Breaking News

වගකීම් විරහිත රාජ්‍යයක අසරණ වෙන ජනතාව 

සමන්සිරි හේරත්

කෑගල්ල උඩුමාගම ප්‍රදේශයේ පදිංචි ධම්මික බණ්ඩාර  නමැති පුද්ගලයා කොරෝනා සඳහා ආයුර්වේද ඖෂධයක් නිෂ්පාදනය කර ඇති බවට  ආරංචිය ජනතාවට ලබා දුන්නේ මෙරට මාධ්‍ය සහ  youtube canal පවත්වාගෙන යන මාධ්‍යවේදීන් කියාගන්නා පුද්ගලයන්  විසිනි.  කෙසේ  වෙතත් මේ පැණිය පිළිබඳ කතාබහක් පාර්ලිමේන්තුවේ පමණක් නොවෙයි මාධ්‍ය ඉදිරියේ සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි  පානය කිරීමෙන් ඒ පිළිබඳ ජනතාවට  බලාපොරොත්තුවක් ගෙනදෙන ක්‍රියාවලියක් සිද්ධ වුණා.

ලෝකය මෙතෙක් සොයාගෙන තියෙන corona එන්නත් ජනතාවගෙන් මුදල් අයකර ලබාදෙනවා නම්, එම  එන්නත් එදා වේල හොයාගෙන කන මිනිස්සුන්ට අරගෙන එන්නත් කර ගැනීමට නොහැකි තරම් මිලෙන් අධිකයි. අද නිල වශයෙන් ‍එක්සත් රාජධානිය ෆයිසර් එන්නත  රටේ තෝරාගත් ජනතාවගෙන් ලක්ෂ හතරකට ලබාදීමේ වැඩපිළිවෙළ ආරම්භ කළා.  එම  එන්නත නිපදවූ ෆයිසර් සමාගම මීට සති දෙකකට පමණ ඉහත ප්‍රකාශ කර තිබුණේ ඔවුන්ගේ මේ නිෂ්පාදනයේ මිළ මාත්‍රා දෙකක්  දළ වශයෙන් ඩොලර් 39.00 ක්  පමණ වන බවයි.  ඊට අදාළ අනෙකුත්  වියහියදම් එකතු වූ විට එහි  මිල ඉහළ යෑම නිසැකයි. මෙසේ ගත් කල රටේ බහුතරයක් ජනතාවට මේ බටහිර වෛද්‍ය විද්‍යාව විසින් සොයා ගන්නා ලද එන්නත්  රජය  මැදිහත් වී නොමිලේ ලබා දුන්නේ නැත්නම් ලබා ගැනීම දුෂ්කර කටයුත්තක් වනු ඇත .  ධම්මික බණ්ඩාර නැමැති මෙම පුද්ගලයා ප්‍රකාශ කරන තොරතුරුවලට අනුව  ඔහුගේ ඖෂධය සාර්ථක නම්  අපේ රටේ දුප්පත් මිනිසුන් ලද ජයග්‍රහණයක්. ඒ විතරක් නෙවෙයි ඒක ලෝකෙම හමුවේ රට ලබපු ජයග්‍රහණයක් බවට පත්වෙනවා.  නිසි  වැඩපිළිවෙළක් යටතේ මේ ක්‍රියාවලිය නිවැරදිව සිදු වුණා නම් අද මේ විඳින අපහාස, විවේචන සිද්ධ නොවෙන්නට ඉඩ තිබුණා.  නමුත් මේ ක්‍රියාවලිය ආරම්භයේ සිටම ධම්මික බණ්ඩාර නැමැති පුද්ගලයාගේ ප්‍රකාශ එකින් එක අරගෙන බැලූ විට  පැහැදිලිව පෙනෙන්න තිබෙන කාරණය තමයි  ඖෂධය නිසි පරීක්ෂණයකට භාජනය කර එහි ප්‍රතිඵල පිළිබඳව තක්සේරුවක් පිළිගත හැකි ආකාරයෙන් කර නොමැති බව.

