Tag: militarization

  • සුලිපුරම් හමුදා කඳවුර අල්ලාගෙන සිටි ඉඩම් වසර 30ට පසු ජනතාවට

    සුලිපුරම් හමුදා කඳවුර අල්ලාගෙන සිටි ඉඩම් වසර 30ට පසු ජනතාවට

    ශ්‍රී ලංකා හමුදාව වසර 30 කට වැඩි කාලයක් ක්‍රියාත්මක වූ සුලිපුරම් හමුදා කඳවුර (චුලිපුරම් ලෙසද හැඳින්වේ) සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇත.

    මෙය 2024 අගභාගයේදී යාපනයේ පිහිටුවා තිබූ හමුදා කඳවුරු විසුරුවා හැරීමට නිකුත් කරන ලද නියෝගයට අනුව ඉඩම් ඒවායේ මුල් සිවිල් හිමිකරුවන්ට ආපසු ලබා දීමට නියමිත බව වාර්තා වේ.

    සුලිපුරම් කඳවුර 1990 දශකයේ මුල් භාගයේ ශ්‍රී ලංකා සිවිල් යුද්ධයේ උච්චතම අවස්ථාවේදී ස්ථාපිත කරන ලද කඳවුරකි.

    මේ අතර, හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් වරුණ ගමගේ පැවසුවේ විසුරුවා හැරීම හදිසි ඉවත් කිරීමක් නොව හමුදාවේ ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්මේ පියවරක් බවයි.

    මේ තොරතුරු අනුව මෙම ජනතාවගේ ඉඩම් වසර 30ට ආසන්න කාලයක් බලහත්කාරයෙන් හමුදාව රඳවාගෙන සිට තිබේ.

  • ‘යුක්තියට’ හමුදාවත් යොදාගැනීමේ සූදානමක්

    ‘යුක්තියට’ හමුදාවත් යොදාගැනීමේ සූදානමක්

    අද (11) සිට ”යුක්තිය” මෙහෙයුමට ත්‍රිවිධ හමුදාවේ සහය ලබා ගැනීමට නියමිත බව වාර්තා වේ.

    මේ උක්ත තීරණය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දුව පැවසුවේ සියලු පොලිස් ස්ථාන වෙත ඊට අදාළ උපදෙස් ලබා දී ඇති බවයි.

    ”අද දිනයේ සිට මෙහෙයුම් ක්‍රියාත්මක විය යුතු වෙනවා. පොලිස් නිලධාරීන්ගේ යම් අඩුපාඩුවක් සිදුවුණොත් ඒ වැටලීම් සඳහා ප්‍රමාණවත් නිලධාරීන් නොමැති වුණොත් විශේෂයෙන් මාර්ග බාධක වැනි දේ ක්‍රියාත්මක කරන්න සිදුවුණොත් ඒ වගේම දරුණු ගණයේ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය වුණොත් යුද හමුදාව ඒ පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට, නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට අදාළ සම්බන්ධීකරණය සිදුකරලා, ඔවුන්ව කැඳවා ගැනීමට අවශ්‍ය කරන පහසු ක්‍රමවේදයක් සකස් කිරීම දැනට සිදුකරලා තියෙනවා. ඒ අනුව අවශ්‍ය වුණොත් යුද හමුදා සහාය ලබාගන්න කියලා පොලිස්පතිතුමා විසින් අවශ්‍ය උපදෙස් ලබාදුන්නා.” යනුවෙන් තල්දුව වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

    හමුදාව සිටින්නේ යුධමය අවස්ථාවක් සඳහා කටයුතු කිරීමට පමණක් වුවත් හමුදාව සිවිල් කටයුතු සඳහා යොදාගැනීමට ගොස් වරද්දා ගැනීමේ සිදුවීම් දිගින් දිගටම වාර්තා විය.

  • කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් පළා යාමට හේතුව හමුදාවේ පාලනයද?

    කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් පළා යාමට හේතුව හමුදාවේ පාලනයද?

    ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් පුනරුත්ථාපන ක්‍රියාවලිය සාර්ථකව සිදුවනවා ද යන්න සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළ දැඩි කතාබහක් මතුව තිබේ.

    ඒ, එවැනි පිරිස් පුනරුත්ථාපනය සඳහා “වැඩි වශයෙන්” යොමු කෙරෙන පොලොන්නරුව, වැලිකන්ද, කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළ ගෙවුණු වසර කිහිපයේදී වාර්තා වුණු සිදුවීම් හේතුවෙනි.

    එහි ආසන්නතම සිදුවීම වාර්තා වූයේ, ඉකුත් ජනවාරි 12 වන දින ය. එදින ආහාර ගැටලුවක් මුල් කරගනිමින් ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයක් හමුවේ එම මධ්‍යස්ථානයේ රඳවා සිටි රැඳවියන් අතුරින් 20කට අධික සංඛ්‍යාවක් පලා ගොස් තිබිණි.

