Breaking News

යුද්ධය, වම සහ ශ්‍රී ලංකාව

අරුණි සමරකොන්

මව්බිම රැකීමේ දේශප්‍රේමි පිතෘමුලික ව්‍යාපාර විසින් , ලිබරල් – ජයග්‍රාහි සාමයක් 2009 දී ස්ථාපිත කරන ලදී. එම සාමය වෙනුවෙන් විශාල ජිවිත සංඛ්‍යාවක් මරාදැමීම සහ අතුරුදහන් කිරීම සිදුවිය. දැන් මෙම ලිබරල් සාමයේ නව ජවනිකාවක් අරම්භ වී ඇත. එනම්, එකසත් ජාතින් ගේ සංවිධානයේ , 48 වන මානව අයිතිවාසිකම් සැසියේ දී, මානව අයිතිවාසිකම් මහකොමසාරිස් Michelle Bachelet  , ශ්‍රී ලංකාවේ, වර්තමාන සමාජ, ආර්ථික සහ ආණ්ඩුකරණ අභියෝග පාලනය උදෙසා හමුදාකරණය යොදාගැනීමත් , තිරසාර සංවර්ධනය, සමාජ  ඒකාබද්ධතාවය, ප්‍රජාතාන්ත්‍රිකරන ආයතන, සිවිල් අවකාශ යනාදියන් ගේ මානව අයිතිවාසිකම් සුරක්ෂණය වෙනුවෙන් වගවීම නොමැති වීමත් අවධාරණය කරමින්, ශ්‍රී ලංකාව වගවීම් සහිත ආණ්ඩුකරණයක් වෙත ප්‍රවේශ වීමේ වැදගත්කම අවධාරණය කිරීමය (https://www.ohchr.org/EN/NewsEvents/Pages/DisplayNews.aspx?NewsID=27447&LangID=E). එසේම පසුගිය අගෝස්තු 30 වන දින සිට  , ආහාර සුරක්ෂිතතාව සහ මිල පාලනය සමඟ ඇතිවිය හැකි යම් ජන පිබිදීම් මර්ධනය වෙනුවෙන් හදිසි නිතිය භාවිතා කිරීම සහ එය සමඟ බැදෙන හමුදාකරණ  ක්‍රියාවලිය වෙත තම කාර්යාලය අවධානයෙන් සිටින බවද පැවසිය. මම සිතන ආකාරයට, Michelle Bachelet , ප්‍රංශ විපලවයේ ඉතිහාසය කියවා තිබේ. මන්දයත් විප්ලවය ආරම්භ වුයේ, විද්වතුන් ගෙන නොව, ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් ස්ත්‍රීන් සංවිධානය කළ කැරලි , පසුව විප්ලවයක් ලෙස විහිදී යාමේ පාඩම ඉතිහාසයේ සඳහන් වීමය. එම කැරලි මර්ධානය වෙනුවෙන් හමුදාව භාවිතයේ ගැටලුව මෙන්ම කැරලි වර්ධනය වීමේ විප්ලව ඇතිවීමේ හැකියාවද ඇය කියවා ඇතැයි මට සිතේ.

මෙම ලිපිය ලිවීමේ මුලික අරමුණ නම්,  ගෝලීය වාමාංශික දේශපාලනය තුල ශ්‍රී ලංකික දේශපාලන සලකුණු පිලිබඳ විස්තර කිරීමය. දේශීය වාමාංශික දේශපාලනය පිළිබඳ මගේ විවේචනය නම්, එය තව දුරටත් ජාතිකවාදී බවෙන් මිදීමට අපෝසත් වන අතර තම වාර්ගික අනෙකා ගේ සම පංති නියෝජනය පිලිබඳ පුළුල් හැඟීමක් නොමැති ව කටයුතු කිරීමය. නිදසුනක් ලෙස , 2020 මැයි 16 වැනිදා අත් අඩංගුවට ගත් අහනාෆ් ජසිම් නම් කවියාගේ, භාෂණයේ අයිතිය සහ නිදහස වෙනුවෙන් පෘථුල සමාජ කතිකාවක් ඇරඹීමට අදටත් දේශීය වාමාංශික ව්‍යාපාරය අසමත් වී ඇත. එසේම හදිසි නිතිය වෙනුවෙන් මේ මොහොතේ  විරෝධතා ගොනුකරනු ලැබුවද,  මේ ගෙවෙන මොහොත වනතුරුම එම නිතිය සංශෝධනය කරමින් , දේශපාලන සිරකරුවන් (විශේෂයන්ම විමුක්ති කොටි සංවිධානය සහ වෙනත් සංවිධාන සිරකරුවන් ) වෙනුවෙන් වන පීඩනය කතිකාවක් තුලට ගෙන ඒමේ දුර්වලතාවයක් දැකිය හැකිය. එම සියලුම පසුගාමිතා මතු වීමේ ප්‍රබලම හේතුව ලෙස මා සලකනුයේ, දේශීය වාමාංශික භාවිතාවට ජාතිකවාදයෙන් මිදීමට නොහැකි වීමය. එම ජාතිකවාදිභාවය තව දුරටත් තීව‍්‍ර වන්නේ , එය පිතෘමුලිකභාවය සමඟ එකතු වීමෙනි. එවිට පිත්රුමුලික ජාතිකවාදී දේශීය වම විසින් වාර්ගික , ලිංගික හෝ වෙනත් කුලකයක වන අනෙකාව හුදකලා කර තිබේ ; නොසලකා හැර ඇත ; ප්‍රමුඛත්වයෙන් සලකා නොමැත යන විවේචනය මම  ඉදිරිපත් කරමි.

කෙසේ නමුත් මම ලිපිය ලිවීමේදී පැවසූ ලෙසම,ගෝලීය වාමාංශික දේශපාලනය තුල ශ්‍රී ලංකාවේ යුද්ධයේ සලකුණු කෙසේ වේද යන කරුණ පිලිබඳ සලකාබලමු . එහිදී අත්‍යා සන්න දේශපාලන සිදුවීම් ත්‍රිත්වයක් වෙත මාගේ අවධානය යොමු වේ. එනම්,  ඕස්ට්‍රේලියානු සෙන්ට් සභාව නියෝජනය වෙනුවෙන් තරඟ කරන ආර්යන් මයිලවාගම්, නොර්විජිනියානු දේශපාලනය වෙත ප්‍රවේශ වූ Kamzy Gunaratnam  සහ නවසීලන්ත දේශපාලනය තුලවන ශ්‍රී ලාංකික දෙමළ ස්ත්‍රිය , Vanushi Walters වෙතය. මොවුන් තිදෙනාගේම  නියෝජනයේ පාදම සකස්වී තිබෙනුයේ වාමාංශික  දේශපාලනය තුලය. මම ඔබට මුලින්ම ආර්යන් ගේ අඛ්යානය පවසමි.

“මම අය්යා එක්ක තමා හැමදාම ඉස්කෝලේ යන්නේ. ගොඩක් දුර ඇවිදන් යන්න ඕනේ. අපි අයිති වන්නේ ග්‍රාමීය ධිවර ප්‍රජාවක් වෙත. එදත් මම අය්යා සමඟ ඉස්කෝලේ ගියා. එදා උදේ ඉස්කෝලෙට බෝම්ම දැම්මා. අපි හැමතැනම දිව්වා. සමහර ළමයි ඉස්කෝලේ අඹ ගහ ගාව හැංගුනා. එයාලට තේරුනේ නැහැ අඹ ගහේ කොළ වලින් බෝම්මෙන් බේරෙන්නේ බැහැ කියලා. මගේ අයියත් ඇතුළුව බොහෝ ළමයි සංඛාවක් එදා මැරුණා.. ඒ සිදුවීම හැමදාම මට මතක් වෙනවා. අදටත් මම රෑට , හීනෙන් එක දකිනවා. එක පුදුම තිගස්මක් . මම ලංකාවෙන් එනවිට වයස අවුරුදු 12 යි. ඕස්ට්‍රේලියාවට ඇවිත් දැන් ජිවත් වෙනවා. මම ට්‍රොස්කි වාදියෙක්. යුද්ධය විශ්වාස කරන්නේ නැහැ. එත් විකල්පයක් තියෙන්න ඕනේ.  යුද්ධය අපිට සතුටක් නොවුන නමුත් ඒ ජන ඝාතනය පිලිබඳ වගවීමක් අවශ්‍යයි වගේම එය නැවත නොවීමට ද අපිට සහතිකයක් අවශ්‍යයි “.

ආර්යන් මේ මොහොතේ දී ද අරගලය කරනුයේ ලිබරල් දේශපාලනික වින්දිතයන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම වෙනුවෙනි.  වික්ටෝරියානු සාමජවාදී පක්ෂයේ ප්‍රචාරණ අත් පත්‍රිකා වේ ආර්යන් ව හදුන්වා දී තිබුනේ මෙසේය  ” අපගේ සෙනට් සභා අපේක්ෂක ලෙස යෝජිත ආර්යන් මයිලවගන්ම්    ඉතාමත් සාඩම්බරයෙන් ඉදිරිපත් කරමු. හෙතෙම සරණාගත අයිතීන් ප්‍රවර්ධනය වෙනුවෙන් දීර්ඝකාලීනව කැපවී ඇති අතර වෘත්තීය සංගම් ක්‍රියා කරුවෙකි. දෙමළ ජන ඝාතනයෙන් තම ජීවිතය බේරා ගැනීම වෙනුවෙන් ඕස්ට්‍රේලියා ව වෙත පලා ආ ආර්යන්, ඕස්ට්‍රේලියානු ආණ්ඩුව විසින් රඳවා තබාගන්නා ලදී . එම අත්දැකීම හේතුවෙන් ම පසුව තම ජීවිතයම සියලු ආකාරයේ පීඩනය සහ අයුක්ති ය වෙනුවෙන් වන අරගලයක් වෙත කැප කර තිබෙන්නෙකි “. එම පත්‍රිකාව තුල ආර්යන් තම වචනය මෙසේ සටහන් කර ඇත. “සරණාගත ජීවිතය විනාශ කරමින්, වැඩකරන අප අතර බෙදාත්මක අවධියක් දේශපාලකයන් විසින් නිර්මාණය කිරීමේ අත්දැකීමෙන් මා වටහා ගත් කරුණ නම්, එම භේදය ඇතිකරන ඉහළ කණ්ඩායම ඉසුරුමත් ව ජිවත් වන අතර අප දිළින්දන් වී ඇත”(https://www.facebook.com/AranMylvaganamForSenate).

ආර්යන් මේ කියූ අඛ්යනය ශ්‍රී ලාංකිකයන් ද මනාව තේරුම්ගත යුතු නොවේද ? අශිෂ්ට යුද්ධයෙන් ජය ලැබූ පාර්ශව අදටත් සමුර්ධිමත් ජිවිත ගත කරන අතර යුද්ධයේ දී පටි තදකරගනිමින් , තම අනෙකා මරාදැමිම වෙනුවෙන් සියලු කැපකිරීම් කල අප නිස්සරනයන් වී නොමැති ද ? එසේම ගෝලීය වසංගතයක් තුලදී පවා, සියලු කැප කිරීම් ශ්‍රමය හැර වෙනත් ඉපැයීමක් නොමැති පංතියෙන් අපේක්ෂා කරමින්, අවම සෞඛ්‍ය සුභ සාධන කොන්දේසි හෝ නොමැතිව මරණය වෙනුවෙන් ජනයා පෙලගැස්වීම හරහා හෝ අප ආර්යන් මේ කියන කතාව වටහා ගනීවිද ?

Kamzy (කම්සි ) Gunaratnam යනු ශ්‍රී ලාංකාවේ ඉපදී යුද්ධය හේතුවෙන් තම දෙමාපියන් සමඟ වයස අවුරුදු තුනේදී නෝර්වීජියානු භුමිය  වෙත පලා ගිය  දෙමළ ස්ත්‍රියක් වේ. ඇයගේ දෙමාපියන් උතුරු නොර්වේ ධිවර ක්රමානතයේ යේදී ඇති අතර පසුව ඔස්ලෝ හි පදිංචි වී ඇත. එහිදී කම්සි දෙමළ පාසලක අධ්‍යාපනය ලද අතර පසුව දෙමළ තරුණ සංගමයට සම්බන්ද වී ඇත. 2007 දී ඇය ඔස්ලෝ නගර කවුන්සිලය නියෝජනය කර තිබෙන අතර 2015 දී ඔස්ලෝ නුවර  නියෝජ්‍ය නගරාධිපතිනිය ලෙස කටයුතු කර තිබේ. එසේම ඇයද කම්කරු පක්ෂය නියෝජනය් කරන අතර වාමාංශික දේශපාලනික නැඹුරුවක සලකුණකි. එසේම 2011 දී Utøya දුපතේ සංවිධානය කර තුබූ තරුණ ශ්‍රමික කදවුර වෙත එල්ලවූ ප්‍රහාරයේ දී, Tyrifjorden විල හරහා  මීටර් 500 ක් පමණ ප්‍රමණයක් පිහිනා ගොස් තම ජිවිතය බේරා ගෙන තිබුණි (https://en.wikipedia.org/wiki/Kamzy_Gunaratnam).

“ මගේ පවුල 1987 දී මෙරට පැමිණි අතර අද මම ශ්‍රී ලාංකිකයකු පමණක් නොව නවසීලන්ත ජාතික ස්ත්‍රියක් ද වේ. එක් අවදි වූ උදැසනක මගේ මව මගේ ඥාති සහෝදර රිචඩ් ද සොයිසාගේ පැහැරගෙන ගොස් මරා දැමීම පිලිබඳ පැවසිය. එතැන් සිටම මම ආණ්ඩු විචේචනය කිරීම හේතුවෙන්  පැහැර ගෙන ගොස් වධහිංසාවට පත් කිරීම ප්‍රශ්න කරන අතර එයට විරුද්ධ ව යුක්තිය වෙනුවෙන් කටයුතු  කලෙමි. තව දුරටත් විශාල කරත්ව්‍යයක් මානව අයිතිවාසිකම් සුරක්ෂණය වෙනුවෙන් ඉටු කිරීමට අප වෙත පැවරී තිබේ. මගේ මුත්තනිය , නායුසුම් සරවනමුත්තු , 1931 දී   ලංකාවේ ජාතික රාජ්‍ය සභාව නියෝජනය කල දෙවන සභිකාව ලෙස , අද මා සවන් දෙන ආකාරයේම දුග් ගැනවිලි වෙත සවන් දෙනුලබන්න ඇතැයි මම විශ්වාස කරමි. මේ අනුව නිසි කාලයේ දී මා නිසි කාර්යය සිදුකළ යුතුව ඇත” (https://island.lk/human-rights-belong-to-all-says-lankan-born-member-of-new-zealand-parliament/).

මේ ශ්‍රී ලාංකික ඔබ ගේ දේශපාලන අයිකනයක් වන , ජසිකා අර්ඩන් ගේ ආණ්ඩුකරණ ය නියෝජන කරන ශ්‍රී ලංකාවේ උපන් Vanushi Walters අඛ්යනය වේ . වර්ගවාදය සහ වෙනස්කර සැලකීම ට විරුද්ධ ව කරන අරගලය සහ ආන්තිකරණයට ලක් කරන ජනයා සවිබල ගැන්වීම මෙන්ම  ආර්ථික, සමාජ සහ සංස්කෘතික අයිතීන් සුරක්ෂණය කරමින් මානව අයිතිවාසිකම් වෙත අගයක් සැපයීම ද ඇයගේ දේශපාලනය තුල අන්තර් ගත වන අතර ඇය කම්කරු පක්ෂයේ නියෝජනයක් වේ .

මගේ විස්තර කිරීම අවසන් කරමින් කිව යුත්තේ, ගෝලීය වාමාංශික දේශපාලනය ජාතිකවාදයෙන් සහ පිතෘමුලිකත්වයෙන් මිදී , අභියෝග සහිත වුවද මානව නිදහස වෙනුවෙන් සියලු ආකාරයේ මර්ධනයන් ට එදිරිව ගමන් කරමින් සිටි. නමුත් ලිබරල් -යුධ ජයග්‍රාහක ශ්‍රී ලංකාවේ  තවමත් ජාතිකවාදය සමඟ කැටි වූ පිතෘමුලික බල දේශපාලනය තුල තම බලය තහවුරු කරගැනීමට උත්සහ කරමින් වාමාංශික දේශපාලනය ක්‍රියා කරමින් සිටි. මෙය වෙනස් විය යුතුමය

මෙම ලිපියේ අන්තර්ගත කරුණු වෙනුවෙන් අරුණි සමරකෝන් වන මා වගවීමට බැදෙන අතර ලිපියට ගැටළු/ විමසීම් aruniwritings@gmail.com යොමුකරන මෙන් ඉල්ලා සිටින අතර ඒ වෙනුවෙන් හැකි ඉක්මනින් ප්‍රතිචාර සැපයීම ට අපේක්ෂා කරමි.

 

අරුණි සමරකොන්

leave a reply