Breaking News

බෝරිච් පාලනය සමඟ චිලි බහුත්වවාදය වෙත

2021 වසරේ නොවැම්බර් මස චිලි හි පැවති ජනාධිපතිවරණයෙන් තම ප්‍රතිවාදි තරඟකරු වන දක්ෂිණාංශික හෝසේ ඇන්තෝනියෝ කාස්ට් පරදවා, වාමවාදී හිටපු ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු වන ගාබ්‍රියෙල් බෝරිච් අති විශිෂ්ඨ මෙන්ම ඓතිහාසික ජයක් අත්පත් කරගත්තේය. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 35 ක් වූ අතර ගාබ්‍රියෙල්, චිලි හි මෙතෙක් පත් වූ ලාබාලතම ජනාධිපතිවරයා ද වෙයි. ඔහු සිය මැතිවරණ ව්‍යාපාරය මෙහෙය වූයේ චිලියේ සිදුවිය යුතු දැවැන්ත සහ වඩාත් ප්‍රගතිශීලී වෙනස්කම් රැසක් පදනම් කරගනිමිනි. රට තුළ නිදහස් ගෝලීය ආර්ථිකය සීමා කිරීම, සමානාත්මතාව ඇති කිරීම, දුෂණය වැළකීම, බහුවාර්ගික සහ බහුසංස්කෘතික රටක් බිහි කිරීම, ඔහුව ජනපති සටනේ ජයග්‍රහණය දක්වා ගෙන ගිය මැතිවරණ පොරොන්දු වලින් කිහිපයකි.

බෝරිච් මෙහෙය වූ මැතිවරණ ව්‍යාපරය තුළ නිරන්තරයෙන් රැව් දුන් එක් සටන් පාඨයක් සහ පොරොන්දුවක් වූයේ “චිලී නිදහස් ගෝලීය ආර්ථිකයේ තොටිල්ල වී නම්, එය එහි මිනී වළ බවට පත් වනු ඇත” යන්නය.

චිලි හි හිටපු ඒකාධිපති ජෙනරල් ඔගුස්‍තෝ පිනෝචේ විසින් ඇති කරන ලද නිදහස් ගෝලීය ආර්ථිකය සීමා කොට, එරට ආර්ථිකය තුළ පොදු ජනතාවට සහන සැලසෙන, ඉතා විප්ලවකාරී වෙනස්කම් ඇති කරන බවට බෝරිච් දිගින් දිගටම තම මැතිවරණ ව්‍යාපාරය තුළ ප්‍රකාශ කලේය. තම රට තුළ වූ ගැඹුරු අසමානතාවයේත්, අසමබරතාවයේත් මූලය ඇත්තේ එම ආර්ථික ක්‍රමය තුළ බව බෝරිච්ගේ අදහස විය. චිලී ජනතාව දැඩි සේ පීඩාවට පත් වූ එම සමාජ අසමානතාව සහ මානව හිමිකම් කඩවීම් නිසා 2019 වසරේ, රට පුරා උද්‍ඝෝෂණ රැල්ලක් ඇති වුනු අතර චිලී ව්‍යවස්ථාව නැවත කෙටුම්පත් කිරීම ඇරඹුනේ එහි ප්‍රථිඵලයක් ලෙසය.

“අප, අපගේ අයිතීන්, අයිතීන් ලෙස පිළිගත යුතු බවටත්, එය පාරිභෝගික භාණ්ඩයක් හෝ ව්‍යාපාරයක් ලෙස නොසැලකිය යුතු බවටත් ඉල්ලා සිටින, පොදු ජන ජීවිතය තුළින් පැන නැඟි පරම්පරාවකි.” බීබීසී පුවත් වෙබ් අඩවියේ දැක්වෙන පරිදි, තම ආධාරකරුවන් ලෙස බහුතරයක් තරුණ ප්‍රජාව එක්රැස් වි සිටි, සිය ජයග්‍රාහී අවසාන රැළියේදී බොරිච් පවසා තිබුණි.