    ඉකුත් වසරේ, එනම් 2023 වසරේ දෙසැම්බර් 12 වන දා ද එවැනි ම ආකාරයේ සිදුවීමක් වාර්තා වුණු අතර එහිදී මධ්‍යස්ථානයෙන් රැඳවියන් 100කට අධික ගණනක් පලා ගියහ.

    2022 වසරේ ඇති වූ සිදුවීමකින් කන්දකාඩු කඳවුරේ රඳවා සිටි රැඳවියෙකු මියගොස් තිබුණු අතර ඒ සම්බන්ධයෙන් එහි සහය උපදේශකවරුන් ලෙස කටයුතු කළ ගුවන් හමුදා සැරයන්වරුන් දෙදෙනෙකු, යුද්ධ හමුදා මාණ්ඩලික සැරයන්වරයෙකු හා යුද්ධ හමුදා සැරයන්වරයෙකු රක්ෂිත බන්ධනාරගත කෙරිණි.

    ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීම සඳහා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය, පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක මධ්‍යස්ථාන මෙන් ම, පෞද්ගලික අංශය මගින් පවත්වාගෙන යන පෞද්ගලික මත්ද්‍රව්‍ය ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථාන ද පවතී.

     

    හමුදාව මැදිහත්වීමෙන් පුනුරුත්ථාපනය කිරීම සාර්ථකද?

    කෙසේ වෙතත්, ඒ අතරින් කන්දකාඩු වැනි ඇතැම් මධ්‍යස්ථාන හමුදා පරිපාලනයක් යටතේ ක්‍රියාත්මක වීම පිළිබඳවත්, එය කොතෙක් දුරට සාර්ථක ද යන්න පිළිබඳවත්, කන්දකාඩු සිදුවීම් හා සැසඳීමේදී පුනරුත්ථාපන විෂය පිළිබඳ පුළුල් දැනුමක් ඇති පිරිස් සහ සමාජය ප්‍රශ්න කරති.

    කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආරම්භයේ සිට ම ඒ තුළ හමුදාවේ මැදිහත්වීම ඉහළ ලෙස පැවති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෘත්තීය උපදේශක සුචින්තන දසුන් පවසයි. ඔහු බීබීසී සිංහල වෙබ් අඩවියට අදහස් දක්වමින් පවසා ඇත්තේ එහි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සඳහා ප්‍රමිතිගත ප්‍රතිකාරයක් නොලැබෙන බවයි.

     පළාගිය රැදවියන් සම්බන්ධ  දර්ශනවල ඇතැම් රැඳවියන් තමන් මධ්‍යස්ථානය තුළදී අත්විඳි කටුක අත්දැකීම් පිළිබඳව ප්‍රකාශ කරන අයුරු සටහන් වී තිබිණි.

    “හෑන්ඩ්කෆ් දාලා තියෙනවා සතියක් විතර ගස්වලට දාලා, පොඩි පොඩි ප්‍රශ්නවලට,” එක් රැඳවියෙක් පැවසීය. පලා ගිය රැඳවියන් නැවත භාරයට ගැනීමට පොලිස් නිලධාරීන්ට මෙන් ම යුද්ධ හමුදා නිලධාරීන්ට ද දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.

    කන්දකාඩු කඳවුර වැනි මධ්‍යස්ථාන වෙත පුහුණුව ලත් මිලිටරි නොවන උපදේශකවරු බඳවා ගත්ත ද පරිපාලනය සහ ආරක්ෂාව සැපයීම වැනි කාරණාවලදී හමුදා මැදිහත්වීමක් සිදුවීම හේතුවෙන් එහි කටයුතු හමුදාමය ස්වරූපයකින් බැහැරව සිදු නොවන්නේ යැයි පැවසිය නොහැකි බව සුචින්තන සඳහන් කළේ ය.

    “මම දන්නවා උපදේශකවරු ඉන්නවා. මේ මෑතකත් බඳවා ගත්තා. මිලිටරි නොවන. හැබැයි පරිපාලනය සහ ආරක්ෂාව කියන කාරණාව ඇතුළේ, පරිපාලනය මෙතනින් වෙනවා කියන්නේ ම, අපි දන්නවා ස්වරූපයක් යෙදෙනවා කියන එක.”

    ඔහු පෙන්වා දුන්නේ, මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවන් සඳහා ප්‍රතිකාර කිරීමේදී එම ක්‍රියාවලිය සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ සිදු විය යුතු බව ය. එය ලොව පිළිගත් සම්මතය බව ඔහු පෙන්වා දුන්නේ ය.