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ අද සම්මන්ත්‍රණයකදී ප්‍රකාශ කර සිටින්නේ මේ බෙහෙත පිළිබඳව යම් සායනික පරීක්ෂණ ප්‍රමාණයක් කර තිබෙනවා, එය සාර්ථක බව ඔප්පු වී තිබෙනවා, නමුත් වැඩිදුර පරීක්ෂණ තවමත් කරමින් පවතිනවා කියා . එහි වාර්තාව ලැබෙන්නේ තව සතියකින් බව ඔහු පවසනවා. නමුත් මේ කියන ඖෂධයට   අදාල පිළිගත හැකි සහතිකයක් ලැබී නැහැ. බටහිර වෛද්‍ය විද්‍යාව පැත්තෙන්  හෝ  ආයුර්වේද වෛද්‍ය සහතිකයක් හෝ  පිළිගැනීමක් ලැබී නොමැත. ඒ අනුව ගත් කල මේ ඖෂධය තවමත් පිළිගත හැකි මට්ටමක නැති එය පානය කළ විට කොරෝනා සුවවිය හැකිය  යන්න කට වචනයෙන් කියන තැනක තමයි මේ ඖෂධයේ සහතික ත්ත්වය තියෙන්නේ.

මෙවන් වටපිටාවක් යටතේ අද ධම්මික බණ්ඩාර නැමැති මෙම ආයුර්වේද වෛද්‍යවරයා යයි කියා ගන්නා තැනැත්තා  ජනතාවට මේ පැණිය නොමිලේ ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. විශාල ජනකායක් එහි එක් රැස් වී සිටින අතර බොහෝ දෙනෙක්ට සැක මතු වී තිබෙනවා, එතැනින් නව කොරෝනා පොකුරක් නිර්මාණය වේවි කියා .  කෙසේ  වෙතත් සමාජ මාධ්‍ය හරහා පැන නැගුණු විරෝධය  හමුවේ  එම  ක්‍රියාවලිය හවස් වන විට නවතා දැමීමට  මැදිහත්වීමක් කර තිබෙනවා.

රජය මෙම පැණිය ප්‍රචලිත කිරීමේ පාර්ශවය නියෝජනය කරන අතර එහි වැදගත්ම කාර්යය වෙනුවෙන් පෙනී නොසිටිනවා . රාජ්‍ය මැදිහත්වීමක  පිළිගත් ක්‍රියා පටිපාටියකට යටත් නොකර  එක් එක් පුද්ගලයාට අවශ්‍ය ආකාරයට මේ  ක්‍රියාවලිය ඇතුලේ හැසිරෙන්නට ඉඩදී  තිබෙනවා . දැනට සිදුවී ඇති ක්‍රියාවලිය නිරීක්ෂණය කළ විට නිගමනයකට එළැඹිය හැක්කේ  මෙය ද එක්තරා විදිහක ජනතාව ඇන්දවීමේ ක්‍රියාවලියක් බවයි , එහි විශේෂත්වය වී තිබෙන්නේ   ඇන්ඳවීමේ ක්‍රියාවලියට රාජ්‍ය මැදිහත්වීමද ලබා දීමයි.

මෑතකාලීන මාධ්‍ය භාවිතාවන් පිළිබඳ ව අපි විමර්ශනය කරන විට පෙනී යන්නේ රටේ ජනතාව මිත්‍යාවේ හිර කර තබන්න  ක්‍රියාත්මක වෙන ප්‍රධාන පෙළේ මාධ්‍ය මාෆියාව දැනුවත් ක්‍රියාවලියක් අරගෙන යන බව සහ  මෙය ද එහිම කොටසක් ද යන්න නිසැක සැක ඇතිවෙන තැනකට  ගෙන ගොස් ඇති බව පෙනීමයි.  කොරෝනා වසංගතය අද පාලනය කළ නොහැකි තැනකට ගමන් කර තිබෙන තත්ත්වයක් තුළ ආණ්ඩුව පළමු කොරෝනා රැල්ලේ දී පාරම් බාපු ආකාරයට මේ අවස්ථාවේදී එය තමන්ගේ වාසියට යොදා ගැනීමට අවස්ථාව නැති නිසා ජනතාව අතරින් මතුවෙන විරෝධයේ  දිශාව වෙනස් කර නන්නත්තාර කිරීමට මෙවැනි උප්පරවැට්ටි යොදනවාද කියන අනුමානය අපට කළ හැකියි .

 පසුගිය කාලයේ හොර ජෝතිෂ වේදීන් රටට හඳුන්වා දුන්නේ සහ ප්‍රචලිත කලේ මාධ්‍ය එකතුවි . මෙවර ද කරන්නේ ජනතාව නොමඟ යැවීමේ ක්‍රියාවලියයි . ඉදින් හැම කෙනෙකුම ජීවිතයට ආදරේ බැවින්   වසක් විසක් වුවද මුලින්ම පානය කිරීමට පෙළඹෙන එක සාමාන්‍ය දෙයකි.

leave a reply