Breaking News

අර්ජුනගේ ක්‍රිකට් හැදිල්ල සහ මැක්ස්වෙල්ගේ ගැහිල්ල 

ගෙවිච්ච දවස් දෙකේ ක්‍රිකට් පිටියේ හරි අපූරු දේවල් සිද්ධ වුණා. ලෝක ඉතිහාසයේ පළමු වතාවට කිසිදු පන්දුවකට මුහුණ නොදී ක්‍රීඩකයෙකු දැවීගියා . ඒ අවාසනාවන්ත සිද්ධියට මුහුණ දුන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇන්ජලෝ මැතිව්ස්. ක්‍රීඩකයෙකු දැවීගිය පසු ක්‍රීඩා පිටියට පැමිණෙන නවක පිතිකරුවා නියමිත වේලාව තුළ තමන්ගේ ස්ථානය ලබාගෙන පන්දුවට පහර නොදීම හේතුවෙන් ඇන්ජලෝ මැතිව්ස් බංග්ලාදේශ කණ්ඩායමේ නායකයා ගේ  ල්ලීම මත දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස නම් කරන්නට විනිසුරුවරුන්ට සිද්ධ වෙනවා.  මේ සිදුවීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයාට බංග්ලාදේශ කණ්ඩායමට ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වුණා කියන එක අමතක වෙනවා.  ඊට  සුව හැමෝම කතා කරේ ශ්‍රී ලංකා කණ්ඩායම  ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තුළ බංග්ලාදේශයටත් පරාජයට පත් උනා කියන එක නෙවෙයි ප්‍රතිවාදී බංග්ලාදේශ් කණ්ඩායමේ නායකයා ගේ මහත්මා ගතිය පිළිබඳවයි.

පවතින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම ලබන අන්ත පරාජයන් සහ පසුබැසීම් හමුවේ ක්‍රිකට් පාලක මණ්ඩලයට සහ  ක්‍රිකට්  සම්බන්ධ සියලු පාර්ශවයන් වෙත එල්ලවෙන විරෝධය  දැඩි වෙන්න ගත්තේ ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 55 කට අන්ත පරාජයකට පත් වීම  සමගයි.  ක්‍රිකට් නැවත ගොඩ ගන්න වීරයෙක් අවශ්‍ය වෙනවා කියන පසුබිම් අඳෝනාව යළි යළිත් ඇහෙන්න පටන් ගත්තා. ක්‍රිකට්  ගොඩගන්න පුළුවන් එකම වීරයා කවුද අර්ජුන රණතුංග කියන කතන්දරය වැඩි වැඩියෙන් අපට ඇහෙන්න ගත්තා.

හරියටම කියනවා නම් රට ගොඩ දාන්න පුළුවන් එකම නායකයා ගෝඨාභය රාජපක්ෂ කියලා ඒ දවස් වල ගෝඨාභය වීරයෙක් කරල ජනාධිපති කරන්න මිනිස්සු පොර කෑව වගේ සිද්ධියක් මේකත් . ‍ක්‍රිකට් ප්‍රේක්ෂකයාගෙන් එල්ලවන විරෝධය ප්‍රයෝජනයට ගෙන ක්‍රීඩා ඇමති  ‍ක්‍රිකට් පාලක මණ්ඩල අතුරු ක්‍රිකට් පාලක මණ්ඩලයක් පත් කරන්න ලහිලහියේ දඩබඩ ගාලා කටයුතු කළා.  සුදු ඇඳගෙන ඇවිත් අර්ජුන රණතුංග මේ වගකීම බාර අරගෙන පැය විසි හතරක් යන්න මත්තෙන් අධිකරණ නියෝගයක් ඇවිල්ල යළි ආපහු හැරිලා යන්න වුණා. මේ වැඩේ මාස හයක් හිටියනම් අර්ජුන අපිට බලාගන්න තිබුණා ක්‍රිකට් ගොඩ ගන්නවද එහෙම නැත්නම් අර රට ගොඩ දාන්න ආපු නායකය වගේ වීරයා බලු වෙලා ක්‍රිකට් තව වළපල්ලට යවලා යනවද කියලා.  ඉතින් දැන් මේ පනවලා තියන අතුරු තහනම් නියෝගය දින 15 කට වලංගු වෙනවා. එතනින් එහා කුමක් සිදු වේවිද . ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තුළ තව එක තරගයක් අපේ කණ්ඩායමට ඉතිරි වෙලා තියෙනවා.  නවසීලන්තය සමඟ තියෙන මේ තරගය ජයග්‍රහණය කරත් පරාජයට පත් වුණත් අපේ කණ්ඩායම නැවත ශ්‍රී ලංකාව කර පැමිණෙනවා.

