මෙය අතීතාගමනයේ තෙවන ආගමනයයි. අතීතයෙන් උගත හැකි පාඩම් බොහෝමය. එහෙත් බොහෝවිට අප එහිම වැළලීමට දතකනු හැර හෝ අතිශෝක්තියෙන් වර්ණනා කර පිම්බීමට වලිකනු හැර උගත් පාඩමක් නම් නොමැති තරම්ය.
එය එසේ නොවීනම් ඉන්දු සයුරේ මුතු ඇටය යයි නම් ලත් ඇයට මෙසේ මහමඟ අතපානු හෝ ගණිකා වෘත්තීයක නියැළීමට පාඩම් උගත් ලාංකික දරුවන් කිසිලෙසක ඉඩ නොතබනු ඇත. ශ්‍රී යැයි ගරු ගාම්භීර නමකින් ඇරඹි ලාංකික ජනයාට සියල්ල මතක හිටිනුයේ උපරිම සති දෙකක් යැයි ප්‍රසිද්ධ කියමනක් තිබේ. එහි සත්‍ය අසත්‍යතාව විමසා බැලිය යුතු වන්නේද ඔබගේම හෘදසාක්ෂියයෙනි.
අද අතීතාගමනයේ කතානායකයා සම්බන්ධ කරගැනීමේදී ඔහුගේ වර්තමාන දේශපාලනික භූමිකාව පිළිබද කිසියම්ම හෝ දැනුවත් බවක් නොතිබුණ බවනම් හුදෙක්ම කිවයුතු අතර ඔහුගේ යටගියාව හාරා අවුස්සා එයින් උගත හැකි හා වත්මන් පරපුරට ගතහැකි යමක් පිළිබද දැනුවත් කිරීමේ අභිලාෂය පමණක් පෙරදැරිව තිබුණා වුවත් වර්තමානයේ ද ඔහුගේ දේශපාලනික දැක්ම හා ක්‍රියාකාරී දේශපාලනික නැඹුරුවද යම්තාක් දුරකට ඉන් ඔබ්බට ගිය වෙනස් මුහුණුවරක කතාබහකට මඟ පාදන ලද බවද කිවමනාය.
මෙය කිසිදු දේශපාලන පක්ෂයක් උලුප්පා ලීමට උරදෙන ලියවිල්ලක් නොවන බවටත් ඇත්ත ඇති සැටියෙන් ලිවීමක් සේම එහි තාර බාර හැරීම හෝ වැඩිබර මැන රදා ගැනීම හෝ දරා ගැනීම පාඨක ඔබසතු කාර්යභාරයක් බවටත් ආරම්භයේදීම කිවයුතු යැයි හැඟේ.
“අරගලය ජයග්‍රහණයෙන් කෙළවර වුණානම්, අද ඒක රටේ ජනරජ දිනය වගේ මිනිස්සු සමරයි. “
“අර කතාවක් තියනවනෙ නේද?
“ජයග්‍රහණයට පියවරු දාහයි,”
“පරාජය අවජාතකයි කියලා“
“අරගල” කිරීම හැර ප්‍රශ්ණයක් විසදගන්න වෙන ක්‍රියාමාර්ගයක් තිබුණෙම නැද්ද යැයි වරෙක නැඟු ප්‍රශ්ණයකට ඔහුගේ හඬ එසේ විය.
අද කතානායකයා ජන්මය ලැබූ වසර 1971 වසරයි. කුරුණෑගල දිස්ත්‍රික්කයත් කෑගලු දිස්ත්‍රික්කයත් වෙන්කරන සීමාවක පිහිටි අති සුන්දර අලව්ව නගරය ඔහුගේ ජන්ම භූමියයි. ඔහු නමින් අජිත් පරණගමගේය.
අරගල යන නම ඇසුණ සැණින් ඔබ මතකයට නැගෙන අරගලය කුමක්දැයි හිතා ගත හැකිය. දැන් ඔබ හිතනුයේ මේ මෑතක ඉතා ආන්දෝලනාත්මක මුහුදු හුලං සැරට වැදි අරගලයක් ගැන වනු බවනම් නොඅනුමානය. නැත. ඔබේ අනුමානය නිරවද්‍ය නොවේ.
