Breaking News

කරාපිටිය වෛද්‍ය පීඨයේ සිසුන් සය දෙනෙකු කෝව්ඩ් ආසාදිතයන් වීම සම්බන්ධවයි.

රුහුණ විශ්වවිද්‍යාලයට අයත් කරාපිටිය වෛද්‍ය පීඨයේ සිසුවියන් සිව් දෙනෙකුට සහ සිසුන් දෙදෙනෙකුට කෝවිඩ් 19 ආසාදනය වී ඇත. අවසන් වසර සිසුන් දෙදෙනෙකු නොවැ.03 වන දා ද, තෙවන වසර සිසුන් දෙදෙනෙකු සහ සිසුවියන් දෙදෙනෙකු නොවැ.06 දිනයේ ද PCR ප්‍රතිඵල අනුව එලෙස ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත. මේ වන විට වෛද්‍ය සිසුන් රැඳී සිටින එක් නේවාසිකාගාරයක් සම්පූර්ණයෙන්ම හුදකලා කර ඇති අතර අනෙක් නේවාසිකාගාරවල මහල් කිහිපයක සිසුන්, සිසුවියන් නිරෝධායනය කර සිටී. විශේෂයෙන් අවධානය යොමු කළ යුතු කරුණ වන්නේ මෙම සිසුන් කෝවිඩ් 19ට නිරාවරණය වූයේ කෙසේදැයි තවමත් නිශ්චිතව හඳුනාගෙන නොමැතිවීමයි.

මින් පෙරද කරාපිටිය ශික්ෂණ රෝහලට පැමිණි කොරෝනා ආසාදිත රෝගී කාන්තාවකට නිරාවරණය වීම හේතුවෙන් වෛද්‍ය සිසුන් සහ සිසුවියන් 11 දෙනෙකු පීඨය තුළම නිරෝධායනයට ලක් කළ අතර පසුව සිදු කළ PCR පරීක්ෂණ මගින් ඔවුන් ආසාදනය වී නොමැති බව තහවුරු විය. නමුත් මෙම සිසුන් සය දෙනාට එවැනි සම්බන්ධයක් හෝ නොමැති අතර වසර කණ්ඩායම් දෙකකට අයත් සිසුන් වීම තවත් වැදගත් කරුණකි.

වසංගත අවදානම හේතුවෙන් විශ්වවිද්‍යාල වසා දැමූ තත්ත්වයක් පැවතියද වෛද්‍ය පීඨවල අවසන් වසර සිසුන් සඳහා සායනික පුහුණු අඛණ්ඩව පැවැත්වෙන අතර නේවාසිකාගාරවල රැඳී සිටිමින් ඔවුන් සායනික කටයුතු සඳහා සම්බන්ධ වේ. එහිදීද කරාපිටිය වෛද්‍ය පීඨයේ පළමු වසර හැර අනෙක් ශිෂ්‍ය කණ්ඩායම් පහම පීඨය තුළ රැඳී සිටී. මේ වන විටත් කරාපිටිය වෛද්‍ය පීඨයේ නේවාසිකගාරවල 600කට ආසන්න සිසු සිසුවියන් ප්‍රමාණයක් සිටින අතර, පීඨයෙන් පරිබාහිරව බෝඩිම් වල 200ක පමණ සිසුන් පිරිසක් රැඳී සිටිති. එහි ඇති අවදානම පිළිබඳව උපකුලපතිවරයා, පීඨාධිපතිවරයා ඇතුළු බලධාරීන් නොතකාහැර ඇති බව පැහැදිලිය. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, රුහුණ විශ්වවිද්‍යාලයේ පරිපාලනය ඇතුළු බලධාරීන් මෙහිලා කටයුතු කර තිබෙන්නේ ඉතා වගකීම් විරහිතව වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස සිසුන් විශාල පිරිසක් අද අවදානමට පාත්‍ර වී තිබේ.

