Breaking News

මහජනතාව මුහුණ දෙන පීඩාවන්ට හා මර්දනයට එරෙහිව කළ යුත්තේ කුමක් ද? වෘත්තීය සමිති නායකයෝ සාකච්ඡා කරති !

ආර්ථික අර්බුදය හා අසාර්ථක පාලනය හමුවේ මහජනතාව මුහුණ දෙන පීඩාවන්ට හා මර්දනයට එරෙහිව කළ යුත්තේ කුමක් ද? යන මැයෙන් සාකච්ඡාවක් ඊයේ (29 දා) ලංකා වෙළඳ, කාර්මික සහ පොදු කම්කරු සංගම් (CMU) ශාලාවේ දී පැවැත්විණි.ඒ සඳහා ගොවි, ධීවර, ගුරු, ඇතුළු කම්කරු වෘත්තීය සමිති හා බහුජන සංවිධාන නියෝජනය කරමින් නියෝජිතයන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

මෙහි දී වර්තමාන ආර්ථික අර්බුදයේ මූලයන් සම්බන්ධයෙන් විශ්ලේෂණාත්මක පැහැදිලි කිරීමක් විගණක පරීක්ෂක සේවා සංගමය නියෝජනය කරමින් පැමිණ සිටි එච්.එම්.කේ හේරත් සහෝදරයා විසින් කරන ලදි. ඒ සඳහා මෙරට ආර්ථිකයේ සහ නිෂ්පාදනයේ හැසිරීම් හා සම්බන්ධ දත්තයන් යොදා ගනිමින් එය පසුගිය කාලය තුළ වෙනස් වීමට භාජනය වීමත්, එකී වෙනස් වීම් වර්තමාන ආර්ථික අර්බුදය තෙක් පැමිණීම කෙරෙහි හේතු වූ බව විශ්ලේෂණාත්මකව පැහැදිලි කළේය. ඊට අමතරව ආර්ථික අර්බුදය හමුවේ ජනතාව පීඩාවට පත්ව තිබෙන මොහොතක නීතියේ ආධිපත්‍ය, අධිකරණයේ ස්වාධීනත්වය, මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි ආණ්ඩුව විසින් බලපෑම් කරමින් ජනතා නැගිටීම් මර්දනය කිරීමට කටයුතු කරමින් සිටින බවත්, එමගින් මෙම අර්බුදයේ සැබෑ මහුණත සැඟවීමට කටයුතු කරන බවත් ඔහු කියා සිටියේ ය.