ඇමෙරිකානු නිදහස් අරගලය, ප්‍රංශ විප්ලවය, රුසියන් විප්ලවය, චීන විප්ලවය, කියුබන් විප්ලවය ආදී ඇතුළු ලොවපුරා පැතිරි බොහෝමයක් අරගල , විප්ලව නොහොත් Revolutions සිය නිසි අභිප්‍රායයන් මුදුන් පමුණා ගෙන තිබුණේද? නැත්නම් අරගල වනාහි හුදෙක් ලේ වැඟිරීමකින් කෙළවර වන්නක් පමණක්ද?
“දැන් බලන්න රුසියන් විප්ලවය.” “ඓතිහාසිකවම රුසියවෙ තිබුණෙ සාර් පාලනය“ ” ඒ කියන්නෙ රජ්ජුරුවන්ට තමයි සියළුම දේ අයිති” හරිද,
” ගොවියන්ට ගොවි බිම් අයිති නැහැ“
” කම්කරුවන්ට කර්මාන්ත වල නිසි වැටුප් අයිතිය නැහැ“
“අපේ වචනයෙන් කියනවනම් මිනිසුන්ගෙන් පට්ටම සූරාකෑමක් තිබුණෙ“
“එතකොට ඔවුන්ට ශූද්ධ වූ අයිතියක් තියනව සාර් පාලනයට එරෙහිව නැගී සිටින්න“
“ඔවුන් ඒක කළා,”
“එහි ප්‍රථිපල ලබාගත්තා.”
ඇසූ ප්‍රශ්ණයට ඔහුගේ පිළිතුර එසේ විය. තවදුරටත් ඔහු මෙසේද පැවසීය.
“ඔව් , අරගල ඇතුළෙ ජීවිත හානි වෙනවා, හරිද,”
“හැබැයි අරගලයේ මාදිලිය ඒ ඒ පංති සමාජයට අනුව වෙනස් වෙනව“
” දැන් අපි ඔය ලෝකෙ තියන හැම අරගලයක් ගැනම දැනුවත් වෙනවා“ “හැබැයි අපි කියන්නෙ නැහැ ඒ විදියට අපි විප්ලව කරන්න ඕන කියලා“
“ඒක කාළවකවාණුව අනුව වෙනස් වෙනව, හරිද“
“දැන් අපි අරගල කරන්න ඕන මේ ප්‍රජාතාන්ත්‍රික ව්‍යුහය ඇතුළේ බුද්ධිය මෙහෙයවලා” ඒ ඔහුගේ නවතම දැක්මයි.
මේ ඔහුගේ කතාබහ, වත්මන් කරදිය සුවඳ විඳිමින් කළාවූ අරගලය සම්බන්ධව නොව 1988 වසරේ තරුණ ජීවිත හැටදහසක් රටට අහිමි කළ අරගලය හා සම්බන්ධවයි.
මෙවැනි දේශප්‍රේමී, විමුක්තිකාමී අදහස් ඇති පුද්ගලයෙකු හට එවැනි අදහස් ඇති වීමෙහිලා පිටුබලයක් ලැබුණා වූ ළමා කාළයේ පරිසරය හා වටපිටාව පිළිබදව දැන ගැනීමේ කුතුහලය ඔහු මෙසේ වචන වලින් සංසිඳ වීය.
“ අපි දුප්පත්නෙ ගොඩක්, අඩුම ගානෙ මට සපත්තු දෙකක්වත් තිබුණෙ නැහැ”
” ශිෂ්‍යත්වෙ පාස් වුනාට රජයෙන් ඒ දවස් වල රුපියල් 70ක් ගෙව්වා,”
” ඒක එකතු කරලා තමයි මම මුලින්ම සපත්තු දෙකක් ගත්තෙ.”
අද අතිසාර්ථක ව්‍යවසායකයෙකු වූ ඔහු, එදා කුරුණෑගල දිස්ත්‍රික්කයේ රජයේ ප්‍රධානතම බාළක පාසලක අධ්‍යාපනය ලබන්නට සපත්තු මිලදී ගත් අයුරු පිළිබද මතකාවර්ජනය එසේ විය.