වසංගත අවදානමක් රට පුරා පැතිර යන මොහොතක සායනික පුහුණුව සඳහා දෛනිකව රෝහල්වලට යන වෛද්‍ය සිසුන් කෝවිඞ් රෝගීන් හා සම්බන්ධ වීමේ ප්‍රවනතාව ඉතා ඉහළය. ඔවුන් බොහෝ දෙනා පොදුවේ නේවාසිකාගාර පරිහරණය කරමින් එකට වාසය කරති. විවිධ අවශ්‍යතා සපුරාගැනීම සඳහා පොදු සමාජය හා ගැටෙති. පුහුණුව ලබන රෝහලේ විවිධ වාට්ටුවලට ගොස් රෝගීන් හා සමීපව ගණුදෙනු කරති. විශේෂයෙන්ම වසංගත තත්ත්වයේ වර්ධනයත් සමඟ දැන් සෞඛ්‍ය කාර්ය මණ්ඩල පවා වසංගතයට ගොදුරු වෙමින් පවතී. සෞඛ්‍ය කාර්යමණ්ඩල සාමාජිකයන් ආසාදිතයන් බවට තහවුරු වූ පුවත් පසුගිය කාලය පුරා මාධ්‍ය මගින් වාර්තා කරන ලදී. එවන් වටපිටාවක අධ්‍යයන කටයුතු සඳහා විශ්වවිද්‍යාලයේ රැඳී සිටින සහ විශේෂයෙන්ම සායනික පුහුණු සඳහා රෝහල් කරා යන ශිෂ්‍යයන්ගේ ආරක්ෂාව සම්බන්ධව වගකීමක් සහිතව බලධාරීන් කටයුතු කළ යුතුය. වසංගත තත්ත්වයක් පැතිර යද්දී, විශේෂයෙන් වෛද්‍ය සිසුන්, සම සෞඛ්‍ය පීඨවල සිසුන් රෝහල් තුළ කටයුතු කිරීම නිසා සෘජු අවදානමකට මුහුණ දෙන බව බලධාරීන් නොදැනුවත් යැයි කිව නොහැකිය. එහෙයින් ඔවුන්ගේ අධ්‍යයන කටයුතු අවසන් කිරීමට මෙන්ම එසේ කිරීමට යාමේ දී ඔවුන්ගේ සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධවද වගකීම් සහගත වන්නට බලධාරීන්ට හැකි විය යුතුය. නමුත් රුහුණ වෛද්‍ය පීඨය ආශ්‍රිත සිදුවීමෙන් පෙනී යන්නේ කෙසේ හෝ අධ්‍යයන කටයුතු අවසන් කොට සිසුන් පිටත් කිරීම කෙරෙහි මිස ඔවුන්ගේ සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධව අබමල් රොණක තරම් වගකීමක් විශ්වවිද්‍යාල පරිපාලනයත්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවත් ඇතුළු බලධාරීන් භාරගෙන නොමැති බවයි. කොළඹ වෛද්‍ය පීඨයේ සිසුන් කිහිප දෙනෙකුද මින් දින කිහිපයකට පෙර ආසාදිතයන් බවට තහවුරු විය. එහිදීද බලධාරීන් කටයුතු කර තිබුණේ ඉතා වගකීම් විරහිත ලෙසය.

ප්‍රතිකාර කටයුතුවල නිරත සෞඛ්‍ය කාර්යමණ්ඩල සඳහා අනිවාර්යයෙන්ම සෞඛ්‍යාරක්ෂිත ඇඳුම් (PPE) ලබාදිය යුතු අතර රජය විසින් එම වගකීම පැහැර හැර සෞඛ්‍ය කාර්යමණ්ඩල අවදානමකට ඇද දමා ඇති බව අ.වි.ශි.බ.ම විසින් මින් පෙර ද ජනාධිපතිවරයාගේ පටන් සියලු බලධාරීන් දැනුවත් කර තිබේ. නමුත් ඒ පිළිබඳව කිසිඳු තැකීමකින් තොරව මේ මොහොතේත් කටයුතු සිදු වෙමින් තිබෙන අතර සෞඛ්‍ය කාර්යමණ්ඩලවලට ප්‍රතිකාර කටයුතුවලට අමතරව අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත පළඳනා (PPE) සකසා ගැනීමටත් කාලය වැය කිරීමට සිදුව තිබේ. 2021 අයවැය තුළින් ද සෞඛ්‍ය ප්‍රතිපාදන රු. බිලියන 20 ක් කප්පාදු කර ඇති අතර වසංගත තත්ත්වය මෙතරම් උග්‍රව පැතිර යන මොහොතකත් රජය වගකීම් විරහිතව කටයුතු කරන බවට තවත් කරුණු අවශ්‍ය නැත. වෛද්‍ය පීඨවල සායනික කටයුතු සඳහා සම්බන්ධ වන සිසුන් අනාරක්ෂිත වන්නට මෙයද ප්‍රබල හේතුවක් වී තිබේ. කරාපිටිය වෛද්‍ය පීඨයේ සිසුන්ට ගතවූ මුළු කාලය පුරාවටම අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත ඇඳුම් කිසිවක් පරිපාලනය මගින් ලබාදී නැත. ඒවා සිසුන් මැදිහත්ව සකසාගෙන, හෝ මිලදීගෙන තිබේ. රජය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, රුහුණ විශ්වවිද්‍යාලයේ පරිපාලනය සිසුන්ගේ සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධව අංශු මාත්‍රයක තැකීමකින් තොරව කටයුතු කර ඇති බව එමගින්ම පැහැදිලි වේ.