    “ඒක ආරක්ෂක අමාත්‍යංශය යටතට යන්න බැහැ. මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධයෙන් පිහිටුවා ඇති එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ (UNODC) සම්මතයන් තමයි, ආරක්ෂක අමාත්‍යංශය යටතට ගන්න බැහැ. ආරක්ෂක අමාත්‍යංශය යටතේ තියෙනකොට වෙන්නේ වෙන වෙන දේවල්. අරමුණ සාක්ෂාත් වෙන්නේ නැහැ. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම කියන එක සෞඛ්‍ය සම්බන්ධ කාරණාවක්. ආරක්ෂක අමාත්‍යංශයට ඕක ගිය ගමන්, එයාලා දේවල් බලන විදිහ අපි දන්නවනේ වෙනස් කියලා. එතකොට මේක අපරාධයක්, දඬුවමක් ලැබෙන්න ඕනේ කියන තැනින් තමයි ගොඩක් වෙලාවට අල්ල ගන්නේ,” සුචින්තන පැහැදිලි කළේ ය.

    කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු හෙක්ටර් එස්. යාපාගේ සභාපතිත්වයෙන් යුක්ත ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබේ. අධිකරණ අමාත්‍යංශයේ අතිරේක ලේකම් පියුමන්ති පීරිස් සහ ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම් සමන් දිසානායක යන නිලධාරීන් එම කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස පත් කර ඇත.

    BBC වෙබ් අඩවියේ පළවූ ලිපියක් ඇසුරිණි

  • පොලු අරගෙන ආවෙ හමුදාව නෙමෙයි නම් ඒ කවුද කියන එක ගැන ආණ්ඩුව පැහැදිලි කළ යුතුයි – දුමින්ද නාගමුව

    පොලු අරගෙන ආවෙ හමුදාව නෙමෙයි නම් ඒ කවුද කියන එක ගැන ආණ්ඩුව පැහැදිලි කළ යුතුයි – දුමින්ද නාගමුව

    පසුගියදා කොළඹ විශ්ව විද්‍යාලය අසළ පැවති උද්ඝෝෂණය අවස්ථාවේ පොලු රැගත් හමුදා ඇඳුම් ඇදගත් පිරිස කවුරුන්ද යන්න ආණ්ඩුව පැහැදිලි කළ යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව වැඩිදුරටත් පැවසුවේ,

    “අපි දැක්කා ගෝඨාභය රාජපක්ෂට අසනීපයක් තිබුනා කොවිඩ් තත්ත්වය පාවිච්චි කරලා කොළඹ උද්ඝෝෂණ කරන්න දෙන්නේ නැතුව මූලික අයිතිවාසිකමක් වුනු ප්‍රකාශනයේ නිදහස අහිමි කිරීමේ වුවමනාවක් තිබුණා. දැන් අපිට පේනවා හොර පාරෙන් ජනාධිපති වෙච්ච රනිල් වික්‍රමසිංහ දැන් නැවත වතාවක් ඒ ක්‍රියාවලියම කරමින් ඉන්නවා. ඒක ඔහු ගෝඨාභය රාජපක්ෂටත් වඩා ඉදිරියට ගිහිල්ලා විශාල මර්දනයක් දියත් කරමින් ඉන්නවා. එක කාරණයක් තමයි උද්ඝෝෂණයකට පහර දෙන්න කුරුදු පොලු හමුදාවක් යොදාගත්තා. දැන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියනවා ඒ හමුදාව නෙමෙයි කියලා. ඒ හමුදාව නෙමෙයි නම් ඒ අතුරු හමුදාවක්ද? එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහලා ඒ කාලයේ කළු බළල්ලු, කහ බළල්ලු, කොළ කොටි වගේ කණ්ඩයක් හදාගෙන හිටියා 1980 ගණන්වල. ඒකට අදාළ පෙරහුරුවද මේ කරමින් ඉන්නේ කියන ප්‍රශ්නය තියෙනවා. කවුද මේ පොලු හමුදාව කියන එක ගා අහන්න ඇමති ටිරාන් අලස්ව මානව හිමිකම් කොමිසමට කැඳවලා තියෙනවා. ඔහු මේ සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රකාශයක් කළ යුතුයි.

    පිස්සු බල්ලෝ වගේ පහරදෙන පිළිවෙත අද වෙනකොට ඝාතන දක්වා ගිහිල්ලා තියෙනවා. කොළඹ විශ්ව විද්‍යාලයේ ආරක්ෂක අංශයේ සාමාජිකයෙක් මිය ගිහිල්ලා තියෙනවා. ඒ නිසා පැහැදිලිවම මේ පාවිච්චි කරන කඳුළු ගෑස් විෂ සහිතයි. එක්කෝ මේවා කල් ඉකුත් වෙච්ච ඒවා. නැත්තම් මේවා ඝාතන අරමුණින්ම ලංකාවට ආනනයනය කරන ලද ඒවා බව පැහැදිලි සැකයක් තියෙනවා. මේකට එරෙහිව උද්ඝෝෂණයක් අපි සංවිධානය කර තියෙනවා. “

