Breaking News

කවියා සහ පෞද්ගලිකත්වය

ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න

19 වන සියවසේ මුල් භාගයේ වුසූ පර්සි බයිෂෙ ෂෙලී (Percy Bysshe Shelley) විප්ලවකාරී මෙන් ම ලිරික් කාව්‍ය රචනා කළ විශිෂ්ට කවියෙකි.ඔහු විසින් සිය කෙටි ජීවිත කාලය තුළ කවිය පිළිබඳ රචනා කළ එක ම දීර්ඝ රචනය වන්නේ ” In defence of poetry ” (කවියෙහි ආරක්ෂාව සඳහා) යන්න යි.(මෙය ආරියවංශ රණවීර විසින් සිය ” කවිය සහ කවියා ” නමැති ග්‍රන්ථයෙහි ” කවිය සුරැකීමට කියන වග නම් ” යන සිරස යටතේ අතිප්‍රශංසනීය ලෙස සිංහලයට නඟනු ලැබ ඇත.)

එම ලිපියෙහි දී ඔහු තර්කය,පරිකල්පනය,සදාචාරය,උපයෝගීතාවය,සුන්දරත්වය හා සමාජ සාධාරණත්වය සමඟ කවියට ඇති සම්බන්ධය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති අදහස්, අද දවසේ කවියට ද – විශේෂයෙන් සිංහල කවීන්ට ද බෙහෙවින් වැදගත් වන උත්තර් – ඓතිහාසික වටිනාකමකින් යුත් අන්තර්දෘෂ්ටීන් ගණනාවක් නිපදවා දෙයි.ඒ අතරින් ෂෙලී කවියාගේ පෞද්ගලිකත්වය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන පහත අදහස මෙරට සිංහල කවීන්ගේ හා විචාරකයන්ගේ අවධානයට ලක් විය යුත්තක් බව හැඟේ.

” A poet, as he is the author to others of the highest wisdom, pleasure, virtue, and glory, so he ought personally to be the happiest, the best, the wisest, and the most illustrious of men. As to his glory, let time be challenged to declare whether the fame of any other institutor of human life be comparable to that of a poet. That he is the wisest, the happiest, and the best, inasmuch as he is a poet, is equally incontrovertible: the greatest poets have been men of the most spotless virtue, of the most consummate prudence, and, if we would look into the interior of their lives, the most fortunate of men: and the exceptions, as they regard those who possessed the poetic faculty in a high yet inferior degree, will be found on consideration to confine rather than destroy the rule. Let us for a moment stoop to the arbitration of popular breath, and usurping and uniting in our own persons the incompatible characters of accuser, witness, judge, and executioner, let us decide without trial, testimony, or form, that certain motives of those who are ―there sitting where we dare not soar,‖ are reprehensible. Let us assume that Homer was a drunkard, that Vergil was a flatterer, that Horace was a coward, that Tasso was a madman, that Lord Bacon was a peculator, that Raphael was a libertine, that Spenser was a poet laureate. It is inconsistent with this division of our subject to cite living poets, but posterity has done ample justice to the great names now referred to. Their errors have been weighed and found to have been dust in the balance; if their sins ―were as scarlet, they are now white as snow‖; they have been washed in the blood of the mediator and redeemer, Time. Observe in what a ludicrous chaos the imputations of real or fictitious crime have been confused in the contemporary calumnies against poetry and poets; consider how little is as it appears —or appears as it is; look to your own motives, and judge not, lest ye be judged. “
මෙහි දී ෂෙලී පෙන්වා දෙනුයේ කවියා යනු ඉහළ ම සදාචාරවාදියෙකු වන බව ය.එහෙත් ඔහුගේ සදාචාරවත් බව යනු ගතානුගතික ආචාර ධර්ම මත පදනම් වන්නක් නො වේ.සැබවින් ම සමකාලීන ආචාර ධර්ම නිපදවන්නා වූ කලි කවියා ය.ආචාර ධර්ම ශාස්ත්‍රයෙන් පවා සිදු කෙරෙන්නේ කවිය විසින් ගොඩනංවනු ලැබූ අංගයන් ම නැවත නිසි පරිදි සකස් කර එක්තැන් කිරීම බව හේ පෙර ඡේදයක දී පෙන්වා දෙයි.

