Breaking News

ලිලැක් – යේෂා ෆර්නෑන්ඩු

රජීව දසනායක

බ්ලේක්, ශෙලී, කීට්ස්, ශේමස් හීනි, කැරල් ඈන් ඩෆී වගේ අය මහා කවියෝ තමයි. ඒත් මට දැනෙන්නෙ යාලුවෝ වගේ. කෝච්චියක යනකොට හම්බවුනොත් “මචං, යූ ආ ශෙලී ආර්න්ට් යූ” කියලා කතාවට සෙට් වෙන්න පුළුවන් වගේ. මම කැමති‍යි දැනෙන කවියක් කියෙව්වොත් ඒ ගැන යමක් ලියන්න. ඉතින් මෙයාලගෙ කවි කියවලා මට දැනුනු විදිහ ලියනවා. සමහර විට මූණුපොතෙත් දානවා. මට හිතෙන්නෙ එයාල දැනගත්තත් ඒ ගැන කිසි අකමැත්තක් නැතිවෙයි කියලා.

ලයිලැක් කියවද්දි මට යේෂා ෆර්නෑන්ඩු ගැන දැනුනෙත් එහෙමයි. ඒත් ඒ වෙනකොට ඈ මොන ලෙවල් එකේ කිවිඳියක්ද කියලා දන්නේ නෑ. ලිලැක් කියවද්දි දන්නවා, ඒත් තාම දැනෙන්නෙ අර විදිහටමයි……

ඒක නිසා ඒ ගැනත් යමක් ලියන්නම්!

කවි “තේරෙන්නෙ නෑ” කියන අය එක්ක මට තරහා යනවා. තේරුම හොයන්න කවි කියවන එක හරියට සංගීත භාණ්ඩ වල පෙනුමේ ලස්සන බලනවා වගේ වැඩක්. ඒව හදලා තියෙන්නෙ මිහිරි හඬක් දෙන්න; ලස්සන පෙනුම කියන්නෙ අමතර දෙයක්. කවිත් ලියන්නේ දැනෙන්න මිසක් තේරෙන්න නෙවේ. ලිලැක් කියවගෙන යනකොට දැනෙන්නෙ නැවුම් ගතියක්. හරියට ලංකාවෙ අස්සක් මුල්ලක් ගාණෙ කරක් ගහපු කෙනෙක් පළවෙනි පාරට යුරෝපීය රටකට ගියොත් මුල් දවසේ දෙකේ දැනෙන විදිහ වගේ. යේෂා ලියන්නෙත් ප්‍රේමය, ගෑණු, පිරිමි, තනිකම, නුරාව, විරහව ආදිය ගැන. ඒවයෙ සියුම් තැන් හොයාගෙන යනවා තමයි. ඒත් ප්‍රේමයේ විරහවේ සියුම් තැන් හොයාගෙන ගිහින් නැත්තේ මොන කවියාද? ලයිලැක් කියවද්දී යේෂාගෙ සංකල්පරූප තරමටම වචන සර්කස් තිබුණා. ලිලැක් වලදි උඩට එසවී කැපී පෙනෙන්නේ නව්‍යතාවයෙන් යුතු සංකල්පරූප. ඒත් ඉතින් නව්‍යතාවයෙන් යුතු සංකල්පරූප හොයාගෙන නොයන්නෙත් මොන කවියද? කොළඹ යුගයේ කවියෙක් “තබන්නෙමි අළුත් උවමක් කොහොමහරී” කියලා ලියලත් තිබ්බෙ?

එහනම් ලිලැක් කවි වල මේ නැවුම් බව එන්නෙ කොහෙන්ද? සංකල්පරූප වලින්ම තමා. ඒත් විෂේෂ හේතු නිසා.

සංකල්පරූප (imagery) කියන්නෙ පාඨකයාගේ හිත ඇතුළට ගිහිල්ලා “චිත්‍රයක්” මැවීමට. චිත්‍රයක් කීවට මැවෙන්නෙ පේන දෙයක්, ඇහෙන ශබ්ධයක්, දැනෙන රසක්,, සුවඳක් හෝ ස්පර්ශයක් වෙන්න පුලුවන්. සංකල්පරූප ඇති කරන නොයෙක් ක්‍රම තියනවා. එකක් තමා නිකම්ම විචිත්‍ර ලෙස විස්තර කිරීම. තව එකක් තමා උපමා හා රූපක. ඒ කියන්නෙ විස්තර කරන්න ඕනෙ දේ වෙන යම් දේකට සමාන කරලා විස්තර කරනවා. උපමාවකදී (simile) නම් “මෙන්”, “වැනි”, “ලෙස”, “සේ” වගේ සමානතා වාචකයක් තියෙනවා. රූපක (metaphor) වල සමානතා වාචක නැතුවම සමාන කරනවා. තව විදිහක් තමා සංකේත. ඒ කියන්නෙ රූපකය විතරක් දීලා මොකක් ගැනද කියන්නෙ කියලා පාඨකයාට හිතාගන්න අරිනවා. ලිලැක් වලින්ම උදාහරණ කියන්නම්.

