Breaking News

ආණ්ඩුව මන්නාරම ගැන කියපු බොරුවටල ජනතාව රවටන්න බැරිවෙයි

මන්නාරම සුළංවිදුලි බලාගාර ව්‍යාපෘතිය තවදුරටත් ක්‍රියාත්මක නොකරන්නේ යැයි පැවසුව ද ආණ්ඩුව, වචන හරඹයක් කර ජනතාව රැවටීමට සූදානම් වන්නේ යැයි ජන අරගල ව්‍යාපාරයේ ජාතික විධායක සභික වසන්ත මුදලිගේ පවසයි.

ඔහු මෙම අදහස් පළ කළේ මන්නාරම සුළං විදුලි බලාගාර ඉදිකිරීම අත්හිටවූ බවට කැබිනට් මණ්ඩලය කළ ප්‍රකාශය සහ එහි සැබෑව අනාවරණය කිරීම සඳහා අද (06 ) ජන අරගල ව්‍යාපාරය විසින් කැඳවන ලද විශේෂ මාධ්‍ය හමුවේ දී ය.

එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක් වූ වසන්ත මුදලිගේ පැවසුවේ ” ආණ්ඩුව කියලා තියෙන්නේ ජනතාවගේ සහ පාරිසරික ගැටලු මූලික කරගෙන තවදුරටත් මන්නාරමේ නව ව්‍යාපෘති පටන් ගන්නේ නෑ කියලා.

එතකොට මේ කියන වචන අස්සෙ ම තියනවා දැනට කරගෙන යන බලාගාර ව්‍යාපෘති ඒ විදිහට ම ක්‍රියාත්මක කරනවා කියන එක. ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශකවරයා මේ ගැන කොළඹ දී මාධ්‍යට ප්‍රකාශ කරන වෙලාවෙ ම අන්න මන්නාරමට ගිහිල්ලා බලශක්ති අමාත්‍යාංශය ජනතාවට කියනවා දැනට ගහන්න ඉන්න ටර්බයින් 14 ගහනවා. එතනින් එහාට ව්‍යාපෘති කරන්නේ නෑ කියලා.

මේ ටර්බයින් 14 ගහන එකට විරුද්ධව තමයි ජනතාව මෙච්චර ආණ්ඩුව එක්ක පොරබදන්නේ. මේ ටර්බයින් 14 නිසා තමයි මන්නාරම පක්ෂි පර්‍යටන කලාපය විනාශ වෙන්නේ. මේ ව්‍යාපෘතිය නිසා තමයි මන්නාරම් දූපතට හානි වෙන්නේ. ඒ නිසා අනේ අපිට මේ ටික කරගන්න දෙන්න මෙතනින් එහාට අපි මුකුත් කරන්නෑ වගේ සුරංගනා කතා කියලා ආණ්ඩුව මේ කරන්න යන බොරුව මේ රටේ ජනතාව තේරුම් ගන්න ඕන.

මන්නාරම ජනතාවගේ තීරණය

මන්නාරම් දුපතේ සුළං විදුලි ව්‍යාපෘති සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ අලුත්ම තිරණය විශ්වාස කොට සිය අරගලය අත් හැරීමට සුදානම් නොමැති බව මන්නාරම් වාසීන් විසින් අවධාරණය කර තිබේ.

පරිසරයටත්, ජන ජීවිතයටත් විනාශකාරී ලෙසින් මන්නාරම් දුපතේ ඉදිකෙරෙන සුළං බලාගාර වලට විරෝධය පාමින් දින සීයකට ආසන්න කාලයක් අරගලයේ යෙදි සිටින දුපත් වාසීන් ආන්ඩුවට දැඩිව කියා සිටින්නේ මේ වන විටත් දුපතේ ක්‍රියාත්මක වෙමින් පවතින සුළං විදුලි ව්‍යාපෘති වහාම හකුලා ගන්නා ලෙසයි.

මන්නාරම් දුපතේ සුළං විදුලි ව්‍යාපෘති සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ප්‍රශ්න කරන මන්නාරම පුරවැසි කමිටුවේ සභාපති එස්. මාර්කස් පියතුමා නොවැම්බර් 05 වැනි බදාදා මාධ්‍ය හමුවක් කැදවමින් අවධාරණය කර තිබුනේ දැනට ක්‍රියාත්මක කරමින් පවතින සුළං ටර්බයින මාලාවේ වැඩ සහ දුපතේ වැලි කැනීම් නතර කරන තෙක් මන්නාරම් වැසියන්ගේ අරගලය අත් හැරීමට සුදානම් නොමැති බවයි.

“දැනට ක්‍රියාත්මක වන සුළං ටර්බයින 14 ක වැඩ නතර නොකරන බව පැහැදිලිව ප්‍රකාශ කරලා තියනවා. එම නිසා මෙම අරගල භුමියේ සිට අප කියන්නේ මේ අරලගය නතර වෙන්නේ නෑ. අදාළ සුළං ටර්බයින 14 ඉවත් කර, දැනටමත් ඉදිකර ඇති සුළං ටර්බයින නිසා ඇති වන බලපෑම්වලට විසඳුම් ලබා දෙන්න කියලත්, මන්නාරම දිස්ත්‍රික්කයේ වැලි කැණීමක් සිදු නොවන බවට සහතිකයක් ලබා දුන්නොත් විතරයි මේ අරලගය නතර කරන්නේ. “

leave a reply