හැඳින්වීම
ජූලි නව වැනි දින එක්තරා කූඨප්‍රාප්තියකට පත් වූ ගෝල් ෆේස් අරගලය බොහෝ ආකාරයන්ගෙන් සුවිශේෂී අරගලයකි. එය මෑත කාලයේ දී පමණක් නොව ඈත කාලයේ අරගල ඉතිහාසයන්ට අනුව පවා අපූර්ව සංසිද්ධියකි. මේ නිසාම මෙම අරගලය අරම්භ වූ අවස්ථාවේ සිට එය වර්ධනය වූ ආකාරය අනුව කිසිදු න්‍යායගත කිරීමට අනුගත නොවූ අරගලයකි. ඒ අනුව අරගලය පිළිබඳ කතා කරන්නට හෝ විග්‍රහ කිරීමට යන්නාට හෝ පවා අනුමැතියක් ලබා ගැනීමට නො හැකි විය. කිසියම් විදිහක සූත්‍රගත කිරීමකට හෝ පවත්නා දේශපාලන හෝ සමාජ න්‍යායන්ගෙන් ගලපන්නට ගිය විට අරගලයට මැදිහත් වූ බොහෝ දෙනාගේ පිළිතුරු වූයේ “ න්‍යාය වැඩක් නෑ“ කියන කාරණාව ය. අරගල කරුවෙක් විසින් එසේ පැවැසීම සාධාරණීයකරණය කිරීම අඩු වැඩි වශයෙන් යුක්තිසහගත වන්නේ, අරගලය සහ අරගල මොහොත පෙර නොවූ විරූ ලෙස හේතු ඵල ධර්මයට අනුව වර්ධනය වූ බැවිනි. හේතුඵලය වනාහී අරගලය මනසට වඩා ශරීරයට දැනෙන්නට වූ නිසා ය. එසේත් නැති නම් හදවතට වඩා බොක්කට දැනෙන්නට වූ නිසා ය. විෂය මූලිකත්වය විසින් මනෝ මූලිකත්වයත් මනෝ මූලිකත්වය විසින් විෂය මූලිකත්වය වෙනස් කිරීමකටත් ගමන් කරන්නට විය. මේ නිසාම මෙතෙක් කතා කළ නානා විධ න්‍යායයන්ගේ අදහස් සාමාන්‍ය ජනයාගේ හඬක් ලෙස මතු වන්නට වූයේ ඔවුන් න්‍යායික අදහස් කිසි දවසක අසා කියවා දැනුමක් තේරුමක් ඇතිව යැයි කියා සිතිය නොහැකි ය.
එම නිසා මෙතෙක් අරගලය ආ දුරට ඥාණ විභාගයක් අනවශ්‍ය යැයි හිතා කරබාගෙන ඉන්නට හැකි වුවත්, ඉදිරියට මෙම අපූර්ව අරගලය රටට වැඩදායක සාමූහික ජයග්‍රහණයක් වීමට නම්, ඇඟෙන් හිතූ අරගලය ඥාණයෙන් යුතුව අවබෝධ කරගත යුතු බව විශ්වාස ය. එය අරගලකරුවන්ට පමණක් නොව මුලු මහත් රට වැසියායටම දැන හෝ නො දැන හෝ වැදගත් වේ. එය මනස, හිත, හදවත සහ විඥ්ඥාණය යන සතරාංගයන් ගෙන් සහසම්බන්ධිත ය. මේ අංග හතර සමාන ලෙස පෙනුණත් එකිනෙක අතර ඇති වෙනසත්, සමානත්වයක් අන්තර් සම්බන්ධයත් තේරුම්ගන්නාක් වැනි ය.