” අම්මා පුංචි කාලෙ ඉඳලා මට පොත් පත් ගෙනත් දෙනවා” ” ඔය රෂියන් (Russian) කතා මම ගොඩක් කියවනවා ඒ කාළේ, හරිද“
“අම්මා ගොඩක් ඉගෙන ගත්ත කෙනෙක්ද?” යැයි නොඅසාම බැරි වුණ අතුරු ප්‍රශ්ණයට ඔහුගේ පිළිතුර මෙසේ විය
“ නැහැ“ අම්මත් එහෙම ඉගෙන ගත්ත කෙනෙක් නෙමෙයි“
” ඒ වුනාට එයා යනව පුස්තකාලෙට එයාට කියවන්න ගන්න”
“එයාලා ඉතිං කියවන්නෙ ගොලු හදවත ගැහැණු ළමයි, ඒ කියන්නෙ කරූණාසේක ජයලත්ලගෙ කාළෙනෙ“
” එයා ඒවා ගන්න ගමන්, පොඩි කතා පොත් ගෙනත් දෙනවා, “
” ටිකක් ලොකු කාළෙදි මට “ගුරු ගීතය” , “අම්මා“ “පෙරළුණ නැවුම් පස” වගේ පොත් ගෙනත් දෙනවා,”
” ඉතිං ඊට පස්සෙ මම රෂියන් (Russian ) ඉහළම පොත් කියවන්න ගත්තා“
” කියවීම තුළින් ගත්ත දේ තමයි මගේ ජීවිතේ පාත් (Path) එක හදාගන්න මට ගොඩක් උපකාරි වුණේ.”
ඔහුගේ කතාව රසවත් සේම ඉතා හරවත්ය.
ඉගෙනුමෙහි සහජ දක්ෂතාව ඇතිව ලංකාවෙහි ප්‍රධානතම බාළක පාසලක ඉගෙනුම ලැබූ ජනප්‍රිය දක්ෂතම සිසුවෙකු වුවත් එදා ලංකාවෙහි පැවති දේශපාලනික ව්‍යුහය තුළ රටකට සිදුවිය යුතු අතිශයම අන්ත අසාධාරණකම් හමුවේ තරුණ සිත් ඇවිළුණ යුගයක ආරම්භය ඔහු ඇතුළු දස දහසක් තරුණ ප්‍රජාව ඉගෙනීමේ ප්‍රවාහය පසෙකලා අරගලවාදි ප්‍රවාහයකට තල්ලු කිරීමට මඟපෑදීය. හැට දහසක් තරුණ ජීවිත රටට අහිමි කරවීය.
එදා මෙදා තුර බලය යන අකුරු තුනට කෑදරව දේශපාලඥයන් යැයි කියා ගන්නා බහුතරයක් අදබාලයින් විසින් දමනු ලබන දේශපාලනික ජිල්මාට් හමුයේ කිසිදු සාධාරණ දේශපාලනයකට හිස එසවීමට ලංකාව තුළ ඉඩහසර නොවීය.
එය පක්ෂයක් සම්බන්ධව පමණක් නොව, පුද්ගලයන් සම්බන්ධව ද එසේමය. කැපී පෙනෙන ජනතා හිතවාදී දේශපාලඥයන් කීදෙනෙක් නම් අතුරුදහන් කරවීද, සාහසික ලෙස ඝාතනයට ලක්වීද එසේ නොමැති නම් බෝම්බ ප්‍රහාර සැලසුම් කොට මරණයට පත් කිරීමට ඉඩ සැලැස්වීද,?
ලංකාව වැනි ස්වභාවික සම්පතින් ආඩ්‍ය වූ ලෝක සිතියමක තිතක් වන්වූ රටක් සංවර්ධනය කිරීම මෙතරම් අපහසුද?
