දියණිය සහා විදෙස්ගත පියා අතර හසුන් හුවමාරුව
තැබෑරුමකට වරෙන් සිංහයෝ – නලින්ද සංජීව ලියනගේ
“වුද්දිකාරෝ ආලිංගිත්වා
චුම්බිත්වා පිය පුත්තකං
රාජමජ්ඣං සුපතිට්ඨං
පිතු පාදං නමා මහං”
අද දවසේ අප රටේ බොහෝ දරු දැරියනට, “පීතු පාදං නමා මහං” කියා තමාගේ තාත්තාගේ දෙපා නැමද නින්දට යාමේ වරම අහිමි වී තිබේ. තම දරුවන් “රාජමජ්ඣං සුපතිට්ඨං” වනු දකින පිණිස ඒ පියවරුන් පතිරූප දේස වාසෝච හෙවත් වාසයට සුදුසු දේසයක් සොයා රටින් පිටවී ගොසින් ය. නලින්ද සංජීව ලියනගේ කවියාගේ “දියණිය සහා විදෙස්ගත පියා අතර හසුන් හුවමාරුව”යන හිසින් හමුවන කවිය එවන් කැප කිරීමක් කරන්නට සමත් වූ තාත්තා කෙනකු හා දුවක අතර ඇතිවන සංවාදයක් නිමිති කරගෙන උපන් කාව්‍ය සිත්තමකි.
පසුගිය කාලයේ රට හැර යන්නට පෝලිම්ගත ව සිටී පිරිස් මෑත කාලයේ ඉන්ධන, ගෑස්, කිරිපිටි පෝළිම්වල සිටි පිරිසට දෙවෙනි නො වූ බව ඔබ කවුරුත් දන්නා කාරණයකි. මෙසේ පවුලක මව, පියා වෙන්වී යාම එම කුටුම්භයට, පවුල් ඒකකයට එතරම් සුබදායක නොවේ. සමාජයේ ඇතිවන විවිධ බිඳ වැටීම්, ගැටලුවලට හේතුව එම වෙන්වීම වුවත්, නැවත එක් වීමෙන් පවා සමහර විටක ඇති වූ ඇතැම් දෙදරායාම් පෑස්සීමට නො හැක.
එසේ වෙන් වී වෙනත් රටවලට යන දෙමව්පියෝ ද ඔවුන්ගේ දරුවන් ද, අප රටේ පවතින ආර්ථික ගරා වැටීමේ වින්දිතයෝ වෙති. ඔවුනට ගේහසිත ප්‍රේමයක සුව විඳීමේ ඉඩ නැත. සුතඹුවන්ගේ උණුසුම දරාගන්නට මොහොතක් නැත. දරුවනට උවමණා රැකවරණය පවා ලබාදෙන්නට ඔවුන් සමීපයේ නැත. මේ සියල්ල ම කැප කරන්නේ වඩා හොඳ හෙට දවසක් වෙනුවෙනි. සමහර තැනක ඒ පැතුම සපළවනු දක්නට ලැබුණත් බොහෝ අවස්ථාවල එය හුදෙක් මිරිඟුවක් ම පමණි.
ආකෘතිමය හා ව්‍යුහමය හැඩතළ අනුව මේ නිර්මාණය වඩාත් සමීප වන්නේ සිංහල ජන කවියට ය. සිව්පද ආර, එළිසමය ද සහා එහි ඇති උභය භාෂාලංකාරය සහා කට වහර භාවිතය ආදිය එයට උදාහරණ ලෙස දැක්විය හැක. සිංහල ජනකවියා සතු සමාජ ගැටලු විනිවිද දැකීමේ නිසග හැකියාව, උපේක්ෂා සහගත බව සහා උත්ප්‍රසාත්මක ව කරුණු කාරණා විවේචනය කිරීමේ සහා විරෝධාකල්ප ඉදිරිපත් කිරීමේ සංයමය කවිය පුරා ම දක්නට ලැබේ.