අර්ජුන රණතුංග ක්‍රිකට් පාලක මණ්ඩලයේ තනතුරු අරගෙන වැඩ පෙන්නන්න යන්නේ කියලා හිතපු සමහර මිනිස්සු අද උදේ කිරි බත් කෑවා.  කිරිබත් දිරවන්නත් මත්තෙන් අධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරල අර්ජුනව ගෙදර යැව්වා.

ශ්‍රී  ලංකා ක්‍රිකට් ඇතුළෙ ඔය වගේ එක එක දේවල් සිද්ධ වෙන අතරතුරේ අද දිනයේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර තරගය පැවැත්වෙනවා. මුලින්ම පන්දුවට පහර දෙන ඇෆ්ගනිස්ථාන කණ්ඩායම තමන්ට හිමි පන්දුවාර 50 දී ලකුණු 291  ක් රැස් කරනවා.  ප්‍රතිවාදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම  ඇෆ්ගනිස්ථානයට එරෙහිව පන්දුවට පහර දෙන්න පිටියට පිවිස  එකා පිට එකා ලකුණු අනුවකට විකට් හතක් කඩා වැටෙනවා .  ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ කඩාවැටීම හමුවේ ඇෆ්ගනිස්ථානු කණ්ඩායමට ජයක් ග්‍රහණය පෙනෙන නොපෙනෙන මානයට   එනවා .  ඒත් ඇෆ්ගනිස්ථානු කණ්ඩායමේ අතපසුවීම් ද තමන්ගේ වාසියට හරවාගෙන ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ හයවන කඩුල්ල ලෙස පිටියට පිවිසි  Glenn Maxwell  , Pat Cummins (c)  සමග එක්ව  බිඳ වැටුණු ඕස්ට්‍රේලියානු ඉනිම ක්‍රමානුකූලව ගොඩ ගන්නවා.  පන්දු 128 කට මුහුණ දෙන මැක්වෙල් ලකුණු 201 ලබාගන්නේ හයේ පාර 10 ක් සහ  හතරේ පහර 21  සමගින්. දැන් හැමෝම මැක්ස්වෙල්ගේ ලකුණු 201 පිළිබඳව කතා කරනවා. හැබැයි  ඔහුට මේ හපන්කම කරන්න සිද්ධ වෙන්නේ නැහැ අනිත් පස කඩුල්ල රැකුණේ නැත්නම්.  මේ තරගයේ දී මැක්ස්වෙල් වගේම අනිත් පස කඩුල්ලේ පන්දු 68කට මුහුණ දීලා ලකුණු 12ක් ලබා ගත්තු Pat Cummins  වැදගත් වෙනවා. මොකද  ඔහු දැවී ගිය නම් ඊළඟ ක්‍රීඩකයන් දෙන්නා ද දැවී යන්නට ඉඩ තිබුණා.  ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ අද ජයග්‍රහණය කණ්ඩායම ගැන හිතමින් ක්‍රීඩාකළ මේ  ක්‍රීඩකයන්ගේ කණ්ඩායම් හැගීම ඒ ජයග්‍රහණයක් ඒ විතරක් නෙවෙයි පරාජය හමුවේ ලෙහෙසි පරාජයකට ඇද වැටෙන්නේ නැතුව ගෞරවාන්විත පරාජයක් බවට පත් කරගන්නට වෙර දැරීමේ  ප්‍රතිඵලයක්.

ඉතින් ලංකාවේ ක්‍රිකට් හදන්න දඟලන උන්ටත්  , ලංකාව කණ්ඩායමටත් නැවත රට   ජයග්‍රාහි ඉමකට ගෙනියන්න අවශ්‍ය නම් මේ සිදුවීම  ආදර්ශයක් ලෙස ගන්න පුළුවන් අවස්ථාවක් තමයි අද අපි ඕස්ට්‍රේලියානු සහ ඇෆ්ගනිස්තාන තරගය තුළ දුටු.

පුහු  වීරයෝ ගෙනත්  රටක් හදන්න බැහැ කියන එක අපි පසුගිය වසරේ ඉගෙන ගත්තා. ඒ වගේම තමයි රටක් හදන්න පුහු වීරයන්ට බැරි වගේම ක්‍රිකට් හදන්නත් වීරයන්ට බැරි බව අප දැන ගන්න ඕනා.

leave a reply