Breaking News

ආදරය කිරීම වරදක් ලෙස දකින ඉන්දියාව

ඉන්දියාව තුළ හින්දු ජාතිකවාදයේ නැගී ඒමත් සමඟ මුස්ලිම් විරෝධී ක්‍රියාමාර්ග දැඩි කර තිබේ. ඉන් එකක් වන්නේ ආගම් දෙකක පුද්ගලයන් දෙදෙනකු විවාහ වීම වළක්වමින් අලුතෙන් හඳුන්වා දුන් නව නීතියයි. මෙම නව නීතිය හින්දු අන්තවාදීන් විසින් හඳුන්වනු ලබන්නේ ‘ලව් ජිහාඩ්’ යන නමිනි. එම කණ්ඩායම් එකී යෙදුම උපයෝගී කරගනිමින් විවාහවීම මගින් හින්දු කාන්තාවන් ඉස්ලාම් දහමට හරවා ගනු ලබන මුස්ලිම් ජාතිකයන්ට චෝදනා කරයි.

හින්දු කාන්තාවක් ඉස්ලාම් ආගමට හරවා ගැනීමට තැත්කරන ලද බවට චෝදනා ලද මුස්ලිම් ජාතිකයෙක් ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් පොලිසිය විසින් පසුගිය සතියේ පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන්දියාව විසින් බලාත්මක කරන ලද එම නීතියට එරෙහිව විශාල විරෝධයක් පළවෙමින් ඇති අතර විවේචකයන් විසින් එය හඳුන්වනු ලබන්නේ “ඉස්ලාම් භීතිකාව” පදනම් කරගත් ක්‍රියාමාර්ගයක් හැටියටය. නමුත් භාරතීය ජනතා පක්ෂය එයින් අධෛර්යට පත්වී ඇති බවක් පෙනෙන්න නැහැ. එම පක්ෂයේ පාලනයේ යටතේ පවතින අනිත් ප්‍රාන්ත 4 තුළත් මෙම නීතිය බලාත්මක කිරීම ඔවුන්ගේ උත්සාහයයි.

නමුත් හින්දු ජාතිකයෙකු විසින් මුස්ලිම් කාන්තාවක විවාහ කරගැනීම හින්දු අන්තවාදීන් පෙන්වනු ලබන්නේ ආදරය ලෙසයි.

මෙහි මුලින් සඳහන් කරන ලද අත් අඩංගුවට ගනු ලැබීම, උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ බාරෙයිලි (Bareilly) දිස්ත්‍රික්කයේ පොලිසිය විසින් නිකුත්කරන ලද ට්විටර් පණිවුඩයක් මගින් තහවුරු කරනු ලැබ ඇත.

එම කාන්තාව මේ වසර මුලදී වෙනත් පුරුෂයකු සමඟ විවාහ වූ නමුත් ඇය මුස්ලිම් ජාතිකයා සමගත් ඇසුරක් පවත්වා ඇතැයි පැවසෙයි.

මේ සතියේ බදාදා (02 දෙසැම්බර්) අත්අඩංගුවට ගත් මුස්ලිම් ජාතිකයා දින දාහතරක කාලයක් සඳහා රැඳවුම් භාරයට යවනු ලැබ ඇත.

මුස්ලිම් – හින්දු ආදරය විස්තර කරන චිත්‍රපටිවලට පවා වාරණ
මෙවැනිම සිද්ධියක් සම්බන්ධයෙන් පසුගිය නොවැම්බර් මාසයේ දී ‘Netflix’ මාධ්‍ය ජාලයත් විවේචනයට ලක්විය. එම මාධ්‍ය ජාලය විසින් නිර්මාණය කරන ලද ‘A Suitable Boy’ නම් රූපවාහිනී වෘත්තාන්ත මාලාවට ඇතුළත් එක් දර්ශනයක දී කැමරාව කෝවිලක් පසුකරමින් පෙරට යද්දී හින්දු තරුණියක සහ මුස්ලිම් තරුණයකු සිප වැළඳගන්නා රූපරාමුවක් ද ඊට ඇතුළත් විය.

එම දර්ශනය ”ආගමික හැඟීම්”වලට හානිකර යයි කියාසිටි මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ ස්වදේශ කටයුතුභාර ඇමති නරෝත්තම් මිශ්‍රා ‘A Suitable Boy’ රූපවාහිනී වෘත්තාන්තයේ නිෂ්පාදකවරයාට සහ අධ්‍යක්ෂවරයාට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස සිය නිලධාරීන්ට නියෝග කළේය.

ආදරයට ඉඩක් නෑ
ඉන්දියාව තුළ පරමාදර්ශී විවාහ ලෙස සැලකෙන්නේ යෝජිත විවාහ , විෂමලිංගික විවාහ හා එකම ප්‍රජාව තුළ සිදුවන විවාහයනුයි. ඉන්දියාවේ සියලුම විවාහ වලින් 90% කට වඩා වැඩි ප්‍රමාණයක් යෝජිත විවාහ වේ. අන්තර් ආගමික විවාහ දුර්ලභ ය. එක් අධ්‍යයනයක් මගින් සඳහන් කර ඇති පරිදි ඒවා 2% ක් වැනි ඉතා කුඩා ප්‍රමාණයකි.

 

leave a reply