ගාබ්‍රියෙල් බෝරිච් යනු චිලි හි සම්ප්‍රදායික දේශපාලන නායකයකුගේ සුපුරුදු ස්වරූපය පවා අභියෝගයට ලක් කළ තරුණ ක්‍රියාකාරිකයෙකි. ඔහුගේ මුහුණ රැවුලින් වැසි ඇත, අතේ පච්ච කොටා ඇත, ඔහු කිසි විටෙක ටයි පටියක් පළඳින්නේ නැත. ඔහුට අත්දැකීම මඳ බවද, තව තවත් ඉගෙනීමට බොහෝ දේ ඇති බවද ඔහු පිළිගනියි. බෝරිච් ම පවසන පරිදි ඔහු ඉතිහාසය සහ සාහිත්‍යය, විශේෂයෙන්ම කාව්‍ය ඇසුරු කරන්නෙකි, රොක් සංගීත ලෝලියෙකි, මධ්‍යස්ථ සමාජවාදියෙකි. ඔහු විශ්ව විද්‍යාලයේ නීතිය හදාරමින් සිටියදී, ප්‍රකට ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු ලෙස විශ්වවිද්‍යාල සිසුන් සිදුකළ උද්ඝෝෂණවලට නායකත්වය දුන් නමුත් ඔහු නීතිය පිළිබඳ උපාධිය සම්පූර්ණ කලේ නැත. ඒ වෙනුවට ඔහු තෝරා ගත්තේ දේශපාලනයේ නිරත වීමයි.

ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකුව සිටියදී දිගට වැවූ කොණ්ඩය දැන් ඔහු කොටට කපා ඇත, දෙඅත්වල ඇති පච්ච වැසෙන පරිදි ඔහු දැන් අඳින්නේ අත් දිග කමිසය. ‍ගෞරවණිය වැඩහිටි කාලයක් ලබා දෙනු වස් විශ්‍රාමික වැටුප් ක්‍රමයක් ඇති කිරීම, පොදු සෞඛ්‍ය රක්ෂණ ක්‍රමයක් ඇති කිරීම, දැවැන්ත සමාගම් වලින් සහ ධනවත් පුද්ගලයන්ගෙන් අය කරගන්නා බදු මුදල් ප්‍රමාණය වැඩි කිරීම, හරිත ආර්ථිකයක් ඇති කිරීම ඔහුගේ ජනාධිපතිධුර කාලය තුළ සැබෑ කර ගත යුතු ඔහුගේ සිහින වලින් සමහරකි. බෝරිච්, සමරිසි විවාහ සහ ගබ්සාකිරීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින්නෙකි. ඔහු දැරූ, ස්ත්‍රීවාදී නැමියාවකින් යුතු අදහස් නිසා මැතිවරණ සටනේදී කාන්තා සහයෝගය ඔහු විශාල ලෙස අත්පත් කරගත්තේය.

ෆ්‍රාන්ස්24 වෙබ් අඩවියේ දැක්වෙන පරිදි, බෝරිච් ගේ ජිවන සහකාරිය වන ඉරිනා කරමනෝස් ද නව ජනාධිපතිවරයා චිලි හි සිදු කරමින් සිටින සමාජ දේශපාලනික වෙනස්කම් වෙනුවෙන් තදබල ලෙස පෙනී සිටින්නියකි. ඇය ස්ත්‍රීවාදිනියකි, මානව විද්‍යාව උපාධිධාරිනියකි. ඇය බෝරිච් ගේ ජන්ද ව්‍යාපාරය පටන් ගැන්මේ සිට කියා සිටියේ ‘ජනපති ආර්යාව’ නම් පදවිය දැන් යල්පිනූ එකක් බවත් ඇයට එවැනි තනතුරක් හෙබවීමට කිසිදු කැමැත්තක් නැති බවත්ය.

“මම හිතන්නෙ අපි ඒ තනතුර පිළිබඳව නැවත සිතා බැලිය යුතුයි, මක්නිසාදයත් අපි ජීවත්වෙන්නෙ වෙනස් කාලයක, ‍ගොඩක් දේවල් දැන් වෙනස් වෙලා. ඒ වගේම අප බලය සහ ඉන් පණ නැගෙන සබඳතා පිළිබඳවත් නැවත සිතිය යුතුයි”

‘ජනපති ආර්යාව’ තනතුර පිලිබඳව ඇය දරන්නේ එවැනි අදහසකි. බෝරිච් ද විටෙක ‘ජනපති ආර්යාව’ නම් පදවිය කිසිදු අර්ථයක් නොමැති තනතුරක් බව ප්‍රකාශ කර ඇති අතර බලය සමඟ පවතින සමීප සබඳතා හෝ ලේ නෑකම් තුලින් දේශපාලන තනතුරු බිහිවිය නොවිය යුතු බව ද ඔහු අදහස් කරයි.

ජනාධිපති පදවි ප්‍රාප්තියෙන් පසු

ජනාධිපති මැතිවරණයෙන් බෝරිච් ජයග්‍රහණය කලේ 2021 වසරේ දෙසැම්බර් මස දී වුවද, ඔහුගේ පුර්වප්‍රාප්තිකයා වූ සෙබස්තියන් පිනේරා ගේ ධූර කාලය අවසන් වී, බෝරිච්ට ජනාධිපතිධුරයේ කටයුතු ආරම්භ කිරීමට හැකි වූයේ, 2022 වසරේ මාර්තු මස 11 වැනිදාය. ඉන් පසු මැතිවරණ ව්‍යාපාරය තුළ දි ප්‍රකාශයට පත් කළ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා ගාබ්‍රියල් බොරිච් යුහුසුලුව ක්‍රියා කළ බව විචාරකයන්ගේ මතයයි.

විසි හතර දෙනෙකුගෙන් සමන්විත බෝරිච් ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය තුළ 14 දෙනෙකු කාන්තාවන්ය. චිලියේ දේශපාලන ඉතිහාසයේ ප්‍රථම වරට ආරක්ෂක, නීති කටයුතු සහ අභ්‍යන්තර කටයුතු සම්බන්ධ අමාත්‍යංශ මෙහෙයවනු ඇත්තේ කාන්තාවන් විසිනි. ආරක්ෂක අමාත්‍යාංශය භාර ඇමතිනි වන්නේ, සැල්වදෝර් අයියන්දේ ගේ මිණිබිරියක වන මායා ෆර්නෑන්ඩස් වන අතර එතෙක් චිලී ආණ්ඩුවක් තුළ නොපැවති ‘කාන්තාව සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය’ නම් නව අමාත්‍යංශයක්ද බෝරිච් ප්‍රමුඛ ආණ්ඩුව විසින් නිර්මාණය කොට ඇත. ඒ අනුව එම අමාත්‍ය මණ්ඩලය තුළ කාන්තාවන්ගේ ‘ඔළු ගෙඩි’ ගණන නිස්සාර ලෙස වැඩි වී ඇතුවා නොව, සැබවින්ම එම කාන්තාවන් භාරදූර කාර්යයන්වල නියැලීමේ දී සහ මත නිෂ්පාදනයේදී අමාත්‍ය මණ්ඩලය තුළ බරපතල වගකීම් දරනු ඇත.

බෝරිච් ගේ මැතිවරණ ව්‍යාපාරය තුළ ඔහු ස්ත්‍රී විමුක්තිය වෙනුවෙන් ඔහු දැඩි ලෙස පෙනී සිටි අතර කාන්තාවන්ට ශ්‍රම වෙළඳපොළ ප්‍රවේශය පුළුල් කිරීම, ස්ත්‍රී පුරුෂ වේතන අසමානතා දුරු කිරීම, සාමාන්‍යයෙන් ගෙවීමක් සිදු නොකරන ගෘහස්ථ කාර්යයන්වලට වටිනාකමක් ලබා දීම සඳහා විශ්‍රාමික වැටුප් ක්‍රමයක් සහ ජාතික ජීවන ආරක්ෂණ ක්‍රමයක් ස්ථාපිත කිරීම, ලිංගික ශ්‍රමිකයන් සහ කාන්තාවන් වෙත එල්ලවෙන හිංසනය අවම කිරීමට නීති සැකසීම සහ ගබ්සාව නීති ගත කිරීම වැනි ප්‍රගතිශීලි වෙනස්කම් බෝරිච් විසින් යෝජනා කර තිබුණි. ඒ සියල්ල ඉටු කිරීමට නව ආණ්ඩුවට තවමත් කල් වෙලා ප්‍රමාණවත් නොවන නමුත් බෝරිච් ප්‍රමුඛ ආණ්ඩුව, අමාත්‍ය මණ්ඩළය පත්කිරීමේදි සිදුකර ඇති ප්‍රගතිශීලි වෙනස්කම් විසින්, ඒ පිළිබඳ සුබවාදී සළකුණක් ප්‍රකට කොට ඇති බව පැහැදිලිය.

