නුවන් බෝපගේ විසින් අනුර කුමාර දිසානායකගේ ඡන්ද කඩන බවක් ඇතැම් සමාජ මාධ්‍ය සහෘදයන් විසින් අදහස් දක්වමින් තිබෙනවා. දැන් මේ ජනාධිපතිවරණයේ අවසන් අදියර තුළ තියුණු මැතිවරණ තරගයක් තිබෙන්නේ ප්‍රධාන අපේක්ෂකයන් ලෙස නාමකරණය කළ ලංකාවේ පාර්ලිමේන්තුව තුළ සිටින ප්‍රධාන පක්ෂ අතර.
“මාලිමාවෙ ඡන්ද කඩන්න එපා!” කියමින් ජාතික ජනබලවේගයේ ඇතැම් හිතවතුන් විසින් නුවන් බෝපගේට අනුග්‍රහය දක්වන ජන අරගල සන්ධානයේ අනුගාමිකයන්ට චෝදනා නගනු දක්නට ලැබෙනවා. එක් එක් මැතිවරණවලදි යම් වැඩි ජනතා අවධානයක් ඇති අපේක්ෂකයන්ට, පක්ෂවලට තම ආසන්න ප්‍රතිවාදියා පරාජය කිරීමේ උන්මාදය හේතුවෙන් වෙනත් පක්ෂවල අපේක්ෂකයන් පෙනෙන්නේ තරගයට බාධාකාරී පිරිසක් හැටියටයි.
ඡන්ද කඩන හැටි එදා කිව්වෙ මෙහෙමයි!
1994 ජූලි මාසයේ දිනක දි.මු. ජයරත්න නිවේදයක් නිකුත් කරමින් කියා සිටියේ මහජන එක්සත් පෙරමුණ. ජනතා විමුක්ති පෙරමුණ හා නව සමසමාජ පක්ෂය යන පක්ෂ විසින් එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ පොදුජන එක්සත් පෙරමුණේ මැතිවරණ ව්‍යාපාරය අඩාල කරන්න කටයුතු කරන බවයි.
ඔහු මේ කතාව කියන්න පෙලඹුනේ 1994 වන විට එක්සත් ාතික පක්ෂයේ 17 අවුරුදු පාලනය පෙරලා දමන්නට ජනතාව සැදී පැහැදී සිටින මොහොතේ මහ මැතිවරණයෙන් පොදුජන එක්සත් පෙරමුණට ලාබෙට ඡන්ද ලබා ගන්න තිබුණු හැකියාව, ඒ එ.ජා.ප. විරෝධී ඡන්ද තමන්ට පමණක් ගන්නට අවස්ථාව නොදී වෙනත් පක්ෂ එනම් දිනේශ් ගුණවර්ධනගෙ නායකත්වයෙන් ම.එ.පෙ., සෝමවංශ අමරසිංහගේ නායකත්වයෙන් ජවිපෙ සහ වික්‍රමබාහු කරුණාරත්නගේ නායකත්වයෙන් න.ස.ස.ප. මහමැතිවරණයට තරග කරන නිසාය.
දේශපාලන පක්ෂවලට විතරක් නෙවෙයි, එදා ප්‍රගතිශීලින් ලෙස අවිවාදයෙන් පිළිගත් සම්මානනීය කලාකරුවන්ට පවා ඒ ‘දේශපාලන මොහොත’ කියවා ගැනීමේ නොහැකියාවක් තිබුණා. 1994 පොදුජන එක්සත් පෙරමුණට සහාය දෙන්න ගොඩනැගූ ‘නිදහස් කලා සන්ධානයේ’ වේදිකාවෙදි ‘සුගත් අයියා’, කියූ දේ පසුකාලයකදි ‘කෝටු න්‍යාය’ ලෙස දේශපාලන සාහිත්‍යයට එකතු වුණා. මහා නාට්‍යකරුවකු හා දේශපාලනමය වශයෙන් වැදගත් සාහිත්‍යකරුවකු වූ සුගතපාලද සිල්වා පොදු පෙරමුණට සහාය දක්වන කලාකරුවන්ගෙ රැස්වීමෙදි කිව්වෙ මෙවැන්නක්.
“තෝරාගන්න තියෙන්නෙ එක පැත්තක් විතරයි. හරියට කෝටු කෑල්ලට පැති දෙකක් තියෙන්නෙ වගේ දේශපාලනයෙ පැති දෙකයි!”
සුගතපාල ද සිල්වාට එහෙම කතාවක් කියන්න සිදු වුණේ ඇයි?
ජනතා විමුක්ති පෙරමුණ සහ ආරිය බුලේගොඩගේ ප්‍රගතිශීලී පෙරමුණ සමග එක්ව පිහිටුවා ගත් සන්ධානය 1994 එ.ජා.ප. සහ පො.එ.පෙ. ප්‍රතිවාදී ධනපති කණ්ඩායම් දෙක මැදට වමේ අපේක්ෂකයෙක් කැඳවුවා. 1994 ජාතිය ගලවා ගැනීමේ පෙරමුණේ මල්බඳුන ලකුණෙන් ජනතා විමුක්ති පෙරමුණ පළමුවරට මහමැතිවරණයකට පැමිනීමේදී 17 වසරක එ.ජා.ප. සාපය අවසන් කරන්න, පුටුව ලකුණෙන් තරග කරන චන්ද්‍රිකා බණ්ඩාරණායකගෙ පොදුජන එක්සත් පෙරමුණට හිතවත් පාර්ශ්වවලට හිසරදයක්, බාධාවක් ලෙස පෙනුන එක පුදුමයක් නෙවෙයි.
නමුත්, 17 අවුරුද්දක එක්සත් ජාතික පක්ෂයේ මර්දනකාරී පාලනය අවසන් කිරීමේදී පුළුල් ප්‍රජාතාන්ත්‍රික පරිවර්තනයක් අපේක්ෂාවෙන් සිටි සමාජයට ලැබුණෙ මොන වගේ මග පෙන්වීමක්ද? ඒ මුලු කාලය පුරාම මර්දනයෙන් යටපත් කළ ලෙයින් යකඩින් වධ බන්ධනයෙන් හා ඝාතනයෙන් නිහඬ කළ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ප්‍රවේශය ‘අලුයම ලූ කෙල පිඩක් සේ’ බැහැර කරන්නට තරම් මහා කලාකරුවකු දුර නොදකින අනුගාමිකයෙක් බවට පත්ව තිබුණා.
ඒත්, එදා මහමැතිවරණයට ජ.වි.පෙ. සන්ධානයක් ලෙස පැමිණි නිසා පළමුවරට ජ.වි.පෙ. සාමාජිකයෙක්, නිහාල් ගලප්පත්ති සහෝදරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් බවට පත් වුණා.
අද කෝටු න්‍යාය කාටද?
මේ වනවිට රනිල් වික්‍රමසිංහ හා පොදුජන පෙරමුණ විසින් 2022 මහජන අරගලය පරාජය කිරීමට අටවා ගත් දේශපාලන සන්ධානය ජනතාවගෙන් ප්‍රතික්ෂේප වී ඇති නිසා, ජාතික ජනබලවේගය සහ සමගි ජන බලවේගය ඒ ජනතා විරෝධය ලේසියෙන් තමන්ගෙ ජයග්‍රහණයට පාවිච්චි කිරීමට සූදානම් වෙනවා. ඔව් ජනතාව විරුද්ධ වී තිබෙන පාලනයක් පෙරළා දැමිය යුතුයි. ඒ ගැන සැකයක් නෑ. නමුත්, ආණ්ඩුව පෙරළා දැමීමෙන් ජනතාවගේ අරමුණු ඉටු කරන්න සමත් දේශපාලන ප්‍රතිපත්තියක්, වැඩපිළිවෙළක ඉදිරියට ගෙනැවිත් තියෙන්නෙ කවුද?
දැන් විවාදය තියෙන්නෙ එතැන. ඒ නිසා සමගි ජන බලවේගය කියන ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පාරෙන් යන වැඩපිළිවෙළ රනිල්ගෙ පාරමයි කියලා පැහැදිලියි. ජාතික ජන බලවේගය කියන්නෙත් රනිල් විසින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ආරම්භ කළ වැඩපිළිවෙළ එක පාරටම අවසන් කරන්න බැරි නිසා ඒ පාරෙන්ම යන්න සිදුවෙනවා කියලයි.
එහෙම තියෙද්දි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග බැඳීමක් නැතිව ස්වාධීන දේශපාලන වැඩපිළිවෙළක් ඉදිරිපත් කළ ජන අරගල සන්ධානය දැන් ජනතාවගේ ප්‍රතිපත්තිය ඉදිරිපත් කර තිබෙනවා. නමුත් ඔවුන් එන්නෙ ජා.ජා.බ. ඡන්ද කඩන්න කියලා කියමින් ඒ ප්‍රතිපත්තිය හෑල්ලු කරන්න සහ 1994දි ජ.වි.පෙ.ට ගහපු අවලාදයම ජන අරගල සන්ධානයට එල්ල කරන්න පුළුවන්ද? ප්‍රතිපත්තිමය දේශපාලන විවේචනය පැත්තකට දාලා බාල අවලාදවලින් සරදම් භාෂාවෙන් සහ නොදැක්ක තාලෙන් ජනාධිපතිවරණයට යන්න බොහෝ විට දේශපාලන පක්ෂ නායකයන්ට හා ඔවුන්ගේ අනුගාමිකයන්ට පුළුවන් වෙයි.
නමුත් ජනාධිපතිවරණයෙන් පස්සෙ, කවුරු ජයග්‍රහණය කළත් ‘ආර්ථික අර්බුදය විසඳීමේ මාර්ගය කුමක්ද?’ කියන ඇත්ත ප්‍රශ්නයට මුහුන දෙන වෙලාවෙදි, ආපහු ජනතාව ප්‍රශ්න කරන කොට ප්‍රතිපත්ති සම්බන්ධ සංවාදයෙන් පැනලා යන්න නොහැකියි. මොකද ඊට පස්සෙ මහමැතිවරණයක් එළඹෙන්න නියමිතයි.