Breaking News

විජය නන්දනගේ “සහස්පත් ” ගැන චූලානන්ද සමරනායකගේ කියවීම

මත්සුවෝ බෂෝ ජීවත්ව සිටි අවධියෙහි හොක්කු යනුවෙන් හඳුන්වනු ලදුව හයිකු යනුවෙන් පසුව ව්‍යවහාරයට පැමිණි කෙටි කවි විශේෂය ගැන ලංකාවෙහි වැඩි අවධානයක් යොමු වන්නට ගත්තේ ආරියවංශ රණවීර ඒ ගැන අදහස් පල කරන්නට සහ ඔහු මෙන්ම නන්දන වීරසිංහද කෙටි කාව්‍ය සම්ප්‍රදාය සිය කවි මගෙහි සංධිස්ථානයක් කරගැනීමෙන් පසුවය. එය මුල් අවධියෙහිදී විවේචන සහ පැසසුම් යන දෙකම ලැබුවද පසුවෙද්දී ක්‍රමයෙන් කෙටි කවිය වෙත පිරිස් හී ආශක්තවීමේ වර්ධනයක් දක්නට ලැබිණි. අද වන විට එය කාංකීය සිංහල කවියෙහි කැපී පෙනෙන අන්දමින් වර්ධනය වී තිබේ.

එහෙත් ඉන් අප හයිකු සම්ප්‍රදාය අනුගමනය කරන්නේ යයි කිව නොහැකිය. ජපානයේ මුල් බැසගත් හයිකු කවියෙහි ඡායාවක් අරගැනුම මිස අපට හයිකුව එලෙසින්ම ගත නොහැකිය. මාත්‍රා දහහතක සීමා මත ගොඩනැගෙන හයිකුව ඒ අයුරින්ම යළි සිංහල බසින් ගොඩනැංවීම අභියෝගයකි. මේ අභියෝගය කෙතරම් දරුණුදැයි බෂෝ විසින් සිය සංචාරක අත්දැකීම් සහ ඒ අවස්ථාවන්හී රචනා කරන ලද හයිකු ඇතුලත් කෘතියෙහි ඉංග්‍රීසි පරිවර්තක (The Narrow Road To The Deep North)නොබුයුකි යුආසා ගේ මෙවදන් මගින් පැහැදිලි වෙයි.

‘එක් බසකින් තවත් බසකට පරිවර්තනය කිරීම බියකරු කාරියකි. වසර ගණනාවකට ඔබ්බේ මේ කටයුත්ත ඇරඹූ විට මා ඊට දරනා වෙහෙස දුටු මිතුරෙක් අහිංසක ආකාරයට කියා සිටියේ මා කළ නොහැක්කට අරාඳින බවකි.’

බෂෝ සිය සංචාරය අතරතුර ඇස ගැටෙනා දසුන් හමුවේ තත්ක්ෂණයෙහි රචනා කරනා හයිකු ඉංග්‍රීසි බසට නොව අන් කවර බසකට වුව පරිවර්තනය කිරීමේදී මුලින්ම බිඳී යනුයේ එහි මාත්‍රා දහහතේ මූලධර්මයමය. මේ ඔහු යමගටා පලාතේ අති නිසංසල අරමක් නැරඹීමට ගිය අවස්ථාවේ රචනා කළ හයිකුවක ඡායානුවාදයකි.

අරමෙක
පූර්ණ නිහැඬියාවෙහි
රැහැයියෙකුගේ නාදය
විදගෙන යයි ගල්පර

මේ කව සිංහලට නැගුණේ ඉංග්‍රිසි බසට කරන ලද පරිවර්තනයෙනි. එහෙයින් එහි මුල් අරුත කෙතරම් මෙහි ඇතිදැයි කිවහැක්කේ සාපේක්ෂව පමණි. නමුදු මේ කව එකී පරිසරයෙන් වියෝ කොට අද කියවද්දී එදා ඒ තිබූ ස්ථානීය බැඳුමෙන් මුදවා වෙනත් අරුත් ගම්‍යවන අයුරක්ද දකිත හැකිය.

කෙසේ වෙතත් මේ හයිකු සම්ප්‍රදාය ඇසුරේ අපේ කවීහු සැලකිය යුතු පිරිසක් කෙටි කවියෙහි සිය දක්ෂතා පල කරමින් සිටිති. ඒ නම් මෙහි සඳහන් නොකරනුයේ මගහැරෙන්නාට අසාධාරණයක් වෙතැයි සිතුණ හෙයිනි. එහෙත් විජය නන්දන ගේ කාව්යෙ එකතුව මේ කෙටි කවි අතර කැපී පෙනෙන සළකුණක් තබන්නේ යයි කීමට ඉන් බාධාවක් නැත.

පරිසරය සහ ජීවිතය ඇසුරේ තත්ක්ෂණයෙහි පහලවන සිතුවිල්ලක් ලෙස හයිකුව වරනැගුවද අපේ කෙටි කවියෙහි දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයක් වනුයේ එකී කවිය සමාජ දේශපාලන මැදිහත්වීමක් ලෙස ප්‍රබලව භාවිතා වන ආකාරයයි. අපේ කෙටි කවි බහු අරුත් දනවන, තියුණු දේශපාලන සංවාදයන්ට අත වනනා නිර්මාණ බව බොහෝ විට දක්නට ලැබෙයි. විජය නන්දනගේ කවි වෙතින්ද දක්නට ලැබෙන ප්‍රමුඛ ලක්ෂණයක් වනුයේ එයයි. සමාජ දේශපාලන සංස්කෘතික මෙන්ම ආර්ථික වශයෙන්ද අප නරාවලෙක ගිලී සිටීම හමුවේ අප වෙන කුමක් කරන්නද?

බියපත්
නොවෙත්
තණපත්
සුළි සුළඟටත්

මෙහි මතුපිට අරුත සැණෙන් වටහාගත හැකිය. එය අපේ දෛනික පරිසරයෙහි විද්‍යාමාන වන අප කවුරුත් දන්නා සත්‍ය යකි. තුත්තිරි ගස් හුළඟට නොසැලෙයි යනුවෙන් අපි ගැමි වහරෙහිදී කියන්නෙමු. එහෙත් විජය නන්දන පබඳින මෙ කවෙහි ඇති දේශපාලන අරුත මතුපිට අරුත ඉක්මවා යයි. එය වඩ වඩා දේශපාලන බිමෙහි අදාල වෙයි. පාලකයන්ගේ බලය සහ ජනතා බලය පිලිබඳ යටිපෙල කියවීමක් මේ කව තුළින් මතුකරගත හැකිය. ඔහුගේ ඇතැම් කවෙක ඇත්තේ නූතනය යයි කියනා සමාජයෙහි ඇතිව තිබෙනා විපරිණාමයේ සළකුණු ය. අද වන විට අප බොහෝ දෙනා ඉන්නේ තාක්ෂණ ලෝකයේ අයාලේ සරන්නන් ලෙසිනි. අපට අප මෙන්ම සාමූහික ජීවිතයද අහිමි කරනා සමකාලීන ජීවිතය යනු සෙල්ෆි මොහොතකි. අපේ ජීවිතය ලකුණු වන්නේ මානම සම්බන්ධතා මත නොව සමාජ මාධ්‍ය සහ සෙල්ෆි මතම පමණි. ජීවිතය ව්යා ජයක් බවට හැරෙන තරමටම අපි අපේ රුවම සමාජ මාධ්‍ය තුළ වෙන්දේසි කරමින් පාවෙන රොඩු බොඩු බවට පත්වෙමු. මේ විජය නන්දනගේ කවියයි.

ඉලව් ගෙයි
සෙල්ෆියෙද
සිනාමය!

විටෙක ඔහුගේ කවිය ජීවිතය ගැන කියවීමකි. ඒ අතරම එය එවන් ජීවිතයක් උරුමවීම පිළිබඳව කල්පනා කරන්නට තුඩු දෙවනා පෙළඹුමකි. විජය නන්දනගේ කවියෙහි මේ පෙළඹවීම් බහුලය. කවිය විඳින්නට සැරසෙන පාඨකයාටද ඉන් තවත් ඉසවුවකින් නිර්මාණයට පිවිස බලන්නට ඉඩක් විවර වෙයි.

සුළඟටද
අවනතය
බිඳුනු
පසු
පියාපත්

අද වන විට ලොව පුරා මෙලෙස කෙටි කවිය සමාජ දේශපාලන විචාර අර්ථයෙන් භාවිතා වෙන අවස්ථා වැඩිය. එමගින් නූතන කෙටි කවිය හයිකුවෙහි ආභාෂය ලබනා අතරම එය පසුකර පුළුල් මැදිහත්වීමකට මග පාදයි. විදෙස් කෙටි කවි කියවන්නේ නම් මේ කවි තුළින් කවීන් තම සමාජය විනිවිදින්නට තැත් දරන ආකාරය වටහා ගත හැකි වෙයි.
මේ ඔහු පිළිම නමින් රචනා කරනා කෙටි කව යි.

ඉහ
කාක
වසුරුය
පය
කුසුම්
පොකුරුය

මේ කවිය පිටුපස ඉන්නේ ආත්ම ප්‍රකාශනය යන්නට මුවහ වී සෞන්දර්යාත්මක ප්‍රකාශනයට කොටු නොවෙනා දේශපාලන දැක්මක් සහිත නිර්මාණකරුවෙකි. පාඨකයා කැමති වුවද අකමැති වුවද ඔහුට කවියෙන් මතුපිටට ගන්නා විචාරාත්මක අදහස පිලිකෙව් කළ නොහැකිය.

මේ ඔහු වර්තමාන බොල් ජීවිත සිත්තම් කරනා ආකාරයයි.

හතරැස්
ජීවිත
හතරැස්
රාමුවල

මෙයද ඔහුගේ රචනාවන් අතර තියුණු සංවේදනයන් දනවන කවකි. එය ජීවිතයේ ස්වභාවය පාරිසරික සංකේත ඇසුරින් විමසන්නට දරන තැතකි.

මල ඉරේ
රත
මහලු මඩමේ
බිත
මත

මේ විජය නන්දන අම්මා දකින ආකාරයයි.

සිරිපතුල්
වැඳ
ගල්තැළුම්
පිරිමදින්නී
අම්මා

විජය නන්දන ගේ කවි ලාංකීය කෙටි කවියෙහි තවත් එක් මගනොහැර කියවිය යුතු මැදිහත්වීමකි. ඔහු කවියෙහි සරන්නේ සෞන්දර්යයෙන් නෙත බොඳ කර නොගෙනය. වෙනත් අයුරකින් කියන්නේ නම් සෞන්දර්යයද දැන, ඒ සෞන්දර්යය යටපත් කරනා කටුක ජීවිත සතයය ගැන අවබෝධයෙන් යුතුවය. ඔහුගේ සහස්පත් යනු අවධානයට ලක්විය යුතු නිර්මාණ එකතුවකි.

leave a reply