මුහුදු තීරය විනාශ කළා මදිවට තවත් තකතීරු තීරණයක් ජනාධිපතිවරයාගෙන්

පර්ල් එක්ස්ප්‍රස් නෞකාව ලංකාවේ මුහුදු සීමාවෙන් ඉවතට රැගෙන යාමට ජනාධිපතිවරයා නියෝග කර ඇති අතර අද රාත්‍රියේ නෞකාව ගෙන යාමට සූදානමක් පවතී. මෙය අතිශය විනාශකාරී තීරණයක් වන්නේ මේ නිසා සිදුවූ හානියට වන්දියක් ගැනීමේ අවම අවස්ථාව පවා අහිමි වන නිසාය. නෞකාවේ රසායන ද්‍රව්‍ය කාන්දුවීමෙන් සහ ගින්නෙන් සිදුව ඇති හානිය මුදලින් ගණනය කළ නොහැකිය. නමුත් අවම වශයෙන් පාරිසරික හානියේ කොටසක් හෝ පුනරුත්ථාපනය සඳහාත් දකුණු හා බස්නාහිර ධීවර කර්මාන්තයෙන් යැපෙන සියල්ලන්ට වසරකවත් කාලයකට ජීවත් වීමට වන්දි ලබාදීම සඳහාත් අදාල නැව් සමාගමෙන් වන්දියක් ගත යුතුය. මෙම තීරණය නිසා ඒ අවස්ථාව අහිමි වේ.

මෙම සමස්ත ක්‍රියාවලියේදී සිදුව ඇති ප්‍රශ්නකාරී දේවල් ගණනාවක් තිබේ
* එක්ස්ප්‍රස් පර්ල් නෞකාව රසායන ද්‍රව්‍ය කාන්දුවකින් හා ගිනි ගැනීමේ අවදානමකින් තිබියදී එය ලංකාවට ඇතුළු කිරීමට අවසර දුන්නේ ඇයි? ඒ සඳහා තීරණය ගත්තේ කවුද? (මේ සම්බන්ධයෙන් අදාල නෞකාව කොළඹ වරායට දැනුම් නොදුන් බව පැවසීම නිවැරදි නැත. දත්ත හා තොරතුරු වරායන් අතර හුවමාරු කර ගැනීමේ ජාත්‍යන්තර සම්මුතියකට අනුව ඉන්දියාවේ වරාය එම දැනුම්දිම සිදුකර ඇත.)

* මෙවැනි රසායන ද්‍රව්‍ය කාන්දුවක් හෝ ගින්නක් වැළැක්වීමට ලංකාව පමණක් නොව ඉන්දියාව සතුවවත් තාක්ෂණය නොමැති තත්වයක් තුළ අදාල නැව ගෙන්වා ගත්තේ ඇයි? නැව ජාත්‍යන්තර මුහුදේ රඳවා ජාත්‍යන්තර විශේෂඥයන් කැඳවීමට පියවර නොගත්තේ ඇයි? නෞකාව ලංකාවට ඇතුළු වූ පසුවවත් විශේෂඥයන් සහ තාක්ෂණ උපකරණ සඳහා ජාත්‍යන්තර සහය ඉල්ලා නොසිටියේ ඇයි?

* ජාත්‍යන්තර සම්මුතිවලට අනුව හා ලංකාවේ නීතියට අනුව නෞකාව හා කපිතාන් වරයා ඇතුළු ප්‍රධාන කාර්‍ය මණ්ඩලය අත්අඩංගුවට ගත හැකිය. එය නොකළේ ඇයි? එසේ නොකර නෞකාවට ලංකාවේ මුහුදු සීමාවෙන් පිට වීමට ඉඩ දීමෙන් වන්දියක් ලබා ගැනීමේ අවස්ථාව පවා අහිමි වේ. කලින් නිව් ඩයමන්ඩ් නැවෙන්ද ප්‍රමාණවත් වන්දියක් ලබා ගත නොහැකි විය.

* නෞකාව ඉවතට ඇදගෙන යන්නේනම් ඊට පෙර එහි ඇති ඉන්ධන වෙනත් නෞකාවක් භාවිතා කර හිස් කළ යුතුය. තවත් රසායනික බහාලුම් ඉතිරිව ඇත්නම් ඒවාද ඉවත් කළ යුතුය. එසේ නොමැතිව මෙලෙස අඩක් හානිවූ නෞකාව ඇදගෙන යාමේදී ඉන්ධන කාන්දුවක් සිදු වුවහොත් තවත් ව්‍යසනයක් සිදුවේ. මේ තීරණය ගැනීමට ජනාධිපතිවරයාට උපදෙස් දුන්නේ කවුද? ඔවුන්ගේ යටි අරමුණු මොනවාද?

* නෞකාව ගිලී යාමට ඉඩ ඇති නිසා ඉවත් කරන බව ජනාධිපතිවරයා විසින් පැවසීම අර්ථ විරහිතය. ලෝකයේ කිසිදු රටක් එවැන්නක් කරන්නේ නැත. ගින්න නිවා අවසන් නම් වහාම ඉන්ධන හිස් කළ යුතුය. ඉන් අනතුරුව නෞකාව ගිලීමෙන් විශාල හානියක් සිදු නොවේ. මේ තීරණය ගැනීමේදී නිව් ඩයමන්ඩ් නෞකාවේ සිදුවීමේදී මෙන්ම කොමිස් වංචාවක ලකුණු තිබේද? වන්දි ගෙවීමෙන් මග හැරීම සඳහා අදාල නැව් සමාගමෙන් අල්ලස් ගැනීමක් සිදුව තිබේද?
මේ ගැන පැහැදිලි කිරීමක් වහාම අවශ්‍ය වේ. නමුත් හෙටින් පසු කරන විග්‍රහ වලින් පලක් නැත. අද රාත්‍රී මේ නැවට ලංකාවෙන් ඉවත් වීමට ඉඩ නොදිය යුතුය. ඒ සඳහා හැම දෙනෙකුම මැදිහත්වීමක් කළ යුතුය. මේ ප්‍රශ්නය ගැන සංවේදී සියල්ලන්ගෙන් කිරීමට ඇති ඉල්ලීම එයයි. අශ්වයා පැනගිය පසු ඉස්තාලය වසා දැමීමෙන් පලක් නැත.

Share post:

Popular

වෙනත් පුවත්

අනවසර ඉදිකිරීම් නීතිය – ලොක්කන්ට එක විදිහක් පොඩ්ඩන්ට තව විදිහක්ද?

මේ දිනවල ආණ්ඩුව විසින් ක්‍රියාත්මක අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ වැඩපිළිවෙල...

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...