මේක ලස්සන තැනක් අපි හදාගත්තු සිරගෙයක්

නිර්මාණකරුවා කුමන හැඟීමක් අදහසක් තමන් සතු කරගෙන නිර්මාණයක් කලත් ඒක ඒ අර්ථයෙන් ම පාඨකයා රසිකයා ලබාගන්නේ නැහැ. ලබාගත යුතු නැහැ. ගීතයකට කවියකට හැමෝටම හැඟෙන නිශ්චිත අර්ථයක් තියෙන්න පුළුවන්. එත් නිශ්චිත අර්ථයෙන් පිට ගීතය කවිය ගෙනියන්න ඕනේ නම් සමාජ දේශපාලන සංස්කෘතික තලයන් වල තියලා ඒ ගීතයේ පද එක්ක සෙල්ලම් කරල වෙනත් අර්ථ උලුප්පලා පාදලා ගන්න පුළුවන්. එය වර්තමානයේ සිදුවෙන වල්බූරු අදහස් නිර්මාණය කිරීමේ නිදහසින් නොව නිර්මාණ හා සැසඳෙන අර්ථකතනයන් වීම වඩාත් වැදගත් වෙනවා.

විශේෂයෙන්ම කෙටි කවිය විවිධ අරුත් නිර්මාණය කිරීමේ ශක්තියෙන් යුතුයි. එය එසේ වෙන්නේ නිර්මාණකරුවාගේ දක්ෂතාවය අනුව. ඔහුගේ දැක්මේ කියවීමේ ප්‍රමාණය අනුව . පහත කෙටි කවිය රචනා කරන්නේ අර්ජුන පෙරේරා.

මේක
ලස්සන
තැනක්.

දැන්
ඒක
කදවුරක්.

තටු
කපපු
කුරුළු
කිරිල්ළියෝ
ඉන්න.

මට මේ කවියේ මුල් වචන තුන කියවද්දී පොඩි සුන්දර හැඟීමක් මතකෙට එනවා මල් වත්තක් කුරුල්ලන් සමනලුන් සිටින නිදහසේ ඇවිදින මිනිසුන් ගැහැනුන් සිටින පරිසරයක . මෙහි දෙවන වචන තුන කියවද්දී අර මුල් සුන්දර හැඟීම විනාශයට පත්වෙලා නිදහස අහිමි වෙච්ච මිනිසුන්ගෙන් පිරි සිපිරි ගෙයක් මවෙන්න ගත්තා. අන්තිම වචන පහ ලබාදුන් චිත්ත රූපය තමයි අවම සදාචාරය වත් නොරකින ම්ලේච්ඡත්වයෙන් පිරි අර ඉහත කී සිපිරිගෙයි තත්වය . මේ පුංචි කවිය කියවලා අවසාන කරද්දිම මතකයට ආවේ. මෑත ඉතිහාසයේ මිලිටරි පාලනයකට එරෙහිව තරුණ තරුණියන් සටන් වැදුණු මියන්මාරයේ ඒ තරුණ සටන්කාමින්ව .

මේ කවිය මට දෙන්නෙම දේශපාලන අර්ථයක්. හැත්තෑ වසරක තට්ටු මාරු දේශපාලනය තුළ අපි ජීවත් වෙලා තියෙන්නේ සාමකාමීත්වය තුළ නෙවෙයි මිලේච්ඡත්වය තුළ ,කුමන හෝ හේතුවක් නිර්මාණය කරගෙන මිනී මරපු රජ්‍ය පාලන යාන්ත්‍රණ තුළ. දැඩි මර්ධනකාරී වටපිටාවන් තුළ. මගේ මතකය තුළ 88 89 තියෙනවා. මගේ මතකය තුළ තිස් වසරක ම්ලේච්ඡ යුද්ධයේ මතකයන් තියෙනවා. මගේ මතකය තුළ දෙදහස් නවයෙ සමූල ජන ඝාතනයේ වරදකාරි මතකය තියෙනවා. ලස්සන තැන විනාශ කිරීමේ කොටස් කාරී වරද කාරිත්වය මේ කවියෙන් මගේ පපුවට අනිනවා.

රනිල් මෛත්‍රී ප්‍රමුඛ යහපාලන ආණ්ඩුව රට කරගෙන යද්දි 2019 පාස්කු ප්‍රහාරය සිද්ධ වෙනවා. තවමත් මේ ප්‍රහාරයෙන් වරදකරුවන් කවුද කියලා නිශ්චිත වශයෙන්ම හඳුනාගෙන නැහැ. ඒ ප්‍රහාරය පිළිබඳව කර ඇති පරීක්ෂණ ඉදිරිපත් කර ඇති නිරීක්ෂණ සහ මත වී ඇති පල වලට අනුව අපිට හැංගෙනවා මේක අමු දේශපාලන වාසි ලබාගැනීම සඳහා සැලසුම් කළ මිනීමැරුමක් කියන හැඟීම. ගෝඨාභය රාජපක්ෂ නැමැති වර්තමාන ජනාධිපතිවරයා තමන්ගේ දේශපාලන ගමන ඉක්මන් කරන්නේ මේ ප්‍රහාරයත් සමග, වර්තමාන ආණ්ඩුව බලය ලබා ගැනීමේ ව්‍යාපෘතිය වඩාත් ශක්තිමත් ලෙස පදනම් ගත කරන්නේ මේ ප්‍රහාරය මත.