නොමැතිනම් එම සංවර්ධනය අඩාල කොට වෙනයම් වාසි ගැනීමේ අභිප්‍රායෙන් එම රටෙහි උගතුන් , දේශප්‍රේමීන් , ඝාතනය කොට රටක් තුළ තිබූ අහාර සංස්කෘතිය , අධ්‍යාපන ක්‍රම වේද විකෘති කරමින් වටිනා ආකල්ප සහමුලින් වඳ කරමින් එළොවටත් නැති මෙළොවටත් නැති සංස්කෘතියක් ඉතිහාසයක් නැති හුදකලා ජාතියක් බිහිකරලීමේ යම් ජාත්‍යන්තර අදිසි හස්තයන් ක්‍රියාත්මක වේද?
එසේම ඒවාට අනුබල, උඩගෙඩි දෙන, අනුව ගමන් කරණ අමණ දේශපාලකයන් සිටීද?
කිසිඳු ප්‍රශ්ණයකට උත්තර සෙවීමටවත් උත්සුක නොවන නිරුත්තර ජාතියකට සංවර්ධිත රටක් පිළිබදව සිතා සැනසීමේ සේයාවක් හෝ අංශුමාත්‍රයක බලාපොරොත්තුවක් හෝ තබා ගත හැකි ද?
” කිතුල් පොළු අපේ උගුරට දාලා ප්‍රශ්ණ කළේ” ” ඇඟිලි වලින් එල්ලලා බට වලින් ගැහුවේ“
88/89 භීෂණ සමයේ ලංකාවෙහි අත්අඩංගුවට ගත් තරුණයන් සියළුම දෙනාට පාහේ අත්විඳින්නට සැලැස්සූ අතිශයම පිළිකුල් සහගත වූත් බිහිසුණු වූත් මර්දන ක්‍රියාවලියේ සවිස්තරාත්මක කියවිල්ලක වාක්‍ය දෙකකි එය.
” අද විශේෂඥ වෛද්‍ය ….ත්, ඒ.එස්.පී. ….ත් එදා මගෙත් එක්ක එකටම වදකාගාරෙ හිටියෙ.” ඒ දෙන්නම අපේ ඉස්කෝලේ “
කුමන හෝ වාසනාවකට ඔවුන්ගේ ජීවිත එදා මරණයෙන් ගැලවී තිබීම හේතු කොට රටට වැඩදායි පුතුන් තිදෙනෙකු අද රටට ඉතිරි කරවා ලීමට සමත් වී ඇත.
එහෙත් මෙවන් සිය දහසක් තැරුණ ජීවිත බිහිසුණු මරණයකට ඇද හෙළීම කිසිවෙතුටත් නවතා ලිය නොහැකි විය.
” මට හොදටම ඉකෝනුයි (Economics) අකවුන්ට්සුයි (Accounts) පුළුවන්“
” මගෙන් ඒ ගැන ලෙෆ්ටිනන් ……. ප්‍රශ්ණ කළා“
“ ඒවට හරියට උත්තර දුන්න නිසා , මට චාන්ස් (chance) එකක් ලැබුණේ ජීවත් වෙන්න“
එවන් ඉගෙනීමෙහි අගය දත් හමුදාවේ නිලධාරීන්ද සිටිනා හෙයින්, මෙවන් වටිනා පුතුන් මරණයෙන් ගලවා ගැනීමට ඉඩහසර සැලසූ ඔවුන්ද එවක සිටි පාසල් විදුහල්පති වරුන්ද හිස නමා ගෞරවයෙන් සිහිපත් කළයුතුමය.
” සාර්ථක ව්‍යවසායකයෙක් වගේම වාමාංශික දේශපාලනයේත් යෙදී සිටින්නෙකු විදියට මේ රට මේ අගාධයෙන් ගොඩගන්න පුළුවන් කියලා හිතනවද? “
” මෙහෙමයි, මේ ආත්මාර්ථකාමී සමාජයෙන් පරාර්ථකාමී සාමාජිකයෙක්, මිනිහෙක් හදාගන්න ඕන“
“සම්පූර්ණ ආකල්පමය වෙනසක් ඇතිව“
” මේ දේශපාලන තනතුරු කියන්නෙ වරප්‍රසාද වරදාන ලබන දේවල් නෙමේ, සමස්ථ සමාජ වඟකීම් ඉෂ්ට කිරීම්, කියලා වටහා දෙන්න ඕන.”
