Breaking News

මඳක් පහත් කර දෙමි අතු හිසෙහි ඇති එල ටිකක් උඩ පැන නෙලා ගත යුතුය ඔබ එය

2002 වසරේ ” දිය බරියා චප්ප කරන්” කාව්‍යමය ගමන් මග ඇරැඹූ ලක්ෂාන් මදුරංග දැන් අපට ඇවිත් කියනවා “මේ ගසට ගල් ගසන්න” කියා. දශක දෙකකට මදක් වැඩි කාව්‍යමය ගමන් මඟ තුළ මදුරංග පාඨකයා වෙත කවි පොත් හයක් පිරිනමා තියනවා. පාඨකයා දැන් මේ මොහොතේ කියවමින් සිටින්නේ ,රසවිදිමින් සිටින්නේ, විග්‍රහ කරමින් ඉන්නේ, ” මේ ගසට ගල් ගසන්න” කාව්‍ය සංග්‍රහය. “මේ ගසට ගල් ගසන්න” කාව්‍යමය වින්දනයට කිසිදු බාධාවක් නොකර අප මේ සූදානම් වන්නේ ලේඛකයාගේ හක්ක පළල් කර බොක්ක ඇතුලේ කුමක් ඇත්දැයි සොයා බලන්නටයි.

අපි මේ කතාබහ ආරම්භ කරන්න සූදානම් වන්නේ ඔබම තබා තිබූ සටහනකින්

වතාවක් ඔබ මුහුණු පොතේ සටහන් කරල තිබුනා ඔබ කවි ලියන්නෙ අනාගතයේ පහල ⁣වෙනු ඇතැයි අපේක්ෂා කරන රසිකයෙකුට බව.ඉන් ඔබ අදහස් කලේ ඔබේ කවි විද ගැනීමට තරම් නූතන රසික ප්‍රජාව විදග්ධ නොවන වග ද?

“විදග්ධ” කියන වචනෙ වෙනුවට මං කැමති “සක්‍රීය” කියන වචනෙට.ඒ අර්ථයෙන් මං බය නැතුව කියනවා අද දවසේ අපට සැලකිය යුතු තරම් සක්‍රීය සහෘදයෙක් හෝ පාඨකයෙක් නෑ කියලා.අනෙක් හැම ක්ෂේත්‍රයක ම සක්‍රීයත්වය බිඳ වැටිලා තියෙද්දි සහෘදයා විතරක් සක්‍රීය වෙන්න බෑනෙ.

මම බලාපොරොත්තු වෙන්නෙ කෘතියත් එක්ක සෑහෙන තරමේ වැඩ කරන්න ලෑස්ති රසිකයෙක්.”මේ ගසට ගල් ගසන්න” කියන නමෙන් පවා මම ආරාධනා කරන්නෙ අන්න එහෙම සහෘදයෙකුට.රසිකයෙකුට ළඟා විය නොහැකි තරමේ අභ්‍යවකාශගත කවියක් ලියලා ඒක කඩා ගන්න ගල් ගසන්න කියන එක නෙවෙයි ඒකෙන් අදහස් වෙන්නෙ.ඒ තමයි ඔබ කියන “විදග්ධ” කැටගරිය.

පුෂ්කින් කිව්වා වගේ වසර දෙසියකින් පස්සෙ හමු වෙන සහෘදයෙකු වෙනුවෙන් නෙවෙයි මං ලියන්නෙ.මං අනාගතය කියන්නෙ ඊළඟ මොහොතට;හෙට;සමහරවිට අනිද්දට.ඒක නිසා විදග්ධ වෙලා ඒ රසිකයට අමතන්න බෑ.හරියට අද කවිසිළුමිණට ඒක කරන්න බෑ වගේ.අවුරුදු පන්සියයකට දාහකට පස්සෙත් මගේ කවි පියාපත් ලබනව නම් මං ඒකට අකමති වෙන්නෙ නෑ.ඒ ගුණය අත් කර ගන්න වෙන්නෙ විදග්ධ වෙලා නෙවෙයි මනුෂ්‍ය සමාජයේ පරිපූර්ණත්වය ගැන පරිකල්පනය කරන්න පුළුවන් සිහින දකින්නෙක් වෙලා.

