ඔක්තෝබර් 9 වැනිදා චීන කොමියුනිස්ට් පක්ෂයේ මාධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩල සාමාජික යැං ජියෙෂි ප්‍රමුඛ ඉහල පෙළ චීන දූත පිරිසක් ලංකාවට පැමිණියා. ඉන් අනතුරුව ඔක්තෝබර් 27වැනිදා ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ ලංකාවට පැමිණීමට නියමිතයි. ඔහුගේ පැමිණීමට සතියකට දෙකකට පෙර සිටම එක්සත් ජනපද ඔත්තුසේවා නිලධාරීන්, හමුදා භටයන්, වෙනත් රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් ලංකාවට පැමිණියා. ඒ ගැන කොළඹ චීන තානාපති කාර්‍යාලය නිවේදනයක් නිකුත් කිරීමට තරම් ඒ ගැන දේශපාලන ආන්දෝලනයක් ඇති වුණා.
මේ ආන්දෝලනය වඩාත් තීව්‍ර වුණේ ලංකාව මූලික කරගෙන එක්සත් ජනපදය හා චීනය අතර වාග් සංග්‍රාමයක් දියත් වීමත් සමග. මුලින්ම “දීර්ඝකාලීනව ආර්ථික සංවර්ධනය පිළිබඳ කල්පනා කරනවා නම් අත්වැල් බැඳගන්නේ කවුරුන් සමගදැයි ‘දුෂ්කර එහෙත් අත්‍යවශ්‍ය තීන්දුවක්’ ගතයුතු බවට තමන් ලංකාවට බලකර සිටින බව” එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියා කලාපීය බියුරෝවේ ප්‍රධාන සහකාර ලේකම් ඩීන් ආර් තොම්සන් පවසා සිටියා. ඔහු පවසා ඇත්තේ නිදහස් හා විවෘත ඉන්දු පැසිෆික් කලාපයක් තුළ ආර්ථික සංවර්ධනයේ ඉලක්ක පවත්වාගෙන යාමට ලංකාව හවුල්කරගන්නට තමන් අදහස්කරන බව. ‘නිදහස් හා විවෘත ඉන්දු පැසිෆික් කලාපයක්’ ලෙස අදහස් කෙරෙන්නේ ඉන්දියානු සාගර කලාපය සිය භූ දේශපාලන අරමුණු වෙනුවෙන් යොදා ගැනීමක් බව පැහැදිලියි. එයට චීනය වහාම ප්‍රතිචාර දැක්වූවා. ලංකාව ආර්ථික වර්ධනය සඳහා සහායට තෝරාගත යුත්තේ කවුරුන්ද යන තේරීම කළ යුතු යැයි පවසන්නේ සීතල යුද මානසිකත්වය නිසා බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක ෂවෝ ලීජියෑං නිවේදනය කළා. රාජ්‍යයන්ට පැත්තක් ගන්නා ලෙස බලකරමින් බලහත්කාරය පාවිච්චිකරන එක්සත් ජනපද උත්සාහය කිසිදා සාර්ථක නොවන බවට තරමක් දැඩි ප්‍රකාශයක් ඔහු සිදු කළා.
ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය අතර ප්‍රතිවිරෝධය සංස්කෘතික නොරුස්නාවක ප්‍රතිඵලයක් නෙවෙයි. නිදසුනක් ලෙස මේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට චීන ජාතිකයන්ගේ ඕවලාකාර මුහුණු නොරිස්සීමේ හෝ ෂී ජින් පින්ට ඇමරිකානුවන්ගේ සුදු සම නොරිස්සීමේ ප්‍රශ්නයක් නෙවෙයි. මේ ප්‍රතිවිරෝධය ලෝකයේ ලොකුම ආර්ථික බලවතුන් දෙදෙනා අතර පවතින බලපොරයේ ප්‍රතිඵලයක්. සිය ප්‍රාග්ධන අභිලාෂයන්, සිය නිෂ්පාදන සඳහා වෙළඳපොලවල්, ලාභ ශ්‍රමය හා අමුද්‍රව්‍ය, ස්වභාවික සම්පත් උදෙසා නව ගොදුරුබිම් වගේම සිය භූ දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් උපායමාර්ගිකව වැදගත් භූමි ප්‍රදේශ වෙනුවෙන් ඔවුන් අතර අඛණ්ඩ ගැටුමක් පවතිනවා. ඒකාධිකාරයන් අතර තරඟය, ලෝක යුද්ධ දක්වා වර්ධනය වන මිලිටරි ගැටුම් වෙත වර්ධනය වීම ප්‍රාග්ධනයේ නෛසර්ගික ප්‍රතිවිරෝධයක ප්‍රතිඵලයක්. දැන් පවතින්නේ ඒ අන්තර් අධිරාජ්‍ය ප්‍රතිවිරෝධය විසින් විනාශකාරී යුද්ධයක් ජනිත කිරීමේ අනතුර හා එවන් ජන සංහාරක යුද්ධයකට ලංකාව මැදිවීමේ අවදානම.
ලංකාවට මේ ප්‍රශ්නය ඉදිරියේ මොකක්ද කරන්න පුළුවන්?
එක්කෝ මේ හැම අධිරාජ්‍යවාදී කඳවුරකටම කප්පම් දෙමින්, ඒ හැම එකකින්ම සල්ලි කීයක් හෝ කඩාවඩා ගැනීමේ මාර්ගය තිබෙනවා. ඒක තවදුරටත් කරන්න බෑ කියන එක ‘දැන් ලංකාව පැත්තක් ගත යුතුයි’ කියලා ඇමරිකා එක්සත් ජනපදය කරන තර්ජනයෙන් පේනවා. එහෙම නැතිනම් මේ කලබැගෑනිය මැද එක කඳවුරක් තෝරාගෙන ඒ පැත්තට යා යුතුයි. ඒක කරන්නත් බෑ. ලංකාව වැඩිපුරම සිය නිෂ්පාදන අපනයනය කරන්නේ ඇමරිකා එක්සත් ජනපදයට සහ යුරෝපා සංගමයට. ලංකාවට අවශ්‍ය දෑ වැඩිපුරම ආනයනය කරන්නේ චීනයෙන්. ඒ නැතත් මේ මාර්ග දෙකෙන් මොකේ ගියත් යුද්ධයක පැටලෙනවා. නොබැඳි පිළිවෙතකට යනවා කියලාත් තව විකල්පයක් තිබෙනවා. මේ ලෝක බල ධූරාවලි, මේ ජාත්‍යන්තර වෙළඳාම හා ගෝලීය මූල්‍ය පද්ධති මෙලෙසම තිබියදී බලගතු කඳවුරක රැකවරණය නැතිව එහෙම තැනකට යාම අසීරුයි.
ගැලවීමේ මාවත තිබෙන්නේ ලෝක පරිමාණයෙන් මේ පද්ධතියම වෙනස්වීම තුළ පමණයි. අවම වශයෙන් එහි අතරමැද පියවරක් ලෙස ප්‍රගතිශීලීන්ගේ, වාමාංශිකයන්ගේ අධිරාජ්‍යවිරෝධී – ධනේෂ්වර විරෝධී ජාත්‍යන්තර සහයෝගීතාවයක්වත් අවශ්‍යයි. මේ මොහොතