔස්සේ තමා ලියැවෙන්නේ. අඩු පාඩු වලට මේඛලාගෙන් සමාව ඉල්ලනවා….

හිමියනි මම ජීවක නම් වෙමි

හිමියනි මම ජීවක නම් වෙමි
කාසල් හි වෙසෙමි
මෙහි නිතරෝම අඟුල් මල් පිරිත මිමිණෙති
පෙකෙණි වැල් කැපෙති
රාහුලයෝ සසර දුක් රැගෙන පැමිණෙති…..

හිමියනි… වල්ගා ඔසවාගෙන සිඳු සිඳින ලෙහෙනියන් දැක නැත
වසර ගණනක් පමා වූ දරු සම්පත් සොයා
ක්ලිනික් අයි යූ අයි පෝලිම් වල
වරු ගණන් තැවෙන ගැහැනුන් දැක ඇත..

හිමියනි… චිංචි මානවිකාවෝ දැක ඇත..
මී වෙසින් සක් දෙවිඳු ආවේ නැත
අන්නාසි ගැට වලට දර මිටි ලිහුනේද නැත…
ඉදින් උන් ඔතාගෙන අපවාද පොදියක්
ආපසු යන අයුරු නම් දැක ඇත…

කිසාගෝතමීලා දැක ඇත….
නොමල ගෙයකින් අබ සෙව්වේද නැත
මසක් දෙමසක් තුන් මසක්
යාන්තම් මෝදු වූ කුස කන්ද
සෝදා පැතලි වූ පසු
හඬ හඬා ආපසු යන අයුරු
ඕනෑ තරම් දැක ඇත…

ඉන්කියුබේටර් වයර් තොටිල්ලක
නිදා හුන් පුතු ගියෙන් සුර ලොවට වැද
ඈ සළු පිලි උනාගෙන දිව්වේ නැත
රැයක් පුරා දෙවූ කිරි අනෙක් බිලිඳුන්ට බෙදා
පින් ඉල්ලූ පටාචාරා නම් දැක ඇත
දාන පාරමිතා පුරන්නට ඇත

හිමියනි මම ජීවක නම් වෙමි
කාසල් හි වෙසෙමි…
දුකින් මුදවන මඟ නොදත් හෙයින්
දුකම උන් දෝතට දී පිට කරමි….

මේඛලා ලියන්නේ historical allegory හෙවත් ඓතිහාසික අන්‍යාලාපයක් ලෙස. ඒ කියන්නෙ කාලීන සිදුවීම් ඓතිහාසික (මෙතනදී නම් බෞද්ධ සාහිත්‍යයේ එන) කතා පුවත් මත සමපාත කිරීමක් ලෙස. කාසල් හි වෙසෙන ජීවක නමැත්තා හිමියන්ට කරණ ආමන්ත්‍රණයක ස්වරූපයෙනුයි නිර්මාණය රචනා වෙන්නේ. එවන් භාෂණයකට සුදුසු වියත් බස් වහරක් යොදාගැනෙනවා. එහෙත් තැනින් තැන එදිනෙදා කතාවේදී යෙදෙන ඉංග්‍රීසි වදන් රිංගවා තිබෙන්නේ ඇඟට නොදැනෙන ලෙස.

ඇය විස්තරය පටන් ගන්නේ කලන්දක ජාතකයෙන්. ලේනිය වල්ගයෙන් සමුදුර හිස් කොට පැටවා බේරගන්න හදනවා. ප්‍රඥාව අමතක කොට වීර්‍යය පමණක් මතු වෙන අවස්ථාවක් ලෙසයි මට මේක වැටහෙන්නේ. ඒ විදිහටම හැසිරෙන රෝගීන් අප කොයි තරම් නම් දකිනවාද? පිහිටට සක්‍රයා වෙනුවට දෙව් ලොවින් වඩින්නේ ඔවුන්ගේ දුක සූරාකන්නන් පමණයි.

ඊළඟට ඉතාම අපූර්ව කොටසක්. අතීතයේදී චිංචි මානවිකාව අපවාදයට ලක් වන්නේ සක්‍රයා මී වෙසින් පැමිණ දර මිටි ලිහා දැමේමෙන්. වර්ථමානයේදී නොපැමිනෙන සක් දෙවිඳු නිසා නොලිහෙන දර මිටි ළඟ අන්නාසි ගැට මක් කරන්නද? ඔවුන් අපවාදයට ලක් වෙන්නේ ඔවුන් වෙනුවෙන් සංවේදී විය යුතු ආයතන හා පුද්ගලයින් ගොයම කන වැටත් නියරත් වීම නිසයි. වැඩ වර්ජන වලදී පමණක් පොළොවේ පස් කන කවීන් අතර, දිනපතා සිදුවන මෙවන් හිංසනයන් දකින ඇසක් හමුවුනාමයි!

මෙලෙසින්ම පටාචාරාවන් හා කිසාගෝතමියන් හරහා ලබා දෙන පණිවිඩය තුළ ගැබ්ව ඇත්තේ පොතපතින් ලද දැනුම, නිව්‍යාජ ජීවිත අත්දැකීම් සමඟ මුසු කෙරෙන ව්‍යුත්පත්තියයි.

“කාසල්” විස්තර කිරීමේදී එදිනෙදා සිදුවන පෙකණි වැල් කැපීමත්, සංස්කෘතික අංගයක් වන අඟුල්මල් පිරිතත්, බෞද්ධ සාහිත්‍යයේ රාහුළයන්ගේ පැමිණීමත් එක් කිරීම කිවිඳියගේ ප්‍රතිභාවයි.

නිර්මාණය ඇරඹෙන්නේ ජීවකයන් විසින් හිමියන් වෙත කෙරෙන ඇමතීමකින්. අවසන් වන්නේත් එලෙසින්මයි. නමුත් අවසන දී දුකින් මුදවන මග නොදත් ජීවකගේත් අසරණ කම පැවසෙනවා. රෝහලේදී අපට මේ හැඟීම ඇතිවන අවස්ථා කොපමණද? වසර ගණනාවක්, කවි දුසිම් ගණනකින් ප්‍රකාශ කිරීමට මා තැත් කළ මේ හැඟීම, ඇය පද කිහිපයකින් ඉදිරිපත් කරණ ආකාරය කොයි තරම් අපූරුද?

හුනස්නෙන් නැගී සිටීමට තරම් කම්පනයක් ඇති කළ මේ නිර්මාණයේ හිමිකාරිය කුමන රෝහලක සේවය කරන්නියකදැයි සෙවීමට මා යුහුසුළු වුනා. එහිදී දැනගැනීමට ලැබුණේ ඈ සෞඛ්‍ය ක්ෂේත්‍රයට කිසිදු සම්බන්ධයක් නැත්තියක බවයි.

 

 

leave a reply