Breaking News

කොතලාවල පනතට එරෙහිවීම නිසා අත්අඩංගුවට ගත් සිසු ජන නායකයින් තවත් දින 14ක් රිමාන්ඩ්

කොතලාවල පනතට එරෙහි උද්ඝෝෂණය නිසා අත්අඩංගුවට ගත් සිසු කම්කරු ක්‍රියාකාරීන් ලබන මස 05වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකිරීමට
කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබේ.

මෙම විරෝධතාකරුවන්ට ඇප ඉල්ලා සිටීමට අද දින හෝමාගම මහාධිකරණයට කළ ඉල්ලීම සළකා බැලීමද ඔක්තෝබර් 5 වැනිදා දක්වා කල්දමා ඇත.

වර්ග අඩි 09 ක කාඩ්⁣බෝඩ් පෙට්ටියක් පිළිස්සීම ⁣ඔවුන්ට ඇති ප්‍රබලතම චෝදනාවයි. කාඩ්⁣බෝඩ් පෙට්ටිය පිළිස්සීම හේතුවෙන් මහා මාර්ගයට බරපතල ලෙස හානි සිදුවී ඇති බවත් හානියේ තක්සේරු වටිනාකම රු.179,000 ක් ලෙසත් පොලීසිය උසාවියට කරුණු ඉදිරිපත් කර ඇත. මීට අමතරව අගෝ.03 පැවති උද්ඝෝෂණයේදී විරෝධතාකරුවන් යකඩ බැරියර් අතින් තල්ලු කිරීම හේතුවෙන් ඒවාට රු.30,000 ක හානියක් සිදුවී ඇති බවද තලංගම පොලීසිය විසින් උසාවියට වාර්තාකර තිබේ. කඩුවෙල උසාවියේ මහේස්ත්‍රාත්වරයා සිසුජන ක්‍රියාකාරීන්ට ඇප ලබාදීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කරන්නේ මෙම ‘සාතිශය බරපතල’ චෝදනා හේතුවෙනි! ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාවේ තොරතුරු විනාශ කිරීමටත් වඩා කාඩ්⁣බෝඩ් පෙට්ටියක් ගිනිතැබීම බරපතල වරදක් බව සමස්ත ලෝකයම පළමු වරට දැනගත්තේ සිසුජන ක්‍රියාකාරීන්ට අදාළ මෙම නඩු කටයුත්ත හේතුවෙනි.

නිරෝධායන නීති භාවිතා කරමින් විරෝධතා මර්දනය කිරීම මෙතෙක් ආණ්ඩුවේ උපක්‍රමය වූ අතර එය අසාධාර්ථක වූ තැන පොදු දේපල පනත වැනි අණපනත් භාවිතා කරමින් විරෝධතා මර්දනය කිරීම සිදුකරයි. ආණ්ඩුවට විරුද්ධව සමාජජාලවල සටහන් තැබූ ඇතැම් පුද්ගලයන් අත්තඩංගුවට ගෙන තිබෙන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කරමිනි. කඩිමුඩියේම හදිසි නීතිය පනවා ගැනීම සිදුකළේ ද වෘත්තීය අරගල මර්දනය කිරීමේ අරමුණෙනි. ජනතා ඉල්ලීම් ඉදිරියේ ආණ්ඩුවේ ප්‍රතිචාරය එවැන්නකි.

leave a reply