  • මුලතිව් මාධ්‍ය සමාජයට හමුදාවෙන් තර්ජනයක්

    මුලතිව් මාධ්‍ය සමාජයට හමුදාවෙන් තර්ජනයක්

    මුලතිව් මාධ්‍ය සමාජය පිහිටි ස්ථානයට ගිය යුද හමුදා සාමාජිකයන් පිරිසක් ඊයේ (24) එහි සියලු තොරතුරු ඉල්ලා තිබේ. එහි ප්‍රධානීන්ගේ නම්, දුරකතන අංක, ලිපින ආදී සියලු තොරතුරු ලබාදෙන ලෙස ඔවුන් එහි සිටි මාධ්‍යවේදී කේ. කුමනන්ට බලකර ඇත. සිය බලසේනාංකාධිපතිවරයාගේ උපදෙස් මත මෙම තොරතුරු ලබාගැනීමට අවශ්‍ය බව ඔවුන්ගෙන් කළ විමසීමේදී පවසා ඇත.

    එහිදී අදාළ ස්ථානයේ සිටි මාධ්‍යවේදීන් පවසා ඇත්තේ එසේ තොරතුරු ලබාදිය නොහැකි බවත්, එම තොරතුරු ලබාගැනීමට හේතුව නිශ්චිතව දැනගැනීමට අවශ්‍ය බවත් ය. දිගින්-දිගටම තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එම හමුදා නිලධාරීන් එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ.

    එම ස්ථානයට හමුදා සාමාජිකයන්ගේ මුල් පැමිණීම සිදු වී ඇත්තේ ඊයේ පෙරවරු 10.30ට ආසන්න වේලාවකදී ය. ඉන් පැය 03කට පසු, අද පස්වරු 1.40ට ආසන්න වේලාවකදී ගිනි අවි රැගත් හමුදා සාමාජිකයන් පිරිසක් සහිත යුද හමුදා ජීප් රථයක් වේගයෙන් එහි පැමිණි බවත්, එම රථය වේගයෙන් පිටුපසට ගෙන මොහොතක් නවතා තබා නැවත වේගයෙන් පිටත්ව ගිය බවත් මාධ්‍යවේදී කේ. කුමනන් පවසයි.

    මුලතිව් හි පිහිටි යුද හමුදා 591 බලසේනාංකාධිපති බ්‍රිගේඩියර් යූ.එස්.එන්.කේ. පෙරේරාගෙන් උතුරේ මාධ්‍යවේදීන් මේ පිළිබඳව විමසීමට අප ගත් උත්සාහය ව්‍යර්ථ වී තිබේ.
    යුද හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් රවී හේරත්ගෙන් කළ විමසීමේදී ඔහු පවසා ඇත්තේ ප්‍රාදේශීය වශයෙන් මාධ්‍ය ආයතන සමග සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන යෑමේ අරමුණෙන් මාධ්‍යවේදීන් සම්බන්ධ කරගැනීමේ කටයුතු මේ දිනවල සිදු වන බවයි.

    මෙහිදී සිදු වී ඇත්තේ එවැන්නක් නොවන බව පැහැදිලි කිරීමෙන් පසු ඔහු පැවසුවේ එසේ තොරතුරු එකතු කිරීමේ කිසිදු වැඩසටහනක් යුද හමුදාව පාර්ශ්වයෙන් සිදු නොකරන බවයි.

  • බලහත්කාරයෙන් පැහැරගත් උතුරේ ජනතාවගේ ඉඩම් ඉල්ලා විරෝධතාවයක්

    බලහත්කාරයෙන් පැහැරගත් උතුරේ ජනතාවගේ ඉඩම් ඉල්ලා විරෝධතාවයක්

    යුද්ධය නිමා වී දහතුන් වසරකට පසුවත් රජයේ ආරක්ෂක අංශ වාඩිලා සිටින උතුරු නැගෙනහිර දෙපළාතේ දෙමළ ජනයාගේ පෞද්ගලික ඉඩම් අක්කර දහස් ගණනක් වහාම නිදහස් කරන ලෙස බල කරමින් යාපනයේදී විරෝධතාවයක් පවත්වා තිබේ.

    යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමයේ සංවිධානත්වයෙන් ඉඩම් හිමියන්, සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් හා ආගමික නායකයන් ද ඇතුළු සිය ගණනකගේ සහභාගීත්වයෙන් නොවැම්බර් 2 වැනි බදාදා තෙල්ලිපලෙයි හන්දියෙන් ආරම්භ කළ විරෝධතා පා ගමන අවසන් කර තිබුනේ වලිකාමම් උතුර ප්‍රදේශිය ලේකම් කාර්යාලය දක්වා පැමිණ සිය ඉල්ලීම් ඇතුලත් සන්දේශයක් භාර දෙමිනි.

    රජයේ ආරක්ෂක අංශ බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින දෙමළ ජනයාට අයත් උතුරු නැගෙනහිර දෙපළාතේ සියලුම පෞද්ගලික ඉඩම් වහාම නිදහස් කරන ලෙස ඉල්ලා සිටින එම සංදේශය මගින් වැඩි දුරටත් ඉල්ලා ඇත්තේ එම දෙපළාතේ කදවුරු බැද සිටින යුද හමුදාවන් වහාම එම භුමියෙන් ඉවත් කරන ලෙසයි.