කිසිවෙකු කවියෙකුගේ ආචාර ධාර්මික බව ප්‍රශ්න කරන විට තමා පය ගසා සිටින ආචාර ධාර්මික පදනම කවරක් ද, යන්න පිළිබඳව පළමුව කල්පනා කළ යුතු බව මින් ගම්‍යමාන වේ.නිදසුනක් ලෙස යමෙකු කවියෙකුට ” බියසුල්ලෙකු ” යැයි ප්‍රකාශ කරන විට එම ” බියසුලු ” බව පිළිබඳ ඔහු දරන ආස්ථානය නිර්මාණය වී ඇති ඓතිහාසිකත්වය පිළිබඳ එම විවේචකයා සවිඤ්ඤාණක විය යුතුය.එය “බියසුලු”කම පිළිබඳ තමන් දරන ගතානුගතික විනිශ්චයන් මත පදනම් වීමට ඇති ඉඩේ අනතුර එම එම ප්‍රකාශකයා විසින් උසුලනු ලැබිය යුතුය.

අතිශය පසුගාමී පුරුෂාධිපති දෘෂ්ටිවාදයක පය ගසා සිටින සමාජයකට කවියෙකුගේ ප්‍රේමය – දුර්වලකමක්,නපුංසකකමක්,බියසුලුකමක් ලෙස දෘශ්‍යමාන විය හැකිය.එවිට එම සමාජය නො දන්නා දෙය වන්නේ සදාචාරය රඳා පවතින්නේ ප්‍රේමය මත වන බව යි.සාමාන්‍ය මිනිස් ගතියෙන් මිදී ගොස් වෙන අන් යමෙකුගේ සිතුවිලිවල,ක්‍රියාකාරකම්වල සුන්දරත්වය දැකීම හා අගය කිරීම ප්‍රේමයේ පදනම වන බව ෂෙලී පවසයි.

කවියාගේ මෙම සාධුවර බව සාමාන්‍ය සමාජයට වටහා ගත නො හැක්කේ සමාජයට කවියාට මෙන් පරිපූර්ණව තමාගේ පරිකල්පන ශක්තිය මෙහෙය විය නො හැකි බැවිනි.සදාචාරය සහ යහපත රැගෙන එන වහකයා බවට කවියා පත් වන්නේ මේ සාමාන්‍ය මිනිස් ගතියෙන් මිදීමට ඔහු සතු වන අසාමාන්‍ය හැකියාව නිසා ය.

අනෙක් අතට කවියෙකුට එසේ චෝදනා කරන,දඬුවම් නියම කරන සමාජයේ තැනට ගොස් මෙම චෝදනා කිරා මැන බැලූ විට හමු වන්නේ මොනවා ද ? නිදසුනක් ලෙස හෝමර් බේබද්දෙකු; වර්ජිල් කයිවාරුකාරයෙකු;හොරෙස් බියගුල්ලෙකු;බේකන් සාමි පගාකාරයෙකු;ටැසෝ පිස්සෙකු;රෆායල් වලත්තයෙකු;ස්පෙන්සර් වන්දිභට්ටයෙකු බව සිතමු.

එබඳු කලංක තිබිය දී වුව ද කවියා මිනිස් සමාජයේ උත්කර්ෂය වෙනුවෙන් සිදු කර ඇති මෙහෙවර එමඟින් අවතක්සේරු නො වන්නේය.ඊට සාපේක්ෂව එම නින්දා අවලාද නඟන්නවුන් අනුන්ගේ පෞද්ගලික්තය විනිශ්චය කිරීමට පෙර තමන් ම විනිශ්චයට භාජනය වීම වැදගත්ය නිදසුනක් ලෙස සමාජයේ බරපතළ අසාධාරණකම් ඉදිරියේ සිය කුටුම්භයෙන් එළිබැසීමටවත් බැහැරට නො යන පිරිමියෙකු තම බිරිඳට කනේ පහරක් ගැසීම නිර්භීතමකමක් ලෙස සලකනවා විය හැකිය.සැබැවින් ම එවිට ” බියගුල්ලා ” යන විවේචනය හොරෙස්ට වඩා ගැළපෙනුයේ එම විවේචනය එල්ල කරන පිරිමියාට ම බව ෂෙලී පෙන්වා දෙයි.
කවියෙකු කලබල විය යුත්තේ මෙබඳු පෞද්ගලිකවාදී විවේචන සම්බන්ධයෙන් නො ව ඔහුට තවදුරටත් තමාගේ ස්ථානයෙහි අනෙකෙකු තබා සිතිය හැකිද,තම වර්ගයාගේ දුක් දොම්නස් තමාගේ ම දුක් දොම්නස් ලෙස සිතිය හැකිද, යන්න පිළිබඳව ය.

එබඳු කවියෙකුට අනෙකා ද ප්‍රාර්ථනා කරන පරිපූර්ණ සන්තුෂ්ටිය පහසුවෙන් සොයා යා හැකිය; වේදනාව මඟ හැරිය හැකිය.එම ගමනේ දී අර කී පෞද්ගලිකවාදී නින්දාලාප, සත්‍ය වසා දමන එහෙත් සදාකාලික නො වන ව්‍යාජ කඩමාලු පමණක් ම ය.

ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න

 

 

 

 


 

leave a reply