Breaking News

2026 සඳහා අයවැය – අලුත් බදු නැති වුණාට රාජ්‍ය ආදායමෙන් වැඩිම කොටස බදු

2026 වසර සඳහා වන අයවැය යෝජනා ජනාධිපති මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක විසින් අද (නොවැ: 06) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

එහිදී, ඔහු ඉදිරිපත් කළ අයවැය යෝජනා අතරින් විශේෂ කරුණු කිහිපයක් පහත දැක්වේ. මෙහිදී ආණ්ඩුව අයවැය ඉදිරිපත් කිරීමට පෙර සිටම පවසමින් සිටියේ මේ අයවැය හරහා අලුත් බදු පනවා නැති බවයි. නමුත් විශේෂයෙන් දක්නට ඇති කරුණක් වන්නේ රාජ්‍ය ආදායමෙන් හතරෙන් තුනක්ම උපයා ගැනීමට බලාපොරොත්තු වන්නේ බදු හරහා වීමයි.

  1. රාජ්‍ය ආදායම සහ වියදම

2026 අයවැය යෝජනා අනුව එම වසර සඳහා ඇස්තමේන්තුගත මුළු රාජ්‍ය ආදායම රු. බිලියන 5305කි.

ඉන්, රු. බිලියන 4850ක් ම බදුවලින් ඉපයීමට යෝජනා කෙරුණු අතර, බදු නොවන ආදායම රු. බිලියන 455ක් පමණි.

මේ අතර, ණය සේවාකරණය ඇතුළුව 2026 වසර සඳහා රජයේ ඇස්තමේන්තුගත වියදම රු. බිලියන 8980කි.

ඉන් රු. බිලියන 4495ක් ණය සේවාකරණය සඳහා වෙන් කෙරේ.

  1. අයවැය හිඟය

2026 වසරේ අයවැය හිඟය 5.2%ක් දක්වා අඩු කර ගත හැකි වූ බව ජනාධිපති අනුර කුමාර දිසානායක අයවැය යෝජනා ඉදිරිපත් කරමින් පැවසීය.

එහිදී ඔහු ප්‍රකාශ කළේ, 2030 වසර වන විට රාජ්‍ය ණය 87%කින් අඩු කර ගැනීමට අපේක්ෂා කරන බව ය.

  1. මහපොළ ශිෂ්‍යාධාරය රු. 2500කින් වැඩි කෙරේ

මහපොළ ශිෂ්‍යධාර යටතේ ලබා දෙන මාසික දීමනාව රුපියල් 2500කින් වැඩි කිරීමට යෝජනා කෙරිණි.

ඒ අනුව ලබන වසරේ ජනවාරි මස සිට මහපොළ මාසික දීමනාව රුපියල් 10,000ක් බවට ඉහළ දැමීමට යෝජිත ය.

  1. අඩු ආදායම්ලාභී පවුල්වල උසස් අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් මාසික දීමනාවක්

අඩු ආදායම්ලාභී පවුල්වල උසස් අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් මාසිකව රු. 5000ක් ලබා දීමට යෝජනා කෙරිණි.

  1. වතු කම්කරුවන්ගේ වැටුප

වතු කම්කරුවන්ගේ වැටුප රු. 1550 දක්වා ඉහළ දැමීමට යෝජනා කරන බව කී ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේ, පැමිණීමේ දිරි දීමනාවක් ලෙස තවත් රු. 200ක් රජයෙන් ගෙවන බව ය.

ඔහු ප්‍රකාශ කළේ, ඒ අනුව, වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු. 1750ක් දක්වා ඉහළ යන බව ය.

  1. මාධ්‍යවේදීන්ට සහන

මාධ්‍යවේදීන්ට උසස් අධ්‍යාපනය ලැබීම සඳහා ශිෂ්‍යත්ව ලබා දෙන බවත්, මහල් නිවාස පහසුකම් සලසන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේ ය.

  1. රාජ්‍ය සේවයට ආබාධ සහිත ප්‍රජාව

රජයේ සේවය සඳහා බඳවා ගැනීම්වලදී 3%ක ප්‍රතිශතයක් ආබාධ සහිත ප්‍රජාවෙන් බඳවා ගැනීමට යෝජනා කෙරිණි.

  1. රාජ්‍ය සේවකයින්ට ප්‍රතිලාභ

රාජ්‍ය අංශය සඳහා 2025 සිදුකරන ලද වැටුප් සංශෝධනවලට අනුව දෙවන අදියර ක්‍රියාත්මක කිරීමට රුපියල් බිලියන 110ක ප්‍රතිපාදන වෙන් කෙරේ.

ඒ අනුව, 2026 ජනවාරි මාසයේ සිට සියලු ම රාජ්‍ය අංශයේ සේවකයින්ට මෙම වැටුප් ගෙවීමට කටයුතු කෙරේ.

මේ අතර, රජයේ සේවකයින්ට ලබා දුන් දේපළ ණය යෝජනා ක්‍රමය, නව ව්‍යූහයක් යටතේ රුපියල් ලක්ෂ 50ක් දක්වා ණය ලබා ගැනීමට හැකි වන පරිදි සක්‍රීය කෙරේ.

එහිදී පළමු ලක්ෂ 30 දක්වා 4%ක පොළී සහනයක් සහ රුපියල් ලක්ෂ 30 සිට 50 දක්වා 2%ක පොළී සහනයක් ලබා දීම සඳහා රුපියල් මිලියන 500ක් ලබා දීමට යෝජනා කෙරේ.

  1. ජ්‍යෙෂ්ඨ පුරවැසි ඉතුරුම්

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම්වලට 15%ක් පමණ අමතර පොළියක් ලබා දී තිබුණ ද 2022 සහ 2023 වසරවල ඒ වෙනුවෙන් බැංකුවලට ගෙවිය යුතුව තිබූ නමුත් මේ දක්වා නොගෙවූ හිඟ මුදල් පියවා දමනු ඇත.

ඒ සඳහා රජය දැරිය යුතු පොළියෙන් (රජයේ දායකත්වයෙන්), නොගෙවා තිබූ රුපියල් මිලියන 10,000ක් 2025 වසරේ දැනටමත් ගෙවා ඇති අතර, ඉතිරි රුපියල් මිලියන 45,700ක හිඟ මුදල ද මෙම වසරේ දී ම සම්පූර්ණයෙන් ගෙවා දැමීමට කටයුතු කෙරේ.

  1. වාහන අලෙවියේදී සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද අය කර ගැනේ

වාහන අලෙවියේදී අය කරන සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද නිසි පරිදි අය කර ගැනීමක් සිදු නොවන බවක් නිරීක්ෂණය වන බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

එහෙයින්, ආනයනික අවස්ථාවේදී හෝ නිෂ්පාදනය කර විකිණීමේදී සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද අය කර, පසු අලෙවිකරණ අවස්ථාවලදී මෙම බද්ද නිදහස් කිරීමට යෝජනා කෙරිණි.

මෙය 2026 අප්‍රේල් මස සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ.

  1. විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට සහන

විදෙස්ගත ශ්‍රමිකයින් සඳහා සහන පොළියට නිවාස ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට යෝජිත ය.

එමෙන් ම, විදෙස්ගත ශ්‍රමිකයින් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් හඳුන්වා දීමට ද යෝජනා කෙරිණි.

  1. අධිවේගී මාර්ග සංවර්ධනය

සමස්ත මාර්ග සංවර්ධනයට 2026 වසර සඳහා රුපියල් මිලියන 342,000ක් වෙන් කර ඇති බවත්, එහිදී පහත දැක්වෙන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට යෝජිත ය.

මධ්‍යම අධිවේගී මාර්ගය – පළමු අදියර

මේ වන විට අතරමග නවතා තිබු අධිවේගී මාර්ග අතරින් විශේෂයෙන් මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත-මීරිගම කොටස ඉදි කිරීම සඳහා මූල්‍ය පහසුකම් සපයා ගැනීම පිළිබඳව ද තීරණයකට එළඹී ඇති අතර කඩවත-මීරිගම අධිවේගී මාර්ග කොටසේ සංවර්ධන කටයුතු සඳහා 2026 වසර සඳහා රුපියල් මිලියන 66,150 ක් වෙන් කර තිබේ.

මධ්‍යම අධිවේගී මාර්ගය – තුන් වන අදියර

මධ්‍යම අධිවේගී මාර්ගයේ පොතුහැර සිට ගලගෙදර දක්වා වන තෙවන අදියරෙහි පොතුහැර සිට රඹුක්කන දක්වා කොටසේ ඉදිකිරීම් 2027 වර්ෂයේ මුල් කාර්තුවේ අවසන් කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා රුපියල් මිලියන 10,500 ක් වෙන් කර ඇත. තවද, එම අදියරෙහි රඹුක්කන ගලගෙදර කොටසෙහි ඉදිකිරීම් කටයුතු රාජ්‍ය මූල්‍ය අවකාශය කෙරෙහි ද අවධානය යොමු කරමින් දේශීය අරමුදල් යටතේ ආරම්භ කිරීමට යෝජනා කෙරේ. ඒ සඳහා, මාර්ග සංවර්ධන අධිකාරිය ලබාගෙන ඇති ණය මුදලින් ඉදිරි වර්ෂයන්හිදී ගෙවිය යුතු ණය මුදලෙහි කොටසක් මෙම වසර තුළදී ගෙවා අවසන් කිරීම නිසා ඉදිරි වර්ෂයේදී ඉතිරි වන ප්‍රතිපාදන සහ තවත් අතිරේක ප්‍රතිපාදනයක් ද ඇතුළුව රුපියල් මිලියන 20,000ක ප්‍රතිපාදනයක් සලසා දීමට යෝජනා කෙරිණි.

කටුගස්තොට – ගලගෙදර මාර්ග කොටස

එමෙන් ම, කටුගස්තොට සිට ගලගෙදර දක්වා වන මාර්ග කොටස ද පුළුල් කිරීමට අවශ්‍ය අධ්‍යයන කටයුතු ද ලබන වසරේ ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. එසේ ම මහනුවර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ඉදිකිරීමට සමගාමීව මහනුවර නගරය වෙත ප්‍රවේශ වන මාර්ග කිහිපයක් පුළුල් කිරීම සහ වැඩි දියුණු කිරීමට මෙවර අයවැයෙන් ප්‍රතිපාදන සලසා ඇති අතර එමඟින් මහනුවර නගරයේ රථවාහන තදබදය යම් පමණකට අඩු කිරීමට අපේක්ෂා කෙරේ.

කුරුණෑගල – දඹුල්ල යෝජිත අධිවේගී මාර්ගය

කුරුණෑගල – දඹුල්ල යෝජිත අධිවේගී මාර්ගය සඳහා ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු අවසන් කිරීම සඳහා රුපියල් මිලියන 1,000ක් වෙන් කෙරේ.

රුවන්පුර අධිවේගී මාර්ගය කහතුඩුව සිට ඉංගිරිය දක්වා පළමු කොටස

රුවන්පුර අධිවේගී මාර්ගයේ කහතුඩුව සිට ඉංගිරිය දක්වා කිලෝ මීටර් 25ක අධිවේගී මාර්ග කොටසේ ඉදිකිරීම් සඳහා ඉඩම් අත්පත් කර ගැනීමට රුපියල් මිලියන 1,500ක් වෙන් කෙරේ.

  1. රාජ්‍ය සේවයට සේවකයින් 75,000ක් බඳවා ගැනේ

රාජ්‍ය සේවයට 75,000කට ආසන්න පිරිසක් බඳවා ගැනීමට අනුමැතිය ලබා දී තිබේ.

අත්‍යවශ්‍ය රාජ්‍ය සේවාව පවත්වාගැනීම සඳහා සිටිය යුතු තාක්ෂණික නිලධාරීන්, නීතිය බලාත්මක කිරීමේ නිලධාරීන්, ආදායම් නිලධාරීන් වැනි තනතුරු මීට ඇතුළත් වේ.

leave a reply