නව ව්‍යවස්ථාව

චිලීය තුළ වර්ධනය වෙමින් පැවති සමාජ අසමානතාවටත්, ප්‍රභූ පන්තිවාදයටත් එරෙහිව 2019 වසරේ චිලීය පුරා දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් පැතිර ගියේය. කම්කරුවන්, සිසුන්, විශ්‍රාමිකයන්, ස්ත්‍රීවාදීන්, ස්වදේශික ජනතාව සහ සෙසු ප්‍රගතිශීලී ජනතාව වීදී බැස, සති ගණනාවක් පුරා රට අක්‍රමණ්‍ය තත්වයට පත් කලේය. ඔවුන්ගේ එක් ප්‍රධාන ඉල්ලීමක් වූයේ, සමාජ අසමානතාවට, මානව හිමිකම් කඩවීම් වලට සෘජුවම හේතු සපයන ව්‍යවස්ථාව වෙනස් කළ යුතු බවය. ඒ අනුව 2020 වසරේදී නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ යෝජනාව බහුතර මහජන ජන්දයෙන් සම්මත වූ අතර 2021 වසරේ නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා බිහිකරන ව්‍යවස්ථාපිත සභාවට නියෝජිතයන් ද මහජන ජන්දයකින් තෝරා පත් කර ගත්තේය.

ඒ අනුව ආර්ථික දුෂ්කරතා සහ විවිධ දේශපාලනික කඩාකප්පල්කාරී ක්‍රියාවන් මැද කෙටුම්පත් කිරීම අවසන් වූ නව ව්‍යවස්ථාව මේ වසරේ ජූලි මස 4 වැනිදා බෝරිච් ජනාධිපතිවරයා අතට පත් වූයේය. ‍

බෝරිච් ජනාධිපතිවරයා නව ව්‍යවස්ථාව සම්මත කරගැනීමට සැප්තැම්බර් 4 වැනිදා රට තුළ ජනමතවිචාරණයක් පැවැත්වීමේ නිල නියෝගය මේ වන විට ප්‍රකාශයට පත් කොට ඇත.

“අප රට දශක ගණනාවක් පුරා ගත කළ, වඩාත් අර්බුදකාරී තත්වයක් තුළදී පවා, අපට වඩාත් වැඩි ප්‍රජාතන්ත්‍රවාදයක් තෝරා ගැනීමට හැකි වීම පිළිබඳව අප ආඩම්බර විය යුතුය.” බෝරිච් ජනාධිපතිවරයා සන්තියාගෝ නගරයේදී පවසා සිටියේය.

ලොව ප්‍රකට චිලීයානු ලේඛිකාවක වන ඉසබෙල් අයියන්දේ ද තම උපන් බිමේ ඇතිවෙමින් තිබෙන සුබවාදි දේශපාලන පෙරළිය දෙස උද්දාමයෙන් බලා සිටින්නියකි. ඇය ගාබ්‍රියෙල් බෝරිච් ගේ ජනාධිපති පදවි ප්‍රාප්ති උත්සවයට ආරාධිත අමුත්තියක ලෙස ද සහභාගි වූවාය.

ඇයගේ උද්දාමයට හේතු ඇය මෙසේ පළ කරන්නීය: “ඒ, තරුණ හාදයෙක් ජනාධිපතිකමට තේරිලා, එයාගේ කැබිනට් මණ්ඩලයට කාන්තාවන් 14යි පිරිමින් 10 යි පත්කරගත් නිසා පමණක් නොවෙයි. අලුත් ආණ්ඩුව අලුත් ව්‍යවස්ථාවක් ගේන්න හදනවා. ඒ අලුත් ව්‍යවස්ථාව කියන්නේ අපට මොන වගේ රටක්ද ඕනෙ කියන එක අපෙන්ම විමසා බලන්න හැකි හොඳ අවස්ථාවක්”

එසේම එම ව්‍යවස්ථාව තුළ ඇති, සියළු ජනකොටස් පිළිබඳ සැළකිලිමත් වෙන, සියල්ලන් ඇතුළත් කර ගැනීමේ ලක්ෂණය පිළිබඳ ඇය මෙසේ ද පවසන්නීය .

“ කෙටුම්පත් කරපු ව්‍යවස්ථාවේ මතු කරන කාරණා තුළ තියෙන්නෙ ඒකාන්ත වශයෙන්ම ස්ත්‍රි පුරුෂ සමානාත්මතාව. ඒ වගේම ස්වදේශික ජනතාව ඇතුළු සියළු ජන කොටස්වල අයිතීන් පිළිබඳව මේ ව්‍යවස්තා කෙටුම්පතට ඇතුළත් කරලා තියෙනවා.”

දේශපාලන විචාරකයන්ට අනුව එතෙක් පැවති චිලි පාලනය යනු ස්වදේශික සහ අනෙකුත් සුළු ජනවර්ගයන් දෙවැනි පුරවැසියන් ලෙස තබන, වෙනස් කොට සැළකීමේ ලක්ෂණය මත පදනම්වූ එකකි. වර්ගවාදයත් පංතිවාදයත් එකට බැඳුනු දේශපාලන ක්‍රමයක් තුළ, නිදහස් ගෝලීය ආර්ථික ක්‍රමයටත්, සමාජ අසමානතාවටත් විසඳුම් ලෙස ගෙන එන නව ව්‍යවස්ථාව චිලි දේශපාලනයේ නව හැරවුම් ලක්ෂයක් වනු ඇත.

මපූෂේ ස්වදේශික ජනතාව

ගේබ්‍රියෙල් බෝරිච් තම ජනාධිපති මැතිවරණ ව්‍යාපාරය තුළ මපූෂෙ ස්වදේශික ජනතාවගේ අයිතිවාසිකම් සුරැකීම වෙනුවෙන් පෙනී සිටි‍යේය. මපූෂේ ජනතාව යනු චිලියේ මුළු ජනගහණයෙන් 12% පමණ සිටින එරට විශාලතම ස්වදේශික ජනකණ්ඩාමයි. ස්පාඤ්ඤ යටත් විජිත සමයේ සිට, යටත් විජිත පාලකයන් සමඟ සේම, ඒකාධිපති පාලන තන්ත්‍රය සමඟ එම ජනතාව නිරන්තරයෙන් ගැටුණේ පාලකයා විසින් විටින් විට කොල්ලකමින්, සමාගම් වෙත පවරන තම ජන්ම භූමියේ ඉඩම් රැක ගැනීමට සහ බලහත්කාර ස්විකරණය නිසා තම ජනවර්ගයාගේ උල්ලංඝනය වන අයිතීන් රැකගැනීම සඳහාය. ඔවුන් දිගින් දිගටම ඉල්ලා සිටියේ තම ජනවර්ගයාට අයිති ඉඩම් නැවත අත්පත් කරදීමත්, ස්වයං පාලනයක් ගෙන යාමේ අයිතියත්ය.

