Breaking News

මයික් පොම්පියෝ ලංකාවට පැමිණීමේ සැබෑ හේතුව මොකක්ද?

අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබේ.

මෙම සචාරයේ අරමුණ වන්නේ ශක්තිමත්, ස්වෛරී ශ්‍රී ලංකාවක් සමග හවුල්කාරීත්වයක් සඳහා එක්සත් ජනපදයේ කැපවීම අවධාරණය කිරීම බව කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනය කර තිබේ.

ඔවුන් සඳහන් කළේ, නිදහස් හා විවෘත ඉන්දු-ශාන්තිකර කලාපයක් සඳහා පොදු අරමුණු ඉදිරියට ගෙනයාමට ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා අපේක්ෂා කරන බවයි.

අද රාත්‍රියේ කොළඹට ළඟා වූ මයික් පොම්පියෝ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවලට සහභාගිවන්නේ හෙට උදෑසනයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුනවර්ධන හමුවන රාජ්‍ය ලේකම්වරයා ඒකාබද්ධ මාධ්‍ය හමුවකට සහභාගිවීමට ද නියමිතව තිබේ.

නිල සාකච්ඡාවලින් අනතුරුව ඔහු හෙට කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට ද පැමිණීමට නියමිතයි. ඉන්දීය නිල සංචාරයකින් පසුව මෙරටට එන මයික් පොම්පියෝ අනතුරුව මාලදිවයින හා ඉන්දුනීසියාව බලා පිටත්ව යනු ඇති.

මයික් පොම්පියෝගේ සංචාරයේදී ඉන්දියාව, මාලදිවයින සහ ඉන්දුනීසියාව සමඟ ඔහු සිදුකිරීමට නියමිත කටයුතු සම්බන්ධයෙන් හෙළිකර තිබුණි. එහිදී මෙම රටවල් තුන සමගම මූලිකව ආරක්ෂක සහයෝගීතාවය වර්ධනය වෙනුවෙන් ගිවිසුම්වලට එළඹීම සහ සාකච්ඡා පැවැත්වීම අරමුණ බව ප්‍රකාශ කෙරිණි. නමුත් ඔහු ලංකාවට පැමිණෙන නිශ්චිත හේතුව කුමක් නිසාද යන්න මෙතෙක් ප්‍රකාශ කොට නැත.

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ නිල බලයෙන්ම ඇමරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් MCC ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපතිවරයායි. ඔහු 2017 ජනවාරි සිට 2018 අප්‍රේල් දක්වා ඇමරිකාවේ සීඅයිඒ ඔත්තු සේවයේ අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කර තිබේ.

ඊට පෙර පොම්පියෝ කැන්සස් ප්‍රාන්තයේ කොංග්‍රස් සභිකයෙකි. ඇමරිකානු පරිපාලනයේ විශේෂ කමිටු රැසකම සාමාජිකයෙකු ලෙස ද පොම්පියෝ කටයුතු කර ඇති ඔහු ගුවන් හා අභ්‍යවකාශ කටයුතු සම්බන්ධයෙන් ප්‍රමුඛ පෙලේ සමාගමක්වන තේයර් ඒරෝ ස්පේස් සමාගම ආරම්භ කර එහි ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙසද කටයුතු කළේ ය.

මයික් පොම්පියෝ ඉන්දියාවේදී කළ දේ

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ශ්‍රී ලංකාවට සිදුකළ ඉන්දියානු සංචාරයේදී භූ අවකාශීය සහයෝගීතාව සඳහා මූලික හුවමාරු හා සහයෝගිතා ගිවිසුම හෙවත් බෙකා ගිවිසුමට අත්සන් තබා තිබේ. ඉන්දියානු සංචාරය සඳහා මයික් පොම්පියෝට අමතරව එරට ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර් ද එක්ව සිට තිබේ.

දෙරට අතර ආරක්ෂක හා විදේශ අමාත්‍යවරුන්ගේ සාකච්ඡාව හෙවත් ටූ ප්ලස් ටූ හමුව අද පෙරවරුවේ පැවැත්විණ. මෙහිදී බෙකා ගිවිසුමට අත්සන් කර තිබේ.

ඇමරිකාව සහ ඉන්දියාව අතර අත්සන් කෙරුණු බෙකා ගිවිසුම යනු භූ අවකාශීය සහයෝගීතාව සඳහා මූලික හුවමාරු හා සහයෝගිතා ගිවිසුමේ කෙටි නාමයයි.

එහිදී සිදුවන්නේ නාවික හා ගුවන් සිතියම්, ප්‍රස්තාර ඇතුළු භූගෝලීය අධිසංවේදී තොරතුරු විශේෂයෙන් හමුදාමය දත්ත හුවමාරු කර ගැනීමයි. ඇමරිකානු යුද චන්ද්‍රිකා මගින් රැස්කරන දත්තවලට ප්‍රවේශ වීමට මෙහිදී ඉන්දියාවට අවස්ථාව ලැබෙයි. එසේම ඉන්දියාවේ දත්ත ලබා ගැනීමට ඇමරිකාවටත් අවස්ථාව ලැබේ.

ඉන්දීය සාගර කලාපයේ මෙන්ම ගොඩබිම දේශසීමාවලත් නිශ්චිත භූගෝලීය දත්ත සජීවීව ලබාගන්න මේ මගින් අවස්ථාව සැලසේ.

ඇමරිකාව , ඉන්දියාව සමග හමුදාමය පහසුකම් සැපයීම සහ අධි සංවේදී තොරතුරු හුවමාරුව සම්බන්ධයෙන් ඇති කරගෙන තිබෙන එකඟතාවල තුන්වන අදියර ලෙස මෙම එකඟතාව ඇති කරගන්නා බව විදෙස් වාර්තාවල සඳහන් වේ .

leave a reply