ලෝකෙන් උතුම් රට ශ්‍රි ලංකාව කියා
මගේ වැඩ පොතේ ලොකු අකුරින් හැඩට ලියා
සිතියම් පොතේ අන්න’ර දුර රටට ගියා
අඬ අඬ වගෙයි යන වේලෙත් හිටියෙ ඔයා
විෂය නිර්දේශානුකූල ව දරුවා අත්දකින “ඉගැන්වීම” හා ප්‍රායෝගික ජීවිතය තුළ අත්දැකීම් ආශ්‍රයෙන් දරුවා ලබන “ඉගැනීම” අතර පරස්පරය කවියා ප්‍රශ්න කරයි. ලෝකෙන් උතුම් රට හැර අන්න’ර දුර රටට අඬ අඬ ගිය තාත්තාගේ රූපය දියණියට මතකයෙන් නො ගිලිහෙන තරම් කම්පනයක් ගෙන ආ දර්ශනයකි. ශ්‍රී ලංකාව ලෝකෙන් උතුම් රට නම් උතුම් නො වූ දුර රටකට තාත්තා යන්නේ ඇයි?
සමස්ත කවියේ අත්දැකීම වේදනාත්මක වූවත්, ආවේගයන් විරෝධාකල්පයන් සේ එළි බැස්සත්, ඒවා කවියක් තුළ බහා සමාජයට ගෙන ඒමේ දි කවියා දක්වන සංයමය අගය කළ යුතු ය. ඔහුගේ ආවේග හුදු සටන් පාඨ නො වේ. ඔහුගේ හඬ විලාපයක් හෝ ලතෝනියක් නො වේ.
පවතින සමාජ ආර්ථික දේශපාලනික ක්‍රමවේදයන්ගේ පීඩනය දරා ගන්නට නො හැකි වූ විට මිනිසා අරගලය අරඹයි. එය විරෝධාකල්ප සාහිත්‍යයේ තිඹිරි ගෙය බවට පත්වෙයි. ඔබ හොඳින් දන්නා “ඉන්නේ දුම්බරයි මහ කළු ගලක් යට” පතල් කවිය එවන් අරගලයක අඬහැරයට කදිම නිදසුනකි. එම පතල් කවිය සිහි කරගෙන නලින්දගේ මෙම කවි පන්තියේ එන පහත කවිය කියවමු.
” කිරි සුවඳකට ගැස්සී මේ දැන් ආව
ඇහැරී බලමි නිදිදැයි නුඹ මං ගාව
වොන් මිටිවලින් නොනිමෙන සඳ සංකාව
සිහිනෙන් එන්න බැරි දුරකිනි ලංකාව”
කවියා මේ කවි සිත්තම හරහා ඉදිරිපත් කරන ඒ සංවේගජනක අවස්ථාව, අද සමාජයට ඉතාම හුරු පුරුදු අත්විඳීමක් බැවින් ඒ කව පිළිබඳ ව කිසිත් නො කීම සුදුසු ය. නමුත් අවසර දෙන්න ජයතිලක කම්මැල්ලවිරයන්ගේ මේ සොඳුරු කවිය උපුටා පොඩ්ඩකට මෙතනින් තියන්නට.
පොඩ්ඩකට
නිලෙන් දිදුලන මහ සයුර,
ලස්සනයි ඔබ
ඇත්තට ම ලස්සනයි
බැරි ද අයින් වෙන්න ඔතනින්
පොඩ්ඩකට
ගිහින් එන්න මට
ගෙදර
– ජයතිලක කම්මැල්ලවීර
තම දුවා දරුවන්ගේ සතුට හා යහපත වෙනුවෙන් තමන්ගේ ජීවිතයේ හොඳ ම දවස් කැප කරන දෙමව්පියන් අප සමාජයේ විරල නොවේ. අප තෝරාගත් කවියේ හමුවන තාත්තා ද එවන් තාත්තා කෙනෙකි. ඔහු අප මුළු සමාජයේම දෙමව්පියන් නියෝජනය කරයි.