” ලෝක දේශපාලන ඉතිහාසය වගේම ලංකාවේ දේශපාලන ඉතිහාසයේ ඉදලම හොද අවබෝධයක් දීලා වත්මන් ලෝකයේ දේශපාලන නැඹුරුතාව ඒ වගේම නව මානයන් ගැනත් දැනුවත් කරලා හරි දැක්මක් තියන අධ්‍යාපනයක් තියන යටි පෙළක් හදන්න ඕන“
” ගම්වලට අදාලව ගමට ආවේණික භෞතික වගේම මානව සම්පත් යොදාගෙන කරණ ව්‍යාපෘති හදලා ගම් මට්ටමින් කොට්ඨාශ මට්ටමින් ක්‍රියාකාරී වෙන්න ඕන“
” ඒ සියල්ල ලංකාව පුරාම ක්‍රියාත්මක වන පිරිසිදු යාන්ත්‍රණයක් හැදෙන්න ඕන“
“ස්වයං විවේචන තුළින් තරාතිරම නොබලා සියළු වඟකීම් දරන්නන්ගේ අඩුපාඩු සකසමින් යන පුද්ගල සංවර්ධන වැඩපිළිවෙළක් ආයතනික වශයෙන් ක්‍රියාත්මක වෙන්න ඕන“
” සියළු නායකයින් ආදර්ශයෙන්ම මඟ පෙන්වන්නන් වෙන්න ඕන“
” මේ රට ඇතුලේ මොනවහරි නිෂ්පාදනයක් කරලා මුදල් උපයන මිනිස්සුන්ට සියළු පහසුකම් දීමේ වැඩපිළිවෙළක් අවශ්‍යයි“
” සිංහල ,දෙමළ , මුස්ලිම් සහ ලංකාවේ වෙසෙන අනෙකුත් සියළුම ජාතින්ගේ සමඟිය නැතිව මේ රට හදන්න බැහැ“
” ඒ සදහා දැනුවත් තිරීමේ වැඩසටහන් අවශ්‍යයි.”
ඔහු තවත් බොහෝ සුබදායි ආකල්ප වපුරමින් වියළී ඉරිතැලුණ මනසකට සිහින් ජලාධාර කාන්දු කරළීමට යත්න දරයි.
ගිළෙන කුහුඹුවකුට තුත්තිරි ගසකත් අගය දැනෙනා තරම්ය.
කතරක ගමන් කරණ මඟියකුහට මිරිඟුදිය පවා අස්වැසීමකි.
මෙසේ සැළෙන සිතුවිලි පහළ වන්නේම ලාංකික අපිට සැනසීම යනු බොහෝ දුර තිබෙන ප්‍රෝඩාවක්මැයි තිව්‍රර කිරීමට මේතාක් පාලනය හෙඹවූ බඩතර බහුතරයක් දේශපාලකයන් විසින් සැලසුම් කොට දියත් කරණු ලැබූ තිරසාර යැයි කියූ ප්‍රතිපත්ති ප්‍රකාශනයන්මයි.
ඔව්! , මේ පවතින සියල්ල උඩුයටිකුරු වී හෝ සිරිලක් මවට ප්‍රාණජීවය දියහැකි කවුරුන් හෝ පිළිගත හැකි විනිවිඳ භාවයෙන් යුත් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන්නාවූ පුද්ගලයන් හෝ පක්ෂයන් බිහිවේවා යැයිද එකළ මේ ලාංකීය ජන ප්‍රජාව කුළැටි නොවූ ජව සම්පන්න එකාමෙන් නැඟීසිටිය හැකි ජාතියක් වේවායැයිද අංශුමාත්‍රික හෝ බලාපොරොත්තුවක අපි තවදුරටත් ජීවත් වෙමු.
“ එක මවකගෙ දරු කැල බැවිනා යමු යමු වී නොපමා” “ප්‍රේම වඩා සැම භේද දුරැර දා නමෝ නමෝ මාතා“ යන ජතික ගීයෙහි පඳ, දේශපාලන අතකොළුවන්ට නොරැවටී අර්ථාන්විත සේම බලාත්මක කරමු.