කවි විදියට අපි දකින බොහෝ දේ සෙෘම්‍යයි.ළා කොළ පාටයි.ඒත් ඔබේ කවිය සැරිසරන්නෙ එක්තරා ගොරහැඩි දූවිලි පිරුණු දුඹුරු කලාපයක.සෙෘම්‍ය සෙෘන්දර්ය ඔයාට ඇලජික් ද..?

කවිය විදියට ඔබ දකින බොහෝ දේ සෞම්‍යය යි නම්,ළා කොළ පාට නම් ගොරහැඬි දූවිලි පිරුණු ඔබ කියන දුඹුරු කලාපය ඔබට පෙන්වීම තමයි මට පැවරිලා තියෙන වගකීමේ චමත්කාරය වෙන්නෙ.සෞම්‍ය සෞන්දර්ය ම සුලබව දකින්න ලැබෙනකොට මාත් ඒක ම කරන්න ඕන කියන එක ම සිංහල කවියේ විවිධත්වයට තර්ජනයක්.කවිය කියන්නෙ ම අතිශය පෞද්ගලික ප්‍රකාශන විදියක්.

හැබැයි ඒකෙන් මං කියන්නෙ අර ළා කොළ පාට කවියට මං විරුද්ධ යි කියන එක නෙවෙයි.උදාහරණයක් විදියට අපි ගමුකො මගේ “ඔබ පතන හයිකුව” වගේ කවියක්.දැන් ඒක සමහර අය කියවන්න පටන් අරන් තියෙනවා හයිකු විරෝධී කවියක් විදියට.නෑ…මං කියන්නෙ මට ලියන්න බෑ කියලා.මං කියන්නෙ නෑ ඔබට ලියන්න එපා කියලා.ඉතිං ඔබ ලියන්න…

හැබැයි ඔබ මේකෙන් කියන්නෙ මගේ කවි අමු යි කියලා නම්,එහෙම නැත්තං රළු යි කියල නම් දැං මං දුක් වෙමින් ඉන්නෙ මට දැන් ඉස්සර වගේ අමු වෙන්න, රළු වෙන්න බැරි වෙන එක ගැන.මං ලියන්න ඕන මගේ කවිය මිසක් මීට කලින් කවුරුවත් ලියපු කවියක් නෙවෙයි කියන එක යි මගේ අදහස.

කවියෙන් සමාජය වෙනස් කරන්නට නොහැකි යැයි ද,කවිය හුදු ආශ්වාදයේ මාර්ගයක් වශයෙන් භාවිතා විය යුතු බවද කියැවෙනවා.ඔයා ස්ථානගත වෙන්නෙ මේ දෙතැනින් කොතැනකද?

ආයෙත් ඔබගෙ එක වචනයකට විරුද්ධ වෙන්න මට අවසර දෙන්න.ඒ තමයි මේ ප්‍රශ්නෙ තියෙන අර “හුදු” කියන වචනෙට.කවියෙන් ලබා දෙන ආස්වාදය “හුදු” එකක් කියලා කියන්න බෑ.සමහර විට ඔය “හුදු” කියන තැන ඇතැම් කවීනුත් ඉන්න පුළුවන්.

මට අනුව ආස්වාදය ලබා දීම කියන්නෙ කවියකින් කරන්න පුළුවන් සෑහෙන්න බරපතළ දේශපාලනික ක්‍රියාවක්.ඇත්තට ම ගත්තොත් මං අද දවසේ ලියන කවියෙන් උත්සාහ කරන්නෙ මනුෂ්‍ය ජීවිතය හා සමාජය පිළිබඳ මනුෂ්‍යයන් තුළ ආස්වාදයක් ඇති කරන්න.සියලු බලාපොරොත්තු බිඳ වැටිලා මනුෂ්‍යයත්වය ගැන සැක කරන සමාජයක මං හිතනවා කවියෙකුට කවිය තුළ කරන්න පුළුවන් බරපතළ ම දේශපාලනය ඒක කියලා.

