Breaking News

ආන්ඩුවේ ආරක්ෂාවට රු.බි 355ක් ජනතාවගේ සෞඛ්‍යයට කප්පාදු කළ රු.බි 159

ප්‍රථම Coved-19 ආසාදිතයා ලංකාවෙන්  වාර්තා වූ දා සිට  එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා වෙන්නේ අද දින.  අද මරණ තුනක් සිදු වෙනවා.  දීනපතා නව රෝගීන් රටේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වෙන්න පටන් අරන් තියෙනවා. ඔක්තෝම්බර්  27 වන දා වන විට රෝගීන්  හාරසියයකට වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇති බව මාධ්‍ය ප්‍රකාශ කර තිබුණා.

මේ අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබන පිරිස 4000 ඉක්මවා ගිහින් තිබෙන බවත්  එය ලංකාවේ රෝහල් ධාරිතාවෙන්  90.7 %   ප්‍රමාණයක් බව ගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානියා වන වෛද්‍ය සුදත් සමරසිංහ මහතා  26 වැනි දා පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා. එම මාධ්‍ය හමුවේ දීම  සෞඛ්‍ය අමාත්‍යංශයේ රසායනාගාර සේවා අංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලත් මහතා පවසනවා  සායනාගාර ධාරිතාවය ඉක්මවා යන ප්‍රමාණය ආසන්නයටම  පරීක්ෂණ කිරීම සඳහා PCR පරීක්ෂණ සම්පත්  ලැබෙන බවත්  මේ පවතින තත්ත්වය තවදුරටත් මේ ආකාරයෙන්  පැවතුනොත්  එසේත් නැත්නම් එය වර්ධනය වුණොත්  ඔවුන් විශාල ගැටලුවලට මුහුණ දෙන බව අනාවරණය කළා.

සෞඛ්‍යය අමාත්‍යාංශය  මේ මොහොතේ රටේ තත්ත්වය හරියාකාරයෙන් ජනතාවට නොකිව්වත් ඔවුන් කියන සුලු කරුණු වලින් පවා අපට හෙළිදරව් වෙන්නේ කෝරෝනා වෛරසය හමුවේ අපේ සෞඛ්‍යය  කඩාවැටෙමින් ඊට මුහුණ දීමට නොහැකි තැනකට තල්ලු වෙමින් තිබෙන බව. උද්ගත වෙමින් පවතින තත්ත්වයට මුහුණ දීමට නම් කඩිනම් පියවර රාශියක් ගත යුතුව තිබෙනවා. සෞඛ්‍යය  සේවයේ  අඩුපාඩුකම් කඩිනමින් සපුරාලීම .   පරීක්ෂණ කිරීමට අත්‍යවශ්‍ය කරන යන්ත්‍ර උපකරණ මිලදී ගැනීම.  එවගේම සැලකිය යුතු  ප්‍රමාණාත්මක කෘතිම සුවසන යන්ත්‍ර  තබා ගැනීම වගේ කරුණු.

ඔබට මතක ඇති කොරෝනා වසංගතය ප්‍රථම වතාවට ලංකාවට පැමිණි විට ඉතා කඩිනමින් කොරෝනා  අරමුදලක් පිහිටවනු ලැබුවා.   මාධ්‍ය සන්දර්ශන දමමින්  කොරෝනා  අරමුදලට එකතු වුණු මුදල්  දිනපතා ගනිමින් හිටිය.  නමුත් කොරෝනා දෙවැනි රැල්ල ඇවිත් මේ තරම් බරපතළ තත්ත්වයක් උද්ගත වී තිබෙන මොහොතක පවා ඒ පිළිබඳව කිසිම කතාබහක් දැන් අපට අසන්න නැහැ. ඒ මුදල් වලට මොකද උනේ. ඉන් කරපු යමක් තිබේද  එසේ නොමැති නම් ඒ මුදල් තවමත් තියෙනවා නම්   මේ උද්ගත වෙමින් තිබෙන ගැටලුව හමුවේ  මේ  මොහොතේ අත්‍යවශ්‍ය කරන  ගැටළු විසඳීම සඳහා මේ මුදල් භාවිතා නොකරන්නේ මන්ද කියන පැනය සමාජය තුළ දැන් කැකෑරෙමින් තිබෙනවා. සුනාමි අරමුදල් කොල්ලේ සේම  ඉදිරි අනාගතයේ දවසක  කොරෝනා අරමුදල් කොල්ලය සිදු වූ බව තද කළු අකුරෙන් අපිට ලියන්න සිදුවේද?

තව මාස දෙකකින් 2020 වසර අවසාන වෙනවා. නොවැම්බර් මාසය වන විට 2021 වර්ෂය සඳහා අය වැය ලේඛනය ආණ්ඩුව ඉදිරිපත් කරන්න ඕන. ඊට අදාළ කරන මූලික ලියවිල්ල විසර්ජන පනත් කෙටුම්පත දැන්  අප අතර තිබෙනවා.  එය විමර්ශනය කරන විට  පෙනී යන කරුණ නම්  මේ වසංගත තත්ත්වය හමුවේ පවා  ආණ්ඩුව ඒ වෙනුවෙන් සැලකිය යුතු මුදලක් වෙන් කර නැති බව.

මෙවරද ආරක්ෂක කටයුතු වෙනුවෙන් රු.බිලියන 355ක්ම  වෙන්කර ගැනීමට ආණ්ඩුව කටයුතු කරලා තියෙනවා.2019 වසරේ සෞඛ්‍ය සේවය සඳහා බිලියන 178ක්  වෙන් කර තිබුණත්  මෙවර ඉන් රුපියල් බිලියන  20 කට ආසන්න ප්‍රමාණයක් අඩුකර 2021  වර්ෂය සඳහා සෞඛ්‍යයට වෙන්කර තිබෙන්නේ බිලියන 159කි .

වතින තත්වය හමුවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගනන් බැලීම් වලට අනුව  කොරෝනා වසංගතය 2021 වර්ෂය අවසාන වන තුරු ද පැවතීමේ ඉඩකඩක් තිබෙනවා.  මෙවන් වටපිටාවක් යටතේ තමයි  දේශප්‍රේමී කියා  ගන්නා ආණ්ඩුව  සෞඛ්‍යයට වෙන්කරන ලද මුදල් කප්පාදු කරනු ලබන්නේ.

leave a reply