ගාබ්‍රියෙල් බෝරිච් පැහැදිලි ලෙසම මපූෂෙ ස්වදේශික ජනතාවගේ අයිතින් වෙනුවෙන් පෙනී සිටීමට පොරොන්දු වූ අතර ඔහුගේ ජනාධිපති පදවි ප්‍රාප්ති උත්සවය පැවැත්වූයේ එම ස්වදේශික ජනතාවගේ ද සහභාගීත්වය ඇතිවය. එම උත්සවය අතරවාරයේ මපූෂේ ජනතාව සමඟ බෝරිච් ඔහුගේ සහකාරිය ඉරිනා කරමනොස් හා එක්ව එකට වාඩි වී බොහෝ වේලාවක් ඔවුන් ගේ ප්‍රශ්න සාකච්ඡා කරනු දක්නට ලැබුණි. බෝරිච් ගේ පාලන කාලය ආරම්භයේදීම ප්‍රචණ්ඩකාරී ක්‍රියා, තම අරගල ක්‍රමය ලෙස හඳුන්වා දෙන ස්වදේශික සුළුතර ජන කණ්ඩායම් නිසා උණුසුම් දේශපාලන වාතාවරණයක් ඇති වුවද බෝරිච් පාලනය, ස්වදේශිකයන්ට අයත් ඉඩම් නැවත මිලදී ගෙන, ඔවුන්ට ආපසු ඒවා ලබා දීම ආරම්භ කිරීම වැනි ක්‍රියාමාර්ග ද යුහුසුළුව දියත් කලේය.

ඒ අනුව යම් හෙයකින් කෙටුම්පත් කර ඇති ව්‍යවස්ථාව චිලී තුළ සම්මත කර ගැනීමට එම ජනතාවට හැකි වුව‍හොත්, ඔවුන් 2019 වසරේ වීදී බැස ඉල්ලා සිටි වෙනස සිදු වෙනවා පමණක් නොව බෝරිච් ප්‍රමුඛ පාලනයට නුදුරේදීම වඩාත් බහුත්වවාදී රටක් බිහි කිරීමට පහසු වෙනු ඇත.

ස්වදේශික ජනතාවට නීතිමය රැකවරණය ලබා දීම, ගබ්සා කිරීමේ අයිතිය තහවුරු කිරීම එම නව ව්‍යවස්ථාවේ දැක්වෙන කරුණුවලින් සමහරකි. “ස්වදේශික ජනතාව පෙළන ලද අහිමිවීම් වලට සම්බන්ධ ‍ඓතිහාසික ගැටුම්වලට විසඳුම් ලබා දෙන මාවතක් මෙම ව්‍යවස්ථාදායක සභාව විසින් එළි පෙහෙලි කරනු ඇත.” මපූෂෙ ජනතාවගේ නියෝජිතවරියක වූ රෝසා කැතිලියෝ පවසා සිටින්නීය.

දේශපාලන විචාරකයන්ට අනුව ජනතාව නියෝජනය කරන, සමාජ අයිතින් දැවැන්ත ලෙස තහවුරු කෙරෙන නව ව්‍යවස්ථාවක් චිලියේ සම්මත වුවහොත්, එය ලෝකය පුරා ප්‍රජාන්ත්‍රවාදයේ දිදුලන ආදර්ශයක් වනු ඇත. කිසියම් රටක ජනතාවාදී නොවන සහ ඔවුන්‍ගේ අයිතින් ආරක්ෂා නොකරන ව්‍යවස්ථාවක් නැවත ලිවීමට හැකි විය යුතුය, එය සැබවින්ම නැවත ලිවිය යුතුය. ජනතාව පෙළන ඉපැරණි ලියවිල්ලක් මත යැපෙනවාට වඩා ජනතාව, ඔවුන්ව රකින ව්‍යවස්ථාවක් නැවත ලිවීමට පෙරට ආ යුතුය.

චිලියේ සැප්තැම්බර් හතර වැනිදා පැවැත්වෙන ජනමතවිචාරණය එරට ආන්තරිකරණයට සහ අවදානමට ලක් වූ ජනතාවගේ ඉරණ වෙසෙසින්ම තිරණය කරනු ඇත. යම්හෙයකින් එම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීමට බහුතර අනුමැතිය ලැබෙන්නේ නම්, එය ඉපැරණි ලෝකයට අභියෝග කළ හැකි, අලුත් දේ බිහි විය යුතු යැයි සහ සියල්ලනටම එක සමානව සැළකිය යුතු යැයි විශ්වාස කරන තරුණ පරම්පරාවක බලය ගැන බොහෝ පාඩම් අපට කියා දෙනු ඇත.

සුභාෂිණී චතුරිකා

leave a reply