දර්ශි, යමුද නුවරඑළියේ
මභ මැතිවරණ රාජකාරි..
ඕන දේකට එක පයින් හා කියන මං ඒකටත් හා කිව්ව.
කොහොමින් හරි වෙහෙසකර රාජකාරියක් සතුටින් නිමා කරලා ගෙදරත් ආවා.
රාජකාරී පරිසරය සිත් සේ විඳ ගන්න ලැබෙන පුංචිම අවස්ථාවන් පවා හොඳම හැටියට ප්‍රයෝජනට ගන්න දක්ෂ වෙන්න ඕන.
ලැබෙන සෑම අභියෝගයක්ම සතුටින්ම භාරගන්න පුලුවන් වෙන්නේ එතකොට.
මීදුම පිරෙන අපේ රටේ උසම තැන, පිදුරුතලාගල කඳු මුදුනට පා තබන්නට ලැබුණ අවස්ථාව සිත් සේ විඳ ගන්නත් පුලුවන් වුණා.
පොලව මතුපිට පිපුන පුංචි මල් කීපයක් කඩාගෙන කණ පිටුපස රඳවා හැඩ බලපු අපි.
ලංකාවේ මධ්‍ය ලක්ෂය ලෙස සලකුණු කල තැන මල්පොකුරක් අතේ තබාගෙන ඒ රූ ගත කල අපි,..
මලක් පිපේ යැයි විශ්වාස කල නොහැකි තැනක පිපුන මලක් අත්ලේ දවටාගෙන ඡායාරූප ගත්ත අපි…
නිදැල්ලේ, සිත්සේ තුටුපහටු හෝරා කීපයක් ගත කල අපි..
ඊටත් පස්සේ..
සිත කඳුකරයේ.. පුංචි එංගලන්තයේ.. අවර දිගින් හිරු බැහැගෙන යන සවසක පටන් ගත්ත රාජකාරිය පසුදා හිරු නැගිලා හෝරා කීපයක් යනතුරුම නිමා වුනේ නම් නෑ.
ගතට මහ වෙහෙසක් දැනුනා, ඒත් හිතේ තිබුණෙ පොඩි දරුවෙකුට වගේ කෙළිලොල් සතුටක්.
ඉවරයක් නැති ඡායාරූප ගැනිල්ල නිසාම පින්තූර ගොන්නක්ම ඉතිරියි. ගමන පුරාවට සිත දැරූ සුබවාදී සිතිවිලි විතරක්ම ඉතිරියි.
අපේ ජීවිත වලට පමා වෙලා මුණ ගැසුනේ ඇයි කියලා හිතෙන තරමට, ජීවිතයක් එලිය කල හැකි නිලධාරීන් , නැවත නැවත මුණ ගැසිය යූතුමැයි සිතේ සනිටුහන් කරගෙනමයි නික්මුණේ ඒ නගරයෙන්.
මට නොලැබුණ, එසේත් නොමැතිනම් මං ලබා ගන්න කල් ගත්ත ඒ තැන්, මං ළඟ ඉන්න පොඩි වුන්ට හැකිතාක් ඉක්මනට ලඟා වීමට අවශ්‍ය පෙලඹවීම ඒ ඇසුරේ ලැබෙන බව නම් මට ස්ථිරයි.
අධ්‍යාපන මට්ටම් සමග නිරන්තරව ගැටෙන රාජකාරිමය වටපිටාව තුල තමන් යායුතු තැන තිරව අවධාරණය කර ගැනීමට නම්, මේ මා හැඟි අවස්ථාවන් බැහැර නොකල යුතුය. ඉහල නිලධාරින් සමග නිරන්තරව කටයුතු කරන, සහ සම්බන්ධතා පවත්වන ඕනෑම අයෙකු අභිප්‍රේරණය වීමේ සම්භාවිතාව කෙතෙක් ද යන්න මා අත්දැක ඇත්තෙමි.
මං පේරාදෙනිය සයන්ස්, මං කොළඹ පිසිකල්, මං බැජ්ටොප්, මට තිබුණේ එකම අරමුණයි. මෙතැනින් මං මෙතැනට යනවාමයි. තිර අදිටනයි. ඕවා ඇසීමෙන් ම හිතට ලොකු ගැම්මක් එනවමයි.
තවත් වෙලාවක, ඇයි ඔයා එග්සෑම් නොකලේ. ඉක්මනට එන්න මෙතැනට. මෙන්න මෙහෙමයි වැඩ කරන්න ඕන. හදවතින්ම උනන්දුව ඇති කරවන කතා බහ.
ඒ හැමදේමත් එක්ක.. ජීවිතය විඳින, පරිසරය විඳින, රාජකාරියෙන් ඔබ්බට සිනා සලමින්, සැහැල්ලුවෙන් ජීවත් වෙන, පොළවේ පය ගහලා ජීවත් වෙන, ඒ චරිත හරිම ලස්සනයි. සුන්දරයි.
තනතුරු ශරීරය පුරාම පෙරවගෙන ඉන්න අතලොස්සක් අතර ඒ චරිත හරිම ප්‍රිය මනාපයි.
රාජකාරී වපසරියෙන් එහාට අපි ඔක්කොම මිනිස්සු, යයි සිතන, සහකම්පනය හදවත අරා ඇති ඒ චරිත හැමදාම තරුණයි.
නුවරඑළි ගමනේදී හමුවෙලා වෙන් වෙලා ගිය, හදවතේ මතක ගොන්නක් ඉතිරි කල ඒ චරිත ආදරයෙන් සිහිපත් කරමින්, සතුටු සිතින් ලියන මං