    දෙමළ ජනයාට අවශ්‍ය ස්තීර දේශපාලන විසදුම කුමක්දැයි දැනගැනීම සදහා ජනමත විචාරණයක් පවත්වන ලෙසද එම සන්දේශය මගින් ඉල්ලා ඇති බව ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වාර්තා කර තිබේ.

    ප්‍රදේශවාසීන් පවසන පරිදි යුද සමයේදී වලිකාමම් උතුර ප්‍රදේශයේ පමණක් යුද හමුදාව විසින් අත්පත්කරගෙන ඇති දෙමළ ජනයාට අයත් පෞද්ගලික ඉඩම් ප්‍රමාණය අක්කර 6384 කි.

    යුද්ධය නිමා වීමෙන් පසුව ඉඩම් හිමියන් විසින් සිදු කරන ලද විරෝධතා හමුවේ ඉඩම් අක්කර 3384 ක් නිදහස් කර ගැනීමට හැකිවු බව ඔවුන් වැඩි දුරටත් පවසති.

    මේ තාක් නිදහස් නොකළ ඉතිරි ඉඩම් අක්කර 3000 න් ඉඩම් අක්කර 1600 ක් හමුදා කදවුර පුළුල් කිරීම සදහා වෙන් කරන ලෙස පසුගිය සැප්තැම්බර් මාසයේදී ඉඩම් අමාත්‍යවරයා විසින් ප්‍රාදේශිය ලේකම්වරයාට ලිපියක්ද යොමු කර තිබෙන බව ප්‍රදේශවාසීන් සදහන් කරයි.

    නමුත් ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ සංවිධානයට කියා ඇති පරිදි හමුදාව වාඩිලාගෙන ඉන්නේ අක්කර 53 ක පමණකි.

     

     

  • අරගල විමුක්තියේ චාතුර්ය සත්‍යය

    අරගල විමුක්තියේ චාතුර්ය සත්‍යය

    අපේ රටේ ජනයා හමුවේ පවතින්නේ මහා ඛේදවාචකයකි. මේ මහා ඛේදවාචකය මහා භාරතය, රාමායනය වගෙයි. මහා වංශය වගෙයි. ගැටුම් ඉතිහාසයක මිනිස් ජීවිතවල මේවා වචන, පිටු පරිච්ඡේදයන් ය. ජීව්තයේ අර්ථය කුමක් දැයි කියා පාන ඛේදවාචකයන් ය. දුඛ්‍ය සත්‍ය අවබෝධ කර ගන්නට අවශ්‍ය නම් මේ ඛේදවාචකයන්ගේ ඉතිහාසය කොපමණ නම් ප්‍රමාණවත් දැයි කල්පනා කරන්නට හිත අතෝරක් නැතිව ගමන් කරමින් සිටී. ඒ, මේ මොහොත වන විට ලංකාවේ අරගලය සහ දේශපාලනය ක්‍රියාත්මක වන ආකාරය දකින අහන කියවන තොරතුරුවලට අනුව ය. මේ තොරතුරු යනු මොනවාද කියා පරීක්ෂා කිරීමකට යන විට මගේ මනේන්ද්‍රයට දැනෙන්නේ ආශ්වාදයකි. සතුටකි, සටන්කාමීත්වයකි. ජවසම්පන්න බවකි. ඒත් එක්කම මේ තාක් ජයග්‍රහණය කරමින් පෙරට එන අරගලය කියා හැඳින්විය හැකි මහා ජනකායක් සහිත ලාංකීය පොළොවේ පැන නැගී ඇති සමාජ දේශපාලනික ආර්ථික සංසිද්ධිය ගැන හිතේ යටි කොනක ඇත්තේ සාංකාවකි. සැකයකි. බියකි.

    මේ හැඟීම විසින් අරගලයේ අවසානය කුමක් දැයි යන්න කල්පනා කරන්නට වෙමි. මේ සිතීම පැරනොයිඩි වීමක් බවට පත්වෙමින් නිතර නිතර ගලා එන තොරතුරු විසින් තව තවත් අවුල් ජාලයක් බවට පත් කිරීමට හොඳට නරකට දෙකටම ඇති මාධ්‍ය සමත්කම් පාමින් සිටින්නේ ජීවිතය පිටුපස සිටින මාරයා පරිද්දෙනි. මේ නිසා රටේ ජනයාට තනි තනිවත් සාමූහිකවත් අරගලය නැමති සත්‍යයට මුහුණ දෙමින් සිටිති. ඒ එදිනෙදා ජීවිතයේ ලෞකික කටයුතු පවත්වාගෙන ජීවත් වීම පිළිබඳ අරගලයට ය. එයට සෘජුව ගැටගැසී ඇත්තේ රටේ රාජ්‍යය යි. රාජ්‍යය කර වන ආණ්ඩුවයි.