වැස්සක පොකුරු හිම විනිවිඳ සඳක් දැවේ
ඉස්සර නොදත් මල්ගොමු මං දෙපස මැවේ
ලස්සන කියන්නේ එ කිසිවකට නොවේ
තිස්සෙම පිපුණු උඹෙ හසරැල්ලටය දුවේ
“තිස්සෙම පිපුණු උඹෙ හසරැල්ල” තාත්තාගේ සිතේ දරුවා පිලිබඳ ව තිබෙන ප්‍රාර්ථනා හා බලාපොරොත්තු අපට හඟවයි. මුල් පද දෙක අපට පෙන්වන්නේ ඔහු විදෙස්ගත වීම නිසා අත් පත් කරගන්නට සමත් වී ඇති භෞතික දියුණුව යි. ඒහෙත් ඒ කිසිම දෙයක ඔහු පතන සතුට නැත.
” මුතු ඇටයකට බර වැඩි වුණි අපේ හුස්ම
පා කර එවාපන් සෙනෙහස උණුහුම්ම”
තාත්තාගෙත් දියණියගෙත් ජීව්ත, ඉන්දියන් සාගරයේ බබලන මුතු ඇටයට දරාගත නො හැකි වූ බැවිණි ඔවුණට වෙන් වන්නට සිදු වී ඇත්තේ. එය රසවත් කාව්‍යෝක්තියකි.
වින්‍යා මැණිකේ ජයසේකරගේ සරුංගල් ප්‍රේමිය කාව්‍ය සංග්‍රහය තුළ හමුවන “ඇය මගේ ප්‍රථම මිතුරිය” යන හිසින් යුතු කවි සිතුවමේ කොටසක් මෙහිදී මතක් කිරීමට සිතෙන්නේ, නලින්දගේ කවියේ සිටින දුවණියගේ ආත්ම ප්‍රකාශනය වඩාත් හොඳින් වින්‍යාගේ කවියේ නිරූපණය වී තිබෙන බැවිණි. ( සිය මව ගුවන් තොටුපොළෙන් පිටත්කර යවා ආපසු එන ගමනේ දී දුවකගෙ සිතේ ඇතිවන සිතිවිළි සමුදායක් වින්‍යාගේ කවියේ වස්තු විෂය වෙයි.
” එතැන් සිට මා තනි ගමන
අඳුරු මීදුමෙන් වැසෙන
කතර මැද පිපාසය
සංවේදි වියැළුම
හිස මත වැටෙන වැසි සීත
අතින් අදිමින් අතවර කරන සුළං
ඇයට නොපෙනෙන” – වින්‍යා ජයසේකර
නලින්දගේ කවිය තුළ විදෙස්ගත පියාගේ භාවයන් ඉතා හොඳින් ඉදිරිපත් වූවත්, දියණිය එදිනෙදා මුහුණ දෙන සාමාන්‍ය ජීවිත ගැටලු හැර ඇගේ සංවේදනාත්මක ඉම් විවර කිරීමට ඉඩ කඩ වෙන්කරගෙන නො තැබීම දක්නට ලැබේ. එය කවියා සචේතනික ව සිදුකළා යැයි සිතමි. දියණිය හුරතල් කතා කියමින්, ඇගේ වේදනාව හංගාගෙන සිටිමට උත්සහා කරන්නේ ඈ තුළ, තාත්තා වෙත ඇති උතුරා යන ආදරය නිසා වීමට පුළුවන.
කවියා කවිය අවසානයේ, උපදෙස් දීමකට හෝ විසඳුම් යෝජනා කිරීමට හෝ කඩිනම් වී සමෝධානයකට නො යා විවෘතව තබයි. සැබවින් ම අප සමාජය මුහුණ පා සිටින ගැටලුවලට විසඳුම් හුදකලා ක්‍රියාකාරකම්වලින් සෙවිය නො හැක. එය සාමුහික ක්‍රියාදාමයක ප්‍රතිපලයක් විය යුතු ය.
නලින්දගේ තැබෑරුමකට වරෙන් සිංහයෝ කාව්‍ය සංග්‍රහයේ එන වෙනත් කවියකින් ගත් කොටසකින් මෙම සටහන අවසන් කරමි.
“එන්න එන්න සැඩ වෙයි ජල කඳ ඉහළ
එකම ඔරුවෙ අපි පාවෙනවා පහළ
දියට වීසි කොට කමකට නැති හබල
ගිලෙමු, නැතොත් පිහිනමු ඉවුරට නිසල”