Breaking News

අරගල විමුක්තියේ චාතුර්ය සත්‍යය

උදය ආර්. තෙන්නකෝන්

අපේ රටේ ජනයා හමුවේ පවතින්නේ මහා ඛේදවාචකයකි. මේ මහා ඛේදවාචකය මහා භාරතය, රාමායනය වගෙයි. මහා වංශය වගෙයි. ගැටුම් ඉතිහාසයක මිනිස් ජීවිතවල මේවා වචන, පිටු පරිච්ඡේදයන් ය. ජීව්තයේ අර්ථය කුමක් දැයි කියා පාන ඛේදවාචකයන් ය. දුඛ්‍ය සත්‍ය අවබෝධ කර ගන්නට අවශ්‍ය නම් මේ ඛේදවාචකයන්ගේ ඉතිහාසය කොපමණ නම් ප්‍රමාණවත් දැයි කල්පනා කරන්නට හිත අතෝරක් නැතිව ගමන් කරමින් සිටී. ඒ, මේ මොහොත වන විට ලංකාවේ අරගලය සහ දේශපාලනය ක්‍රියාත්මක වන ආකාරය දකින අහන කියවන තොරතුරුවලට අනුව ය. මේ තොරතුරු යනු මොනවාද කියා පරීක්ෂා කිරීමකට යන විට මගේ මනේන්ද්‍රයට දැනෙන්නේ ආශ්වාදයකි. සතුටකි, සටන්කාමීත්වයකි. ජවසම්පන්න බවකි. ඒත් එක්කම මේ තාක් ජයග්‍රහණය කරමින් පෙරට එන අරගලය කියා හැඳින්විය හැකි මහා ජනකායක් සහිත ලාංකීය පොළොවේ පැන නැගී ඇති සමාජ දේශපාලනික ආර්ථික සංසිද්ධිය ගැන හිතේ යටි කොනක ඇත්තේ සාංකාවකි. සැකයකි. බියකි.

මේ හැඟීම විසින් අරගලයේ අවසානය කුමක් දැයි යන්න කල්පනා කරන්නට වෙමි. මේ සිතීම පැරනොයිඩි වීමක් බවට පත්වෙමින් නිතර නිතර ගලා එන තොරතුරු විසින් තව තවත් අවුල් ජාලයක් බවට පත් කිරීමට හොඳට නරකට දෙකටම ඇති මාධ්‍ය සමත්කම් පාමින් සිටින්නේ ජීවිතය පිටුපස සිටින මාරයා පරිද්දෙනි. මේ නිසා රටේ ජනයාට තනි තනිවත් සාමූහිකවත් අරගලය නැමති සත්‍යයට මුහුණ දෙමින් සිටිති. ඒ එදිනෙදා ජීවිතයේ ලෞකික කටයුතු පවත්වාගෙන ජීවත් වීම පිළිබඳ අරගලයට ය. එයට සෘජුව ගැටගැසී ඇත්තේ රටේ රාජ්‍යය යි. රාජ්‍යය කර වන ආණ්ඩුවයි.

ජනතාවගේ අපේක්ෂාවන් හා අභිලාෂයන් ඉටු කිරීමට නො හැකිව බිංදුවටම වැටි ඇති රටක තවමත් රාජ්‍යයක් පවතී ද, ආණ්ඩුවක් පවතී ද යන සැකයත්, එය නැවතත් රටක් රාජ්‍යයක් ආණ්ඩුවක් බවට පත්කර ගැනීමට පොර කන ආකාරය විසින් නැවතත් ඇති කරන්නේ බිය ජනක දර්ශනයන් ය. මස් වැදැල්ලකට පොරකන සුනඛයන් පරිද්දෙන් මහා ඛේදවාචකයක් තුල රට බේරා ගන්නට සපත කරන අපේ මිනිස්සු වීනා වාදනය කරන ආකාරය දකින කොට අපට මේ වගේ පාර්ලිමේන්තුවක්, ව්‍යවස්ථාවක්, ආණ්ඩුවක් මොකටද කියා හිතුණ වාර නම් අනන්තය අප්‍රමාණ ය.