    ජනතාවගේ අපේක්ෂාවන් හා අභිලාෂයන් ඉටු කිරීමට නො හැකිව බිංදුවටම වැටි ඇති රටක තවමත් රාජ්‍යයක් පවතී ද, ආණ්ඩුවක් පවතී ද යන සැකයත්, එය නැවතත් රටක් රාජ්‍යයක් ආණ්ඩුවක් බවට පත්කර ගැනීමට පොර කන ආකාරය විසින් නැවතත් ඇති කරන්නේ බිය ජනක දර්ශනයන් ය. මස් වැදැල්ලකට පොරකන සුනඛයන් පරිද්දෙන් මහා ඛේදවාචකයක් තුල රට බේරා ගන්නට සපත කරන අපේ මිනිස්සු වීනා වාදනය කරන ආකාරය දකින කොට අපට මේ වගේ පාර්ලිමේන්තුවක්, ව්‍යවස්ථාවක්, ආණ්ඩුවක් මොකටද කියා හිතුණ වාර නම් අනන්තය අප්‍රමාණ ය.

    මේ අපරිමිතයට විකල්පයක් ලෙස පාර්ලීමේන්තුවෙන් පිට මතු වී වර්ධනය වෙමින් යන අරගලය මේ මහා ඛේදවාචකයට විසඳුමක් දැයි යන ප්‍රශ්නය මගේ හිත තුල වරින් වර මතුව එන්නේ, මේ අරගලයට මා තුල ඇති අනුමැතිය හා අනුරාගය යටපත් කරගනිමින් ය. මෙතෙක් පැවැති පාලන ක්‍රමයන් හා එම ක්‍රමයන් නියෝජනය කරන පාර්ලීමේන්තුවෙන් නම් මේ යන විදිහට කිසිම පිළියමක් නො ලැබෙන බව නම් කිව යුතු නැත. ඒ ඔස්සේ මේ රටේ ඛේදවාචකයට විසඳුමක් ලබා ගත හැකි ක්‍රමයක් තිබේ ද කියා හිතුවොත්, මේ පාර්ලීමේන්තුව සහ ඒත් සමඟම හිතට එන පක්ෂ හා පුද්ගලයන් දෙස බැලූ විට, රටට සත්‍ය විසඳුමක් ඇත්තේ පාර්ලීමේන්තුවෙන් පිට ය යන සිතුවිල්ල බැහැර කරන්නට ඉඩ දෙන්නේ නැත.

    එහෙම නම් මේ රට බේරා ගන්න ඇත්තේ එලියෙන්ම ය. එය සිදු වේද, සිදු විය හැකි ද, යන ගැටලුවට උත්තර සොයා යන විට දහසකුත් එකක් ප්‍රශ්න වැල නො කැඩී ගලා එති. මේ ප්‍රශ්නවලට ඇති විසඳුම් හා පිළිතුරු මේ මොහොතේ සිදුවෙමින් යන ආකාරය අනුව අරගලය අංගුලිමාල බඳු ය. ඒත් මේ අංගුලි මාල මිනිසුන් බිලි නොගනියි. ඔහුව බිලි ගන්නට මාන බලයි. අංගුලිමාල නම් අරගලයට පෙර පිණ හා සත්‍ය වටහා ගැනීමේ ඥාණය ඇති නම්, ඔහුගේ විමුක්තිය පිණිස ඇති කරගත යුතු අවබෝධය වන්නේ අරගල ධර්මය යි. අරගල ධර්මය අරගල සත්‍ය බවට පත් කර ගැනීමේ ධර්ම යි. එය සතර විදයි. එය චතුර් ආර්ය අරගල සත්‍යයි. එනම්,

    අරගලය පිළිබඳ උතුම් සත්‍යය
    අරගලයට හේතුව පිළිබඳ උතුම් සත්‍ය
    අරගලය නැති කිරීමේ උතුම් සත්‍යය
    අරගලය නැති කිරීමේ මාර්ගය පිළිබඳ උතුම් සත්‍යය

    මේ සත්‍යයන් හතර ඔස්සේ ගමන් කරන්නට නම්, මේ ඛේදවාචකයට ආලෝකය සපයන ජනයා මේ ධර්මය පිළිගත යුතු වන්නාහ. එයට මග පෙන්වන්නෝ මේ ධර්මය අනුව හැසිරිය යුතු ය, ක්‍රියා කළ යුතු ය. රටට විමුක්තිය, ජනතාවට විමුක්කිය ඒකාන්තය. එය දවසකින් දෙකකින් නො වුණත් සියවසක් ගත නො වනු ඇත. එහෙත් මෙම සත්‍ය ඔස්සේ ගමන් කරන්නට ඇත්තේ කටුක මාවතක් ය. දෙව් දත්ලා හතර අත ය. ඒ දෙව්දත් පිටත පිමණක් නොව තමා තුල ද සිටින බව අපි අපිම අවබෝධ කරගත යුතු ය. විමුකත්යට වෙන අන් මගක් නැත. දැන් අප සියල්ල තැනකට පැමිණ ඇත. චරථ අරගලකරුවනි චාරිකං, බහු ජන හිතාය. බහු ජන සුඛාය

    මේ චතුර් අරගල සත්‍යයන් ගැන පසුවට වෙන වෙනම කතා කරමි

    අරගලයට විමුක්තිය !!!

