Breaking News

ඔලුව අහිමි පොහොට්ටුවේ නැට්ට තළා දැමිය යුත්තේ එළඹෙන විසි වෙනිදා ය

රටේ ජනතාව විසින් රටින් පලවා හැරපු, ජනතාවගේ අප්‍රසාදයට ලක් වූ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පත්කරගත් අගමැතිවරයා රනිල් වික්‍රමසිංහ  ජුලි 15  දින වැඩබලන ජනාධිපති ලෙස දිවුරුම් දී තිබේ.ව්‍යවස්ථාවට අනුකූලව තාවකාලිකව රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වැඩබලන ජනාධිපති ලෙස දිවුරුම් දුන් බව අද රනිල් වික්‍රමසිංහ මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියා.

රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනාධිපති ලෙස දිවුරුම් දෙන්නේ අද උදෑසන කතානායක  මහින්ද යාපා  නිල වශයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වූ බව දැනුම් දීමෙන් අනතුරුවයි.  එළැඹෙන විසිවැනි දා පාර්ලිමේන්තුවේ නාමයෝජනා කැඳවා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ධුර කාලයේ ඉතිරි කාලය වෙනුවෙන් ජනාධිපතිවරයෙකු පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්තෙන් පත් කර ගැනීමට නියමිතයි.

කෙසේ වෙතත් මේ වන විට පොදු ජන පෙරමුණ සහ රනිල් වික්‍රමසිංහ අශුද්ධ එකගතා නිර්මාණය කර ගනිමින් විසි වැනි දා පාර්ලිමේන්තුවේ නාමයෝජනාවට තමන්ගේ නම ඇතුළත් කරගනිමින් පොදුජන පෙරමුණේ සහය ඇතිව ජනාධිපති වීමට මාන බලමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

අද රනිල් නිල වශයෙන් දිවුරුම් දී   වැඩ බලන ජනාධිපති වුණායින් පසුව මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කරනු ලැබූවේ රටේ ජනතාවට තර්ජනයක්.  වික්‍රමසිංහ ව්‍යවස්ථාවට අනුකූලව වැඩ කරනවා කියලා කියන අතරම දැවැන්ත ජනතා විරෝධයක් පැන නැගී තිබෙන මොහොතක ජනතා විරෝධය තුට්ටුවකට ගණන් ගන්නේ නැතිව වැඩබලන ජනාධිපති බවට පත්වීමද  ව්‍යවස්ථාව  උල්ලංඝනය කිරීමක්. ව්‍යවස්ථාව තුළ ජනතාවගේ පරමාධිපත්‍ය බලය කිසිවෙකුට මංකොල්ල කන්න බෑ කියල  ලියා තිබෙන පිටුව රනිල් කියවලා නැද්ද කියලා හිතෙනවා.

මාධ්‍ය සාකච්ඡාවේදී රනිල් වික්‍රමසිංහ අවධාරණය කරලා කියා සිටින්නේ තමන් මේ වන විටත් ඕනෑම ජනතා ගිටීමක් මර්දනය කරන්න අවශ්‍ය කරන මර්දන යාන්ත්‍රණය සක්‍රීය කරලා තියෙන බවයි. බලය නැති මොහොතේ මිස්ටර් බීන්ගේ චරිතය රඟපු රනිල් වික්‍රමසිංහ  පාර්ලිමේන්තුව තුළ හෝ ඉන් පිටත ජනතාවගේ හෝ බලයක් නැතිව  රාජපක්ෂලාගේ උවමනාව සඳහාම මං කොල්ලකාගත් බලයකින් ජනතාව මර්දනය කරන්නටත්, තමන්ගේ දීර්ඝකාලීන බල උවමනාව  ඒ මර්දනය මතින් ඉදිරියට ගෙන යන්නටත්   මාන  බලමින් සිටින බව මේ මාධ්‍ය සාකච්ඡාවේ ප්‍රකාශ තුළින්  ඉස්මතුවෙලා පෙනෙනවා.

විශාල පාර්ලිමේන්තු බලයක් සහිතව, පාර්ලිමේන්තුවෙන් පිටත විශාල මහජන බලයක් සහිතව, හ ව්‍යවස්ථාවෙන් විශාල බලයක් හිමිකරගත්  ගෝඨාභය රාජපක්ෂව මේ රටේ ජනතාව එක්ව රටිනුත් පලවා හැරිය. එහෙයින් රනිල් වික්‍රමසිංහ මතක තියා ගත යුතුයි   88/89  මිනිසුන්ව බියවද්දා, මරා, හළු කර බලය රඳා ගත්තා සේ දැන් ඒ ආකාරයෙන් බලයට පැමිණීමට හෝ බලය රඳවා ගැනීමට නොහැකි වෙන බව. දිගින් දිගටම බලය පිළිබඳව තිබෙන කෑදර කමින් රනිල් වික්‍රමසිංහ කටයුතු කළොත්  8 වන විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නින්දා සහගත ව රටින්  පලා යන තැනට ජනතවගේ  අප්‍රසාදයට ලක් වුණාට වඩා වැඩි අප්‍රසාදයට ලක් වී උන් හිටි තැන් අහිමි කර ගැනීමට සිදුවෙන බව.

අරගලය නිර්මාණය වුණේ බත් පැකට් එකට අරක්කු කාලට එහෙමත් නැත්නම් වෙනත් වාසි වලට නොවෙන බව බලයට කෑදර රනිල් වික්‍රමසිංහ ඇතුළු පොදුජන පෙරමුණේ තවමත්  ජනතා මතයට කෝචොක් කරන මැති ඇමැතිවරු ද සිහි තබා ගත යුතුයි. එසේ නොවේ නම් එළඹෙන අගෝස්තු නම වැනිදා ද  දේශපාලන බල පෙරේතයන්ට මේ රටේ ජනතාව පුදුම කරවනු ඇත

leave a reply