ඉතිං මේ ලිපිය මෙසේ පටන් ගන්නේ, තවම පවා න්‍යායන් වැඩක් නෑ කියා සමාජගත වී ඇති ප්‍රතික්ෂේප වීමේ පසු බිමක් තුල විය හැකි ය. එසේ වුවත් මෙය ද අරගලයේම කොටසක් විය යුතුය යන විශ්වාසයත්, සත්‍යයත්, හා සාධාරණීයකරණයත් යන මූලික අංගයන් වන හෙයිනි. අරගලයේ පරමාර්ථ හරය රටට, සමාජයට, ලෝකයට නියමයක් වීමට නම් නැතිනම් දැනුමක් වීමට නම් “නො හැකියාවක් විය හැකියාවක්“ බවට පත්කර ගැනීම පිණිස අපට ඥාණ විභාගයක් අවශ්‍ය වන්නේ ය.
මීට වසර කිහිපයකට පෙර මා විසින් ලියා ප්‍රකාශ කර ඇති “ නැගෙනහිරට වම“ – විප්ලවිය ප්‍රවේශයක් පිණිස ලාංකීය ඥාණ විභාගයක් යන කෘතිය තුලින් කතා කළ කාරණා එක් අතකින් යථාර්ථයක් වීමට බල කරන්නාක් මෙන් හැඟුණත්, එයින් පවා මෙම අරගලය දෙස බැලීම සුදුසු වන්නේ නැත. මේ අරගලයට භවාංගය සපයන ලද්දේ රාජපක්ෂලාගේ හැකියාව විසින් ය.
නමුත්, ජූලි 9 වැනිදායින් පසුව රාජපක්ෂලාගේ හැකියාව අවසාන වුවත්, දිනෙන් දින තීව්‍ර සංකීර්ණත්වය තේරුම් ගැනීම රටට හා අරගලයට වගකීමක් කර මත පැවැරී ඇති. එම තත්ත්වය අනුව ක්‍රියාකාරී ජනයාට ජයග්‍රහණයක් ලෙස පරිසමාප්ත උද්ධාමයට පත් විය නො හැකි වී ඇත. ජයග්‍රහණ ගණනාවක් මේ වන විටත් අත්පත් කර ගනූ ලැබූ අරගලය පිළිබඳ උද්ධාම විය හැකි ය. එය එසේ කළ යුතු ය. නමුත්, මෙම අරගලයේ අනාගතය කරමත පැටැවී ඇති මග කියන්නන්ට මුනිවරයන්සේ ලෝභ ද්වේශ මෝහයෙන් නිර්විමුක්ත උපේක්ෂාවකින් හා පරමාර්ථයකින් යුතුව කටයුතු කිරීමට සිදුව ඇත්තේ මුලු මහත් ඉතිහාසය විසින් ද, ඊනියා යටත් විජිත නිදහසින් පසු 75 වසරක පවුල් පාලනයෙන් ද, විශේෂයෙන් රාජපක්ෂ පාලනයෙන් ගෙන දුන් විනාශයෙන් ද පසුව ඇති කළ යුතු අලුත් තත්ත්වක් ලෙස ය. එය දේශපාලනයේ නොව සොබා දහමේ ඉල්ලා සිටීමකි. ශිෂ්ටාචාර වගකීමකි. එබැවින්ම අප හැම අරගලයේ අන්තරග්‍රාහක ක්‍රියාකාරීන් වීමට නම්, අරගලය ආත්ම මූලික මෙන්ම විෂය මූලිකව ඥාණනය කර ගනිමින් අරගලය නියම විප්ලවයක් බවටත්, විප්ලවය සමාජ යහපතේ විපරිවර්ථනයක් දෙසට නිර්මාණය කළ හැකි නිර්මාණකරුවෝ බවට පත් විය යුතු ය. අශුභවාදී ඉතිහාසයක ක්ෂතියෙන් යුතු පරම්පරා ගණනාවක මිනිසුන් වන අපට සුභවාදී බාලාපොරොත්තු සහිත නිමේෂීය රටක් ගොඩ නැගිය හැකි වනු ඇත.