    අරගලය පිළිබඳ ඥාණ විභාගයේ පළමු කොටස

    ගෝල් ෆේස් අරගලයට ඥාණ විභාගයක්

     

  • උල් කටු සහිත බැරියර්

    උල් කටු සහිත බැරියර්

    අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් කොළඹදී සංවිධානය කර තිබූ විරෝධතාවයක් අවස්ථාවේ පොලීසිය විසින් උල් කටු සහිත බැරියර් යොදා තිබීම සම්බන්ධයෙන් විශාල විරෝධයක් එල්ල විය. බොහෝ දෙනෙක් සඳහන් කළේ එය භයානක තත්ත්වයක් බවයි. මේ ඡායාරූපයෙන් දැක්වෙන කටු කම්බි සහ උල් කටු සහිත බැරියරය යොදා තිබෙන්නේ මුලතිව්, වද්දුවකල් ප්‍රදේශයේ තම ආගමික පුදබිමකට යාමට අවසර ලබා නොදීමට විරුද්ධ වූ දමිළ බැතිමතුන් පිරිසකට එරෙහිවයි.

    මුලතිව්, වද්දුවකල් දැනට හමුදාව විසින් බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින භූමියක පිහිටි දමිළ පුද බිමක ආගමික වතාවත් සිදු කිරීමට ශ්‍රී ලංකා හමුදාව විසින් බාධා කිරීමත් සමඟ බැතිමතුන් ඊයේ සවස වද්දුවකල් සප්ත කන්නිමාර් කෝවිල අසළ විරෝධතාවයක නිරත වී තිබේ.

    එම ආගමික පුදබිමේ වාර්ෂික මංගල්‍යයට පෙරාතුව ප්‍රදේශයේ බැතිමතුන් මුලතිව් මුහුදේ චාරිත්‍රානුකූලව නෑවීම සඳහා දෙවියන් රැගෙන යන මාර්ගයේ ශ්‍රී හමුදා කඳවුරක් ද පිහිටා ඇත.

    සෑම වසරකම, බැතිමතුන්ට කඳවුර හරහා යාමට හමුදාව අවසර ලබා දෙන නමුත් පසුගිය වසරේ කොවිඩ් වසංගතය හේතුවෙන් එයට අවසර ලැබී නැත. වසංගත නීති රීති දැන් ලිහිල් කර ඇති බැවින්, බැතිමතුන් ඔවුන්ගේ සුපුරුදු මාර්ගය බාවිතා කිරීමට අවසර ඉල්ලා ඇති නමුත් හමුදා විසින් එයට අවසර ලබාදී නැත.

    මේ දිනවල දකුණේ ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව සහ වෙනත් විරෝධතාවලට සිදුකරන හමුදා මැදිහත්වීම් සම්බන්ධයෙන් කතා බහක් ඇතිව තිබේ. මෙම තත්ත්වය උතුරේ දමිළ ජනතාවට දශක ගණනාවක් මුහුණදීමට සිදුවූ තත්ත්වයක් වන අතර යුද්ධය අවසන් වීමෙන් පසුව වුවද එහි වෙනසක් වී නොමැති බව මෙවැනි සිදුවීම් හරහා පැහැදිලි වේ.

  • පොලිස්පතිවරයා විසින් කමල් ගුණරත්නට යැවූ ලිපියක් ගැන දුමින්දගෙන් හෙළිදරව්වක්

    පොලිස්පතිවරයා විසින් කමල් ගුණරත්නට යැවූ ලිපියක් ගැන දුමින්දගෙන් හෙළිදරව්වක්

    පොලිස්පතිවරයා විසින් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත යවන ලැදැයි කියන බුද්ධි තොරතුරු ඇතුළත් ලිපියක් සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද (04) මාධ්‍ය හමු හමුවක් කැඳවමින් කැඳවමින් කරුණු පැහැදිලි කර සිටියා.

    එහිදී අදහස් දක්වමින් එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පැවසුවේ එය තිර පිටපතක් බවයි.

    ”ඒ ගොල්ලම ප්‍රවෘත්තිය එළියට දානවා. ගහන්න ඉන්නවා කියලා ඒගොල්ලම ගහනවා ගහලා ලස්සනට පෙළ හදලා පිටපත සම්පූර්ණ කරනවා”
    ඉදිරි දින කිහිපයේ රට තුළ දැවැන්ත මහජන නැගිටීමක් සිදුවන බවත් එකී මහජන උද්ඝෝෂණ මර්දනය සඳහා ආණ්ඩුව ක්‍රියා කරමින් සිටින බවත් පවසන දුමින්ද නාගමුව වැඩිදුරටත් කියා සිටින්නේ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඉලක්ක කර ගෙන යම් මර්දනකාරී පත්තත්වයකට සූදානම් වනවා ද යන සැකය ඉදිරිපත් කර ඇති ලේඛන හරහා මතුවන බවයි.