මෙය කරාපිටිය වෛද්‍ය පීඨයට පමණක් සීමා වූ ගැටලුවක් නොවේ. එක්දිනක් පමණක් භාවිතා කළ හැකි ඉටි කොළවලින් සැකසූ සෞඛ්‍යාරක්ෂිත ඇඳුමක මිල වෙළඳපොලේ රු.750ක් වන අතර ඒවා දෛනිකව මිලදී ගැනීමට ගියේ නම් සිසුන්ට එක් මාසයකට අවම රු. 22500ක් වැය කිරීමට සිදුවේ. එය කිසිසේත් සිසුන්ට දරාගත හැක්කක් නොවන අතර ඒ හේතුවෙන් වෛද්‍ය පීඨවල හා සම සෞඛ්‍ය පීඨවල බොහෝ සිසුන්ට එකම ඇඳුම සෝදා දින ගණනක් පරිහරණය කිරීමට සිදුව තිබේ. මේ සියල්ලේ ප්‍රතිඵලයක් ලෙස දැන් සිසුන් කෝවිඞ් 19 ට නිරාවරණය වී ඇති අතර කරාපිටියේ පමණක් සිසුන් සය දෙනෙක් ආසාදිතයන් බවට පත්ව තිබේ.

මෙම තත්ත්වයට සෑම වෛද්‍ය පීඨයකම, සෑම සමසෞඛ්‍ය පීඨයකම සායනික කටයුතු සඳහා සම්බන්ධවන සිසුන්ට මුහුණ දෙන්නට සිදුව තිබේ. එම සියලු සිසුන්ට කටයුතු කිරීමට සිදුව ඇත්තේ ඉතා අනාරක්ෂිතව වන අතර ඒ පිළිබඳව සම්පූර්ණ වගකීම රජය විසින් භාරගත යුතුය. නමුත් පෙනෙන්නට තිබෙන්නේ රජය වෛද්‍ය සිසුන්, සම සෞඛ්‍ය සිසුන් ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩලවල වගකීම තබා දිනකට රෝගී මරණ කිහිපයක්ම වාර්තාවන තත්ත්වයක් පවතින මොහොතකත් වසංගතය පිළිබඳව කිසිඳු තැකීමක් නොකර අත්තනෝමතිකව කටයුතු කරන බවයි. රජය කරන්නේ මෙවන් සිදුවීම් පිලිබඳ තොරතුරු ජනතාවගෙන් වසන් කොට සඟවා තබා ගැනීමට උත්සාහ කිරීම පමණි. එහෙයින් දැන්වත් ජන ජීවිත අනතුරේ නොදමා වසංගතය පිළිබඳව වගකීම් සහගතව කටයුතු කරන ලෙස සියලු ජනතාව විසින් රජයට බල කර සිටිය යුතුය. සෞඛ්‍යයට අයවැයෙන් ප්‍රතිපාදන කපා දැමීම නොව මේ මොහොතේ වගකීම් සහගතව කටයුතු කරන රජයක් විසින් කළ යුත්තේ තවත් වැඩිපුර ප්‍රතිපාදන වෙන් කොට වසංගතයෙන් ජනතාව ආරක්ෂා කරගැනීමට කටයුතු යෙදීමයි. ජනතාව ආරක්ෂා කිරීම කෙසේ වෙතත් අවම වශයෙන් වෛද්‍ය සිසුන්ට මුව ආවරණයක් ලබාදීමටවත් රජය අසමත්ව සිටී. එහෙයින් වහාම සියලු වෛද්‍ය පීඨවල, සියලු සම සෞඛ්‍ය පීඨවල සිසුන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කළ යුතු බවත් ඒ සඳහා වහාම මැදිහත් විය යුතු බවත් අප රජයට අවධාරණය කර සිටිමු.

leave a reply