මේ අපරිමිතයට විකල්පයක් ලෙස පාර්ලීමේන්තුවෙන් පිට මතු වී වර්ධනය වෙමින් යන අරගලය මේ මහා ඛේදවාචකයට විසඳුමක් දැයි යන ප්‍රශ්නය මගේ හිත තුල වරින් වර මතුව එන්නේ, මේ අරගලයට මා තුල ඇති අනුමැතිය හා අනුරාගය යටපත් කරගනිමින් ය. මෙතෙක් පැවැති පාලන ක්‍රමයන් හා එම ක්‍රමයන් නියෝජනය කරන පාර්ලීමේන්තුවෙන් නම් මේ යන විදිහට කිසිම පිළියමක් නො ලැබෙන බව නම් කිව යුතු නැත. ඒ ඔස්සේ මේ රටේ ඛේදවාචකයට විසඳුමක් ලබා ගත හැකි ක්‍රමයක් තිබේ ද කියා හිතුවොත්, මේ පාර්ලීමේන්තුව සහ ඒත් සමඟම හිතට එන පක්ෂ හා පුද්ගලයන් දෙස බැලූ විට, රටට සත්‍ය විසඳුමක් ඇත්තේ පාර්ලීමේන්තුවෙන් පිට ය යන සිතුවිල්ල බැහැර කරන්නට ඉඩ දෙන්නේ නැත.

එහෙම නම් මේ රට බේරා ගන්න ඇත්තේ එලියෙන්ම ය. එය සිදු වේද, සිදු විය හැකි ද, යන ගැටලුවට උත්තර සොයා යන විට දහසකුත් එකක් ප්‍රශ්න වැල නො කැඩී ගලා එති. මේ ප්‍රශ්නවලට ඇති විසඳුම් හා පිළිතුරු මේ මොහොතේ සිදුවෙමින් යන ආකාරය අනුව අරගලය අංගුලිමාල බඳු ය. ඒත් මේ අංගුලි මාල මිනිසුන් බිලි නොගනියි. ඔහුව බිලි ගන්නට මාන බලයි. අංගුලිමාල නම් අරගලයට පෙර පිණ හා සත්‍ය වටහා ගැනීමේ ඥාණය ඇති නම්, ඔහුගේ විමුක්තිය පිණිස ඇති කරගත යුතු අවබෝධය වන්නේ අරගල ධර්මය යි. අරගල ධර්මය අරගල සත්‍ය බවට පත් කර ගැනීමේ ධර්ම යි. එය සතර විදයි. එය චතුර් ආර්ය අරගල සත්‍යයි. එනම්,

අරගලය පිළිබඳ උතුම් සත්‍යය
අරගලයට හේතුව පිළිබඳ උතුම් සත්‍ය
අරගලය නැති කිරීමේ උතුම් සත්‍යය
අරගලය නැති කිරීමේ මාර්ගය පිළිබඳ උතුම් සත්‍යය

මේ සත්‍යයන් හතර ඔස්සේ ගමන් කරන්නට නම්, මේ ඛේදවාචකයට ආලෝකය සපයන ජනයා මේ ධර්මය පිළිගත යුතු වන්නාහ. එයට මග පෙන්වන්නෝ මේ ධර්මය අනුව හැසිරිය යුතු ය, ක්‍රියා කළ යුතු ය. රටට විමුක්තිය, ජනතාවට විමුක්කිය ඒකාන්තය. එය දවසකින් දෙකකින් නො වුණත් සියවසක් ගත නො වනු ඇත. එහෙත් මෙම සත්‍ය ඔස්සේ ගමන් කරන්නට ඇත්තේ කටුක මාවතක් ය. දෙව් දත්ලා හතර අත ය. ඒ දෙව්දත් පිටත පිමණක් නොව තමා තුල ද සිටින බව අපි අපිම අවබෝධ කරගත යුතු ය. විමුකත්යට වෙන අන් මගක් නැත. දැන් අප සියල්ල තැනකට පැමිණ ඇත. චරථ අරගලකරුවනි චාරිකං, බහු ජන හිතාය. බහු ජන සුඛාය

මේ චතුර් අරගල සත්‍යයන් ගැන පසුවට වෙන වෙනම කතා කරමි

අරගලයට විමුක්තිය !!!

අරගලය පිළිබඳ ඥාණ විභාගයේ පළමු කොටස

 

leave a reply