“දන්නවද මට ඕනෙ
විලෝ තුරු කුස්සියක්
අඩුපාඩුවට තව
චෙරි ලී මේසයක්

රතු සුදු කොටු – කපු මේස රෙද්දක්
ඒ මැද කැලෑ බෙරි – පිරුණු පොඩි ජෝගුවක්”
ඒ විස්තරය හිතට ඇතුල් වෙලා කුස්සියේ පෙනුම මවනවා.

“ඇතැම් පිරිමින් බ්ලැක් වෙල්වට් විස්කි මෙනි”
මෙහි ඇතැම් පිරිමින් කියන්නෙ වස්තු අර්ධය, හෙවත් විස්තර කෙරෙන දේ. බ්ලැක් වෙල්වට් විස්කි කියන්නෙ උපමා අර්ධය. “මෙනි” කියන සමානතා වාචකය නිසා මේක උපමාවක්. විස්කි වල ස්වභාවයෙන් ඇතැම් පිරිමින්ගෙ ස්වභාවය විස්තර කරන්න ක්‍රියාකාරී වන නිසා මේක නිකම්ම ලස්සනට යොදන අලංකරණීය උපමාවක් නොව ක්‍රියාත්මක උපමාවක්. “ඇතැම් පිරිමින් සැර වුවත් උණුසුම්‍ ය” කියනවාට වඩා කාවදින රූපයක් මැවෙනවා බ්ලැක් වෙල්වට් විස්කි උපමාව හිතට ඇතුල් වෙලා මවන දේ නිසා. මේක රසක්, ස්පර්ශයක් දනවන සංකල්පරූපයක්.

“සිහින් කැෆේන්මය උණුසුමක්” සමානතා වාචකයක් නැති නිසා රූපකයක්. උණුසුම කියන වස්තු අර්ධයට කැෆේන්මය කියන රූපක අර්ධයෙන් අපූර්වත්වයක් ලබා දෙනවා.

“ඒ වුණත් මට පුළුවන්
ඔක්සිජන් ඉවරවුනු දවසක අන්තිම හුස්මත් බෙදාගන්න” කාවදින රූපයක් මවනවා. ඇත්තටම ඔක්සිජන් ඉවර වුනු දවසට අන්තිම හුස්ම බෙදාගැනීමක් වෙන්නෙ නෑ. කිවිඳිය මේකෙන් කියන්නෙ වෙන දෙයක්. නමුත් ඒ මොකක්ද කියලා හිතාගන්න පාඨකයාට ඉඩ අරිනවා. ඉතින් මේක සංකේතයක් කියලා ගන්න පුළුවන්.

දැන් ආපහු යමු යේෂාගෙ සංකල්පරූප වල විශේෂත්වය හොයන්න. හැම කවියෙක්ම නැවුම්, හිතට කාවදින සංකල්පරූප යොදන්න තමා හදන්නෙ. ඒත් මේ ලක්ෂණ අනුව පිතිකරුවෝ වගේ ශ්‍රේණිගත කළා නම් එයා ඉන්නෙ කුමාර් සංගක්කාර හිටපු ලෙවල් එකේ වගේ. ඒක තමා පළවෙනිම විශේෂත්වය. ඒත් ප්‍රවේශමෙන් බැලුවොත් තව පේනවා.

සංකල්පරූප යොදද්දී පාඨකයාට හොඳට හුරු පුරුදු දේවල් යොදාගැනීමෙන් කවියට වඩාත් සමීප කරගෙන රසවින්දනයක් දෙන්න පුළුවන්. හැමෝම දකින දේ කාටවත් නොපෙනෙන විදිහකට දක්වනවා කියලත් කියනවා. මේක අපි එදිනෙදා අත්විඳින දෙයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපට හොඳට හුරු පුරුදු කතාවක් වෙන්න පුළුවන්. මේ හුරු පුරුදු බව වැඩිවෙන්න වැඩිවෙන්න පාඨකයා නිර්මාණයට සමීප වෙනවා වැඩී. අනිත් පැත්තට පාඨකයාට කොහෙත්ම නුපුරුදු සංකල්පරූප යෙදීමෙන් අමුතු චමත්කාරයක් ඇතිකරන්නත් පුළුවන්. කානිවල් එකට ගියොත් කවදාවත් නොකාපු රසයක අයිස්ක්‍රීම් වලට ආස හිතෙනවා වගේ. ලිලැක් කියද්දි ඒ මල නොදැකපු අපිට ඇතිවන චමත්කාරය වගේ. යේෂාගෙ සංකල්පරූප වල විශේෂත්වයක් තමයි මේ දෙවර්ගය සම්මිශ්‍රණය කිරීම.
“ඇපල් ගස යට
ප්ලැතොං බංකුව මෙනි
කඳුලක් කෙළවර
පින්තාරු සිනහව