ඉන් අනතුරුව, පැමිණ සිටි අනෙකුත් වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන නායකයින් සිය අදහස් දක්වන ලදි. ඒ අනුව ලං.වී.ම නව සේවක සංගමයේ ලේකම් ප්‍රියන්ත වික්‍රමසිංහ සහෝදරයා කියා සිටියේ මේ සියලු ප්‍රශ්නවලට විසඳුමක් ලෙස IMF නිර්දේශ ක්‍රියාත්මක කිරීම පාලකයන් විසින් යෝජනා කරන මොහොතක වෘත්තිය සමිති ව්‍යාපාරය ලෙස අප වඩා අවධානයෙන් පසු විය යුතු බවයි. මන්ද ග්‍රීසිය ආර්ථික අර්බුදයට විසඳුමක් ලෙස IMF යෝජනා ක්‍රියාත්මක කිරීමේ අතුරු ඵලයක් ලෙස එය එරට කම්කරු පන්තිය සහ වෘත්තීය සමිති ව්‍යාපාරය බිඳ වට්ටනන්නට සමත් වූ බව සිහි තබා ගත යුතු සේම, මෙරට වෘත්තිය සමිති ව්‍යාපාරය ද අවධානයෙන් සිටිය යුතු මොහොතක් IMF යෝජනා ඉදිරියේ මතු වන බව ඔහු පැහැදිලි කළේ ය. කම්කරු අරගල මධ්‍යස්ථානය නියෝජනය කරමින් මෙහි පැමිණ සිටි දුමින්ද නාගමුව සහෝදරයා ප්‍රකාශ කළේ වත්මන් මොහොත මෙරට වෘත්තිය සමිති ඉතිහාසය වෙත තීරණතාත්මක මොහොතක් වන බැවින් වෘත්තීය සමිති ඒකරාශී වූ දැවැන්ත වැඩපිලිවෙලක් නිර්මාණය කිරීමෙන් පමණක් මෙම මොහොත ජය ගත හැකි බවයි. ඒ සඳහා වෘත්තීය සමිති ව්‍යාපාරය පුළුල් ලෙස සංවිධානය වීමේ වැදගත්කම මෙහි දී පෙන්වා දෙන ලදි. ලංකා වෙළඳ, කාර්මික සහ පොදු කම්කරු සංගමයේ ලේකම් සිල්වෙස්ටර් ජයකොඩි සහෝදරයා කියා සිටියේ මෙම අර්බුදය විහිළුවක් ලෙස සමාජයට මුදා හැරීමේ අවධානමින් මිදී යථාර්ථයක් ලෙස බාර ගැනීමට සමාජය මෙහෙය විය යුතු බවයි. එහි නියමු කාර්යය වෘත්තීය සමිති ව්‍යාපාරය වෙත පැවරී ඇති බව හෙතෙම අවධාරණය කළේ ය. ප්‍රොටෙක්ට් සංගමයේ ප්‍රධාන ලේකම් කල්ප මධුරංග සහෝදරයා අදහස් දක්වමින් කියා සිටියේ වෘත්තීය සමිති ව්‍යාපාරය පසුගිය කාලය තුළ දේශපාලනික පදනමක් නොමැති තත්ත්වයක් හා නව ලිබරල් අදහස් දරණ කණ්ඩායම් හා එකතු වීම ඔස්සේ දියාරු වීමකට ලක් වූ බවක් පෙනෙන්නට තිබුණත්, නැවතත් ශක්තිමත්ව නැගී සිටීමට, මේ මොහොතේ අවස්ථාව උදා වී ඇති බවයි. ඒ සඳහා වෘත්තීය සමිති විසින් දැවැන්ත වැඩ පිළිවෙලක් නිර්මාණය කළ යුතුය යන්න යෝජනාව ද ඔහු ඉදිරිපත් කළේ ය. එලෙස ම 25% අධිබාර බද්ධ ඔස්සේ කොල්ල කෑමට නොහැකි වූ කම්කරු සමාජ ආරක්ෂණ අරමුදල් නව වටයකින් කොල්ල කෑමට ආණ්ඩුව සූදානම් වන බවත් හේ අවධාරණය කළේය.

මෙම අවස්ථාවට පැමිණ සිටි සියලු ම වෘත්තීය සමිතිවල අවසාන යෝජනාව වූයේ මෙම අර්බුදයෙන් කම්කරුවන් හා මහජනතාව මුදවා ගැනීම සඳහා වෘත්තීය සමිති වෙත විශාල කාර්යය භාරයක් පැවරෙන බවින්, ඒ සඳහා වෘත්තීය සමිති ඒකරාශී වූ දැවැන්ත වැඩපිලිවෙලක් ඉතා කඩිනමින් නිර්මාණය කළ යුතුය යන්නයි. එහි දී අත්‍යවශ්‍ය භාණ්ඩවල අඛණ්ඩ මිල ඉහළ යාමට එරෙහිව, IMF කොන්දේසිවලට එරෙහිව සහ කම්කරු වැටුප් වැඩි කර ගැනීම ආදී වූ අරමුණු ඉලක්ක කොට ගනිමින් මෙම වැඩ පිළිවෙල නිර්මාණය විය යුතු බවත් ඒ සඳහා මහජන දැනුවත් කිරීම්, උද්ඝෝෂණ සහ වැඩවර්ජන ආදී ක්‍රියාකාරකම් දක්වා පුළුල් විය යුතු බවත් වෘත්තීය සමිති නායකයන්ගේ යෝජනාව විය.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව පැමිණ සිටි වෘත්තීය සමිති නායකයෝ මාධ්‍ය සාකච්ඡාවකට ද පෙනී සිටියහ.

– ප්‍රොටෙක්ට් සංගමය-

leave a reply