    ”අපි පැහැදිලිව කියනවා. මේ මර්දනයට අපි ඉඩ දෙන්නේ නෑ. ජනතාවටත් අපි කියනවා මේ මර්දනයට විරුද්ධව පෙරට එන්න”

    කළු කොටි සැමරුම’ යෙදෙන හෙට (05) හෝ අනින්දා (06) උතුරු, නැගෙනහිර හෝ දකුණු පළාත ඉලක්කකරගෙන බෝම්බ ප්‍රහාරයක්, යම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් කර එය එල්. ටී. ටී. ඊ. සංවිධානය විසින් කරන ලද්දක් යැයි ඒත්තු ගැන්වීමට සුදානමක් පවතින බවට විශේෂිත තොරතුරක් ලැබී ඇතැයි පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්නට මෙම ලිපිය යොමු කරමින් දැනුම් දී ඇත.

    මෙම ලිපියෙන් තොරතුර දැනුම් දෙන ආකාරයට අදාළ ප්‍රහාරය එල්ල කරනු ලබන බවට සඳහන් වන්නේ විදේශීය ඔත්තු සේවාවක සාමාජිකයන් පිරිසක් විසිනි.

    මේ හේතුවෙන් දැනටමත් යාපනය ප්‍රදේශයේ විදේශීය ආයතනවල සේවය කරන පිරිස් සහ ප්‍රභූවරුන්ට මෙම දින දෙක තුළ කිසිදු උත්සවයකට සහභාගී නොවන ලෙසට යම් දැනුම් දීමක් කර ඇතැයි ද එම ලිපියේ සදහන් වෙයි.

    මේ අතර, ඉදිරියේදී ප්‍රාදේශීය සභා මන්ත්‍රින් ඇතුළු දේශපාලනඥයන් ඉලක්ක කර ඔවුන්ට සහ ඔවුන්ගේ නිවාසවලට ද යම් ප්‍රහාරයක් එල්ල කර ඔවුන් මගින් රජයට බලපෑම්කර රජය අපහසුතාවට පත් කිරීම සදහා ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී පක්ෂවලින් සහ විපක්ෂ කණ්ඩායම් මගින් සැලසුම් කර ඇති බවට තමා වෙත වාර්තා කර ඇතැයි ද පොලිස්පතිවරයා මෙම ලිපියෙන් දැනුම් දී ඇත.

  • ‘රණවිරු’ ගැම්ම

    ‘රණවිරු’ ගැම්ම

    ආණ්ඩුවෙන් හන්දි ගානේ, ෂෙඩ් ළඟට හමුදාව යොදවලා ඉන්න කාරණාව දැන් දැන් බොහෝදෙනෙකුට පැහැදිලි වෙමින් යනවා. ආණ්ඩුව නම් මුලදි කිව්වේ ෂෙඩ් ලඟට හමුදාව, පොලීසිය දාන්නේ ක්‍රමවත්ව තෙල් බෙදන වැඩේ කරන්න, විශාල ජනතාවක් පාලනය කරන්න කියලා. අපි ඒ වෙලාවේ ඇස් කන් පියාගෙන හිටියා.

    අද වෙනකොට හමුදාව විසින් සාමාන්‍ය ජනතාවට තම බලය පෙන්නපු අවස්ථා ශාක්ෂි සහිතව වාර්තා වෙනවා. රාජ්‍යයකට හමුදාව යනු, රාජ්‍යට ‘අවනත’ නොවන අයට මර්දනය මුදාහැරීම සඳහා පත්කරගත් නිල කණ්ඩායමක්.

    ඕක අමතක වුනු නිසා උතුරු – නැගෙනහිර දමිළ ජනතාව මත හමුදාව විසින් අති දරුණු ප්‍රචණ්ඩත්වය මුදාහරින කොට අපි හුරේ දැම්මා. හමුදාවට මල් මාලා දැම්මා. අහිංසක මිනිස්සු අමු අමුවේ මරපු මිනීමරුවෝ ජනාධිපති සමාව දීලා නිදහස් කරනකොට කිරිබත් කෑවා. රජයේ අමාත්‍යංශවලට හමුදා නිලධාරීන් පත්කරනකොට, දිස්ත්‍රික් 25ටම හමුදා නිලධාරීන් පත්කරනකොට ඇස් කන් පියාගෙන හිටියා.

    දැන් අපි රණවිරෝවෝ කියපු අයම අපේ පැත්තට හැරිලා ‘අපි තොපි නෙමෙයි යකෝ ආරක්ෂා කරන්නේ’ කියලා කනට ගහලා පෙන්නලා දෙමින් ඉන්නවා.