සීනි ජෝගුව
හා තේ පෝච්චිය සේ
අතිශය සාමාන්‍යය
ඕපෙරාමය ප්‍රේමය”
පළවෙනි ස්ටන්සා එකේ නුහුරු උපමාවයි, දෙවෙනි ස්ටාන්සා එකේ හුරු උපමාවයි. ඒ වගේම කෝපි කෝප්පෙකට ලුණු දාන එක වගේ කළේ නැතුවත් අපිට හිතාගන්න පුළුවන් ඒවා අස්සේ “මදක් තිත්තට හැපෙන ස්ට්‍රෝබෙරි ලිප් ග්ලොස් ගැල්වූ හොට් ෆ්‍රෙන්ච් දෙතොලක්” වගේ (අපිට කෙසේ වෙතත්) මට නම් හිතාගන්න බැරි ඒවා…..

ලිලැක් සංකල්පරූප වල තව විශේෂත්වයක් තමා සංකීර්ණ බව.
“වැහි අඳුර
විධායක බලය පැතිරූ අහසක
තරුකැට කියන්නේ
අයුතු ජන රාශියකට”
මේ ගැන නම් අමුතුවෙන් කියන්න අවශ්‍යත් නෑ, ඒ පේළි හතරෙ ප්‍රබලත්වය තේරෙනවා. වැහි අඳුර නිසා තරු පේන්නෙ නැති එක සංකල්පරූප ඔස්සේ කියනවා. ඒත් මෙවා දැනෙන්නෙ මොන සංවේදී ඉන්ද්‍රියටද කියලා හිතාගන්න ටිකක් කල්පනා කරන්න වෙනවා.

යේෂාගෙ සංකල්පරූප විස්තර කරන්න තනි වචනයක් ඇහුවොත් මම කියන්නෙ sophisticated. මේකට සිංහල සමාන වචන හෙව්වොත් ලැබෙන්නෙ විදග්ධ, විචිත්‍ර, පැහිච්ච, නවීන, අතිපණ්ඩිත. ඇත්තටම මේ වචන පහේ එකතුවකින් ඇයගේ ශෛලිය හොඳින් විස්තර වෙනවා. මෙතන අතිපණ්ඩිත කියන්නෙ කටවහරට කියන විදිහට නෙවේ. බොහෝ දැනුම් ඇති කියන එක “අති” කරලා. කවියන් අතර අතිපණ්ඩිත කීවාම මතක් වෙන්නෙ ජෝන් ඩන්, ඇන්ඩෲ මාවල් ආදී මෙටාෆිසිකල් කවියෝ (metaphysical poets). මෙයාලා රොමෑන්ටික් නොවී යථාර්ථවාදීව, තර්කයෙන් කවි ලීවා කියනවා. මේ අතින් නම් යේෂාට කිසි සමානකමක් නෑ. නමුත් ජොන්සන් නම් විචාරකයා කියනවා ඔවුන් බොහෝ දැනුම් ඇති අය, අවාසනාවකට තමන්ගේ දැනුම පෙන්නගන්න කවිය තෝරගෙන කියලා. යේෂාගෙ කවි වල මේ ලක්ෂණය පේනවද?
“මර්යුෂ්, උඹ තමයි මිනිහා…
ප්‍රේමයේ මර්මස්ථාන හඳුනන”
මේක allegory (?අන්‍යාලාපය – හරිම සිංහල වචනෙ දන්නෙ නෑ) එකක් වගේ. යම් කතාවකට, කලා කෘතියකට හෝ වෙනත් දෙයකට විකල්ප අර්ථ කථනයක් දීම හෝ වෙනත් දෙයකට සමපාත කිරීම වගේ අදහසක්. මෙතන මර්යුෂ් කියන්නෙ පුද්ගලයෙක් හෝ කතාවක චරිතයක් වෙන්න ඇති. එයා කළ කී දෙයක් වෙන්නැති මෙතන ඉඟි කරන්නෙ. ඒත් ඒක දන්නෙ පාඨකයන් කීයෙන් කීදෙනාද? යේෂා ලියන්නෙ සාහිත්‍ය ගැන යම් දැනුමක් තියන අයට තමයි. ඒ නිසා කෆ්කා ගැන හෙම ලියන එක සාධාරණයි. නමුත් මර්යුෂ්? එහෙම හිතුවොත් දැනෙන්නෙ ටිකක් වැඩී වගේ. ඒත් නමකින් උනත් රූපයක් මවාගන්න පුළුවන්. මර්යුෂ්….. මැවෙන්නෙ රුසියාන් පිරිමියෙක්ගේ රූපයක්. පසුබිම් කතාවක් පස්සේ යන්නෙ නැතුව මේ රූපය ඔස්සේ බැලුවොතින් කවියට අපූරු හැඩයක් එනවා. ඉතින් මේ වගේ යෙදුම් රස භංගයට හේතු වන අධිවිදග්ධභාවය කියලා ගන්නවාද, එහෙම නැත්නම් අලංකරණීය රූපකයක් කරගන්නවාද කියන එක ඒ ඒ පාඨකයාට සාපේක්ෂයි.

ලයිලැක් වගේම ලිලැක් වලත් කෙටි කවි වැඩිපුර තියෙනවා. කියන දේට වඩා නොකියන දෙයින් තමා කෙටි කවි ලස්සන වෙන්නෙ.
“සිදුහත්ගේ වීර්ය ට
ලෝකයක් පහන් දල්වන
හැම වෙසක් දිනකම
යශෝදරා…. මට දුක හිතුනෙම උඹ ගැන”
මේ කෙටි කවියේ නම් නොකියන දෙයක් හෝ වෙනත් තියුණු කාව්‍යමය ලක්ෂණ මට දැනෙන්නෙ නෑ (ඒ මදිවට ඒ කවියේ අදහස විස්තර කරන්න ගධ්‍ය කොටසකුත් දාලා. ඒ කොටසින් ඉදිරිපත් කරන කරුණත් ටිකක් අවුල්. යශෝදරාගේ දරාගැනීම ගැන කාව්‍ය නිර්මාණම රැසක් තියෙනවා). ඒත් ඒක තියෙන්නෙ මේ වගේ කවි රැසක් මැද.
“හිතවත් රෝස මල….
කටුවක් දිය හැකිද කුලියට
බඹරෙකු එන බව කිව්වා
හවසට…”
පට්ට ගහපු නටුවෙ කටු තියන රෝස මලයි බඹරයි යොදාගෙන අතිශයින්ම නැවුම් නිර්මාණයක්. නොකියන දේ කොච්චරද බලන්න. කටුව ඉල්ලන්නෙ තවත් නම නොකියන මලක්. බඹරා සමඟ කොහොම සම්බධයක්ද තියෙන්නෙ? හවසට එන්නෙ කියලා නිසා සුහද බවක් තියෙන්න ඕනෙ. එහෙනම් කටුව මොකටද? බඹරා ඕනෙ නැති සෙල්ලම් දැම්මොත් ආරක්ෂාවටද? එහෙම නැත්නම් ඒ මලට බඹරුන් එක්ක තියන සැඟවුනු වෛරයක් පිරිමහගන්න සැලැස්මක්ද? රෝස මල මොන වගේ චරිතයක්ද? බඹරුන්ට වෛර කරන, අනිත් අයටත් කටු කුලියට දෙන කෙනෙක්ද? එහෙම නැත්නම් බඹරුන්ගෙන් ආරක්ෂා වීමේ දක්ෂතාවය ගැන ප්‍රසිද්ධ කෙනෙක්ද? මේ ප්‍රශ්න ඔස්සේ නවකතාවක් දක්වා යන්න පුලුවන්.
“ආදරය….
කල් තබා ගත හැකි හැඟුමකි
පොළිය මදි වූ විටදී
බැංකුව මාරු කළ හැකි ගිණුමකි”
විස්තර කියන්න ඕනෙ නෑ. මෙන්න ප්‍රතිභාව! ඉතින් මට හිතෙන්නේ පොතක් කරද්දි ඒකට ඇතුල් කරන කෙටි කවි ගැන ඉතා සැලකිලිමත් වෙලා කාව්‍යමය වශයෙන් උසස් නිර්මාණ පමණක් තෝරගන්න ඕනෙ.

මට ලයිලැක් කියවන්න වුනේ අහම්බෙන්. ලිලැක් කියෙව්වෙ හොයාගෙන, කිවිඳිය ගැනත් දැනගෙන, පරසතු මල් අස්සේ වන පස මල් තියරිය දාල. හැබැයි ඉතින් මට හිතෙන දේවල්, ලුණු සීනි දාන්නෙ නැතුව ඒ විදිහටම! ලයිලැක්, ලිලැක් කියවීම වගේම ඒවා ගැන ලිවීමත් ඉතා රසවත් අත්දැකීමක් උනා….

ඔබට ගොඩක්ම ස්තූතියි යේෂා! ඉදිරි ගමනට මගේ උණුසුම් සුබ පැතුම්!

රජීව

leave a reply