ජාතික ආරක්ෂාව ගිලිහීම, රාජ්‍යයේ අනාරක්ෂිතභාවය, ජනතාව ඉදිරියේ ඇති අනතුර, මහ ජාතියට සුළු ජාතීන් ගෙන් එල්ල විය හැකි ප්‍රහාර පිළිබඳ බිය වර්ධනය කිරීම, හැර තවත් බොහෝ දේවල් මේ ප්‍රහාරය සමග අතිනත ගෙන ජනතාව බියට වද්දා ඉහත කී මූලික කරුණු සතරෙන් රට සන්නද්ධ කිරීම සඳහා මිනිස්සු ගෝඨාභයව ජනාධිපති කරගන්න කතිරය පාවිච්චි කරනවා, මේ ආණ්ඩුව පිහිටුවා ගන්න. මිනිස්සු රාජපක්ෂවරු ප්‍රමුඛ මේ ආණ්ඩුව හදන්න දායකත්වය සපයන්නේ ඒ මොහොත වන විට අනාරක්ෂිතව තිබුණු රට ආරක්ෂා කර ගැනීමටත් ලස්සන කර ගැනීමටත් කියන අදහස් ඇතිව. දැන් ඒ ඔක්කොම හමාරයි. ප්‍රාර්ථනාවන් සුනු විසුනු වී ගොස් හමාරයි. රට ආරක්ෂිත නෑ අනාරක්ෂිතයි. රටේ සම්පත් විකිණීමේ සීමාව ඉක්මවා ගොස් අසීමාන්තික ලෙස එය ඉදිරියට ගමන් කරමින් තියෙනවා.

මේක
ලස්සන
තැනක්.

දැන්
ඒක
කදවුරක්.

තටු
කපපු
කුරුළු
කිරිල්ළියෝ
ඉන්න.

මේ කවිය නැවත කියවද්දී සහ දැන් ලංකාවෙ රජ්‍ය ව්‍යුහය සැකසී තිබෙන ආකාරය පිළිබඳව කල්පනා කරද්දී මට හිතෙනවා මේ කවියෙන් කියවෙන්නේ ලංකාවේ මිනිස්සු ගැන කියලා. අමාත්‍යාංශ ලේකම්වරු හමුදාවේ. කොරෝනා මර්දන ව්‍යාපෘතිය හමුදාවේ. ආපදා කලමනකරණය හමුදාවේ. රටේ විශේෂ ආර්ථික මර්මස්ථාන වල ඉන්නේ හමුදාව. මේ විදිහට රාජ්‍ය යාන්ත්‍රණය සෘජුව හෝ වක්‍රව හමුදාව යටතට මත් කරන්න ගෝඨාභය උත්සාහ දරමින් ඉන්නවා. අපි මේ ජීවත් වෙන මොහොත රටේ දැඩි සංචරණ නීතිරීති දමා තිබෙන මොහොතක්. සාමාන්‍ය ජනතාවට එලියට බහින්න බැරි, ඒකරාශී වෙන්න බැරි, තත්වයක් නිර්මානය කර තිබෙන මොහොතක්. නමුත් පාර්ලිමේන්තුව රැස්වෙනවා රටට ජනතාවට අහිතකර අණපනත් සම්මත කර ගැනීම සඳහා. ගෙවුණු කාලය තුළ එවැනි පනත් කිහිපයක් සම්මත කරගත්තා. ඒ අතර ප්‍රමුඛ පනතක් තමයි පෝට් සිටි පනත. ජනතාවට විරෝධය දක්වන්න අවස්ථාවක් නොදී ඔවුන් මේ පනත සම්මත කර ගන්නවා. ඉදිරියේදී එන්න නියමිතයි දහස් අධ්‍යාපනය විකිණීම සඳහා අවශ්‍ය මග නිර්මාණය කරන කොතලාවල ආරක්ෂක පනත් කෙටුම්පත. මේ පනතත් රටේ ජනතාවට අහිතකරයි ජනතාව හිරකරලා කතාකරන්න, ඒකරාශී වෙන්න අවස්ථාව නැති කරලා මේ අහිතකර අණපනත් ආණ්ඩුව සම්මත කරගන්න සූදානමින් ඉන්නවා.

ඉතින් මේ කවිය කියවන වාරයක් පාසා මටනම් සිහියට නැගෙන්නේ ස්වර්ගයට යන්න අත් අල්ලපු මිනිස්සුන්ව අපායට හිර කරන්න මිලිටරි ජුන්ටාව තමන්ගේ එකම ගැලවුම බවට පත් කරගෙන සිටින දැන් මේ රටේ වර්තමාන පාලනයයි ඒකේ ස්වභාවයයි. මේ කවිය යන්නේ සුන්දරත්වයෙන් පටන් ගෙන කෘරත්වයට.

හිල්මි සුපුන්

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *