Breaking News

තෙල්මිල ඉහළ දමා ආර්ථිකය ශක්තිමත් කරන වැඩකරන විරුවාගේ’ අපභ්‍රංස ටූල් බොක්ස් එක

සනත් බාලසුරිය

මහ බැංකුවට කලකට පෙර කඩාපැන ‘කෝ ඔයාලගේ ටූල්ස් පෙන්නන්නැ’යි අණකළ ‘වැඩකරන විරුවා’ ආර්ථිකය නංවන සිය අලුත්ම මැජික් ටූල් එක පසුගිය දා එළියට දැම්මේ ය.

ඒ ඉන්ධන මිල වැඩිකිරීම යි.

වැඩිකරන ලද ඉන්ධන මිල සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය ඒකකය කියාසිටියේ “ඉන්ධන මිල වැඩි කිරීම දේශීය ආර්ථිකය ශක්තිමත් කරන පොදු වැඩපිළිවෙළක ප්‍රධාන සාධකයක් පමණක් බවත්, ආනයනය මත රඳා පවතින පරිභෝජන ආර්ථිකය, දේශීය නිෂ්පාදන මත රඳා පවතින ආයෝජන හා පරිභෝජන ආර්ථිකයක් බවට පරිවර්තනය කර ගැනීමට එම තීරණය ගත් බවත්” ය.

මේක නම් අරුම පුදුම – අපභ්‍රංශ ටූල් භාවිතයකි. කාබනික පොහොර භාවිතයට ගොවිතැන මාරුකිරීමට කියා රසායනික පොහොර ගෙන්වීම හිටිඅඩියේ නැවැත්වීමටත් වඩා ඔල්මොරොන්දමකි.

පාලකයාගේ ඔලමොට්ටලකම් හේතුවෙන් රොකට් වේගයෙන් කඩාවැටෙමින් තිබෙන රටේ ආර්ථිකය හමුවේ කරගන්නට දෙයක් නැතිව වැඩිකළ ඉන්ධන මිලට, මේ ජාතියේ සුරංගනා කතා කියා ඇන්දිය හැකි මෝඩ මිනිසුන් සෑහෙන පිරිසක් රටේ සිටින බවට ඇති හොඳම නිදර්ශනය දිගින් දිගටම ලැබෙන ඡන්ද ප්‍රතිඵල ය.

ඉතින්, මෝඩකමත් යහමින් ඇති නිසා නන්දසේන බය නැත. ගෙඩිපිටින් පට්ටපල්පල් කෙබර අතහරී.

එහෙත් අතේ පත්තුවෙන මෙබඳු බොරුවලින් රැවටිය නොහැකි අතලොස්සක් හෝ තවමත් ජීවතුන් අතර සිටින බව ද නන්දසේන නම් මෝඩ මිනිසාට මතක්කර දීම වැදගත්වන බැවින් මේ කෙටි සටහන් කිහිපය ලියමි.

අපගේ පළමු අවධානය යොමුවන්නේ ජනාධිපති මාධ්‍ය ඒකකයේ නිවේදනය දක්වන මෙන්න මේ හේතුවේ ඇති පට්ටපල් බොරුව නිරාවරණය කිරීමට යි.

නිවේදනයෙන් උපුටනය –
“පෞද්ගලික හා පොදු ප්‍රවාහන සේවා සඳහා සියයට 60ක පමණ වන ඉන්ධන භාවිතය අඩු කළ යුතුය. එබැවින් ප්‍රවාහනය සඳහා ELECTRIC රථ වාහන මෙන්ම දුම්රිය සේවා හැකිතාක් දුරට විදුලි බලයෙන් ක්‍රියාත්මක වන සේවාවන් බවට පත් කළ යුතුය. ඛනිජ තෙල් වලින් ධාවනය වන වාහන ආනයනය මුළුමනින්ම නතර කර ELECTRIC රථ වාහන භාවිතය ප්‍රචලිත කිරීමත්, ත්‍රීරෝද රථ සඳහා ELECTRIC එන්ජින් ලබා දීමත් මගින් ප්‍රවාහන පිරිවැය ද ස්ථාවර කර ගත හැකිය.”

(මෙහි ELECTRIC යන්න ඉංගීසි කැපිටල් අකුරෙන්ම ලීවේ මන්දැයි කියා දන්නේ නම් මේ බොරු හේතු හදන නන්දසේනට අමතරව මේ නිවේදන හදපු ජනාධිපති මාධ්‍ය ඒකකයේ ගොබිලන්ම පමණක් විය හැකිය. අනුමාන වශයෙන් කියන්නේ නම්, මේ ව්‍යාජ හේතුවට අමුතු ‘ඉංග්‍රීසි කැපිටල් බරක්’ දී ජනයා ගොනාට ඇන්දවීම තව ලස්සන කරන්නට හිතූ බවක් පෙනෙන්නට තිබේ‍.)

‘වැඩකරන විරුවා’ සිය නිවේදනයෙන් කියාසිටින එක් ප්‍රමුඛ කාරණයක් වන්නේ “ඛනිජ තෙල් වලින් ධාවනය වන වාහන ආනයනය මුළුමනින්ම නතර කර ELECTRIC රථ වාහන භාවිතය ප්‍රචලිත කිරීමත්,” තෙල්මිල ඉහළ දැමීමේ අරමුණක් බව ය.

මෙය කොතරම් බොරු හේතුදැක්වීමක්දැයි සලකා බලමු‍‍.

ලංකාවේ ඇත්ත වත්මන් තත්ත්වය

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නිල වෙබ්අඩවියට අනුව මෙරට මේවන විටත් ඇත්තේ “ආසන්න වශයෙන් 5500ක් පමණ” විද්‍යුත් වාහන ප්‍රමාණයකි. ඔවුන්ටම අනුව ” ආරෝපණ මධ්‍යස්ථාන (charging points) තිබෙන්නේ 47ක් පමණි.” අනෙක් අතට, මෙය වසරේ දවස් 365 මෙන්ම දවසේ පැය 24 ද රටපුරා ඇඛණ්ඩ විදුලිය සැපයීමට අසමත් රටකි. නන්දසේන නම් මෝඩ මිනිසා මේ හදිස්සියේ තෙල්මිල ඉහළ දමා විද්‍යුත් වාහනවලින් ස්වයංපෝෂිත කරන්නට හදන්නේ මෙහෙව් රටකි. ඒ කිසිදු ප්‍රායෝගික වැඩපිළිවෙළක් හෝ ආයෝජන හැකියාවක් ද රට හමුවේ නොතබමිනි.

මේ බොරුව හරිහැටි නිරාවරණය කරගැනීමට යථාවාදී සංසන්දනයක් වැදගත් වේ.

ජර්මනියටත් දුෂ්කර වූ විදුලි වාහන අභියෝගය

මා දැනට ජීවත්වන ජර්මනිය යනු ලෝකයේ මෝටර් වාහන තාක්ෂණයේ ඉහළම තැනක සිටින රටකි‍‍. ජනතා වාහනය යයි නම් ලද ‘ෆොල්ක්ස් වාගන්’ (Volks Wagen) හි සිට BMW, අවුඩි, බෙන්ස් හා Porscheදක්වා නිපදවන රට මෙයයි.

ඉතාම සාමාන්‍ය රැකියාවක වුව පූර්ණ කාලීනව නියැලෙන පුද්ගලයෙකුට පවා සිය මාසික ආදායමෙන් 10%කටත් අඩු ප්‍රමාණයක් මාසික වාරික ලෙස ගෙවා ‘බ්‍රෑන්ඩ් නිව්’ වාහනයක් ලබාගත හැකි රටකි‍, ජර්මනිය. ලොව බලගතුම රාජ්‍ය නායිකාවක් ලෙස පොදුවේ පිළිගැනෙන ජර්මන් චාන්සලර් අන්ගෙලා මර්කල් 2010 දී එක් ඉලක්කයක් රට හමුවේ තැබුවා ය. එතැන් පටන් දශකයක් ගිය තැන, එනම් 2020 වනවිට ජර්මනියේ මංමාවත්වලට විදුලියෙන් දුවන වාහන මිලියනයක් එක්කිරීම ඒ ඉලක්කය යි.

එය නන්දසේන හීනෙන් බයවුණාක් මෙන් මේ කරන නන්දෙඩවීම වැන්නක් නොවී ය. මිලදී ගැනීමේ ප්‍රසාද දීමනා ඇතුළු මහත් ප්‍රවර්ධන සැලසුම් සහිතව, වරින් වර අගැයීමට ලක්කරමින්, මුල් සැලැස්මට නව සංශෝධන සිදුකරමින් ගෙනගිය වැඩපිළිවෙලකි.

මෙතරම් මෝටර් වාහන තාක්ෂණයෙන් ඉදිරියෙන් සිටින රටක, මෙතරම් බලගතු රාජ්‍ය නායිකාවකට, මෙතරම් සුපරීක්ෂාවක් යටතේ ද සිය වසර 10ක ඉලක්කයෙන් ළඟාකරගත හැකි වූයේ 60%කටත් අඩු සාර්ථකත්වයකි‍. මේ වසර මුල වනවිට ජර්මන් පාරවල්වල ඇති සම්පූර්ණයෙන් විදුලියෙන් ධාවනය වන හෝ විදුලිය හා ඉන්ධන යන දෙකෙන්ම දුවන දෙමුහුන් හෙවත් හයිබ්‍රිඩ් වාහන එකතුව 589,000කට අඩු ය. එය රටේ සමස්ත වාහන සංඛාවෙන් 1.2%ක් තරම් අඩු ප්‍රතිශතයකි‍.

එයිනුදු වැඩිම වාහන තොගය වන වාහන 395,000කට ආසන්න ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇත්තේ 2020 වසරේදී ය. තමන් 2010 අපේක්ෂා කරන ලද ඉලක්කය ජයගැනීම අපහසු බව 2014 පමණ වනවිට තේරුම් ගත් ජර්මන් ආණ්ඩුව 2016 දී අලුත් ඉලක්කයක් තමන් හමුවේ ස්ථාපිත කරගත්තේ ය‍‍‍. ඒ, එතැන් පටන් දශක එක හමාරක් ගිය තැන, එනම් 2030 වනවිට විදුලියෙන් දුවන වාහන මිලියන 7ත් 10ත් අතර ප්‍රමාණයක් පාරට දැමීමට ය. ඒ සඳහා ඔවුහු විවිධ සැලසුම් ඉදිරිපත් කළහ.
විදුලි මෝටර් රථ භාවිතය ප්‍රවර්ධනය කිරීමට හා ආරෝපණ (charging points) ස්ථාන ඇතුළු යටිතල පහසුකම් සඳහා ජර්මන් ආණ්ඩුව පසුගිය වසරේ දී යුරෝ බිලියන 8කින් යුතු ප්‍රතිසංධාන සැලැස්මක් අනුමත කළේ ය. එසේම යුරෝ 40,000ට අඩු වාහන සඳහා එතෙක් ලබාදුන් මිලදී ගැනීමේ ප්‍රසාද දීමනාව යුරෝ 6,000 සිට 9,000 දක්වා තාවකාලිකව වැඩිකරන ලදී.

විදුලි වාහන සම්බන්ධයෙන් මෙවැනි කාර්මික අතින් දියුණු රටකට පවා ඇති එක් ප්‍රධාන අභියෝගයක් වන්නේ ප්‍රමාණවත් තරම් විදුලි ආරෝපණ ස්ථාන පිහිටුවීම යි. අන්ගෙලා මර්කල් 2010 දී සිය ඉලක්කය ප්‍රකාශයට පත්කර වසර දෙකකට පසු, එනම් 2012 වනවිට රටතුළ එවැනි ආරෝපන ස්ථාන තිබුණේ 1518කි.
එතැන් පටන් ගතවූ වසර 8 තුළ සිදුකරන ලද ආයෝජන හා ප්‍රවර්ධන වැඩසටහන් යටතේ 2020 අවසන් වනවිට ආරෝපණ ස්ථාන ප්‍රමාණය 45,000ක ආසන්නයට රැගෙන ඒමට හැකිවී තිබේ. රටතුළ විදුලි වාහන බහුල කිරීමේ දී මෙය ද කිසිසේත් ම ප්‍රමාණවත් සංඛ්‍යාවක් නොවන බව පැහැදිළි ය. එබැවින් ජර්මනිය උත්සාහ කරන්නේ 2030 වසර වනවිට මිලියනයක් ආරෝපණ ස්ථාන පිහිටුවීමට යි.

පසුගිය දෙසැම්බර් අවසන් වනවිට ජර්මනිය යුරෝපයේ වැඩිම විදුලි මෝටර් රථ සංඛ්‍යාවක් ලියාපදිංචි කළ රට බවට පත්වූයේ මේ ආකාර සැලසුම් දියත් කිරීමෙනි‍.සමස්ත යුරෝපය පැත්තෙන් බලන කල, විදුලි මෝටර් වාහන අංශයෙන් වේගවත් වර්ධනයක් තිබියදීත්, 2020 දෙසැම්බර් වන විට යුරෝපීය මාර්ගවල විදුලි වාහන තිබුණේ සමස්ත මගී රථවලින් 1.0% ක් පමණි. 2019 වනවිට යුරෝපා සංගමයේ මාර්ගවල ගමන්ගත් සැහැල්ලු වාණිජ වාහනවලින් සම්පූර්ණයෙන්ම විදුලියෙන් දුවන ඒවා තිබුණේ 0.3% ක් පමණි.

දැන් මේ තොරතුරු සහ ඉහතින් දක්වා ඇති ලංකාවේ සැබෑ තත්ත්වය සසඳා බලන්න‍.

ඉහත ආකාරයේ කිසිදු සැලසුමක්, වැඩපිළිවෙලක් අතේ නැති, මෙවැනි දැවැන්ත වූද, කල්ගතවන්නා වූද වැඩපිළිවෙලකට කිසිදු සැලකිය යුතු ප්‍රතිපාදනයක් වෙන්කරගන්නට බැරි නන්දසේන නම් මේ මෝඩ මිනිසා කඩාවැටෙන ආර්ථිකය හමුවේ කරගන්නට දෙයක් නොමැතිව රටේ මිනිසුන්ගේ ඉහ ඉන අතගාගෙන එදාවේල සරිකරගන්නට ඉහළ දැමූ ඉන්ධන මිල පට්ටපල් කෙබරයකින් වසාගන්නට දැන් කියන්නේ, තමන් එය කළේ රටේ රථවාහන මෙන්ම දුම්රිය සේවා ද හැකිතාක් දුරට විදුලි බලයෙන් ක්‍ර්‍රියාත්මක වන සේවාවන් බවට පත්කිරීම සඳහා බව ය‍.

බොරුවලිනුත් අල්ල දිගහැරගෙන ඉන්නා නිමේෂයට අල්ලේම පැළවෙන බොරු කියන්නේ මේවාට ය.

මේ කෙබරයේ තවත් පැතිකඩ මෙහි ඊළඟ කොටසට ඉතිරිකරමි.

සනත් බාලසුරිය

 

leave a reply