ඔයත් දැන් අවුරුද්දෙන් අවුරුද්දට කවි පොතක් එළි දක්වන කවියෙක් බවට පත් වෙලා.කවියෙකුට ඒ හැකියාව ලැබෙන්නෙ ඔහු පරිණත බව අත්පත් කරගත්තමද?නැත්නම් ඔයාටත් කවිය හුදු උන්නතිකාමය පිණිස ඉනිමගක් ද?

ඇත්තට ම වෙලා තියෙන්නෙ ඔය මොකවත් නෙවෙයි, මට දැං කවි ලිවීමෙන් තොරව ජීවත් වෙන්න බැරි තත්ත්වයක් උද්ගත වෙලා තියන එක විතර යි.මං අවුරුද්දකට කවි පොත ගාණෙ එළිදක්වපු කවියෙක් නෙවෙයි කියලා ඔබ දන්නවා.අවුරුදු විසි ගණනකට මඳක් වැඩි මගේ කාව්‍යයමය ජීවිතයේ කවි පොත් පළ කරලා තියෙන්නෙ මේ පොතත් එක්ක හය යි.ඒ අතරිනුත් පළමු පොත අපි තුන් දෙනෙක් එකතු වෙලා කරපු එකක්.

පිට පිට අවුරුදු දෙකක දි කවි පොත් දෙකක් එළිදැක්වුවෙ මේ වසර දෙකේ දි විතර යි.මං මේ පොත පළ කරන්න තීරණය කළේ කාලය කෙටි වුණාට මේ කවි පළ කළ යුතු,හැකි මට්ටමේ තියෙනවා කියලා මං විශ්වාස කළ නිසා.ඒක එහෙම නෙවෙයි නම් ඒක විනිශ්චය කරන එක ඔබට බාර යි.

අනෙක මේ වෙලාවෙ මෙච්චර වේගයෙන් අශුද්ධ දේවල් සමාජගත වෙන මොහොතක කවි වගේ දෙයක් ලියන්න හදිස්සි වෙන එකේ අර්බුදයකුත් මං දකින්නෙ නෑ.හැබැයි ඒ ඒවා කවි නම් විතර යි.

දවසින් දවසට කවි පොත් පැටව් ගහමින් තිබෙන යුගයක් මේ.කවියට අනන්‍ය වින්දනාත්මක පරාසයෙන් ගැලවී ධනාවාදයේ විෂම චක්‍රයට හසුවෙමින් තිබෙනවා නේද?

මිනිසුන් නිර්මාණය කළ සියලු ශුද්ධ වස්තූන් ධනවාදය ඉදිරියේ කෙළෙසිලා යනකොට කවියට විතරක් ඉන් මිදෙන්න පුළුවන් කියලා කියන්න අමාරු යි.එනිසා කවිය, එහි ශුද්ධ අපේක්ෂාවන්ගෙන් මිදිලා පරිභෝජන භාණ්ඩයක තත්ත්වයට පිරිහෙමින් පවතින ආකාරය දැන් අපිට දැක ගන්න පුළුවන්.

අභියෝගය තියෙන්නෙ ධනේශ්වර සමාජයක තම තමන්ගෙ අතිශය පෞද්ගලික න්‍යාය පත්‍රවලට ඕන විදියට කවිය ස්ථානගත වීම වළක්වන්නෙ කොහොමද, කියන එක.සමහර ප්‍රකාශකයන්,සමාජ මාධ්‍ය ක්‍රියාකාරකයින් සහ කවීන් අතිශය ජුගුප්සාජනක විදියට සිංහල කවිය තම තමන්ගේ හිතවතුන්,වන්දිභට්ටයින් පුම්බන්න භාවිත කරමින් ඉන්නවා.මේ තත්ත්වය යටතෙ සිංහල කවියේ නිම්වළලු පුළුල් කරමින් ඒ සමඟ තියුණු අභ්‍යාසයක් කරමින් ඉන්න කවීන් නිහඬ නොවිය යුතු බව යි මගේ අදහස.

ප්‍රශ්න සැකසුම – නලින්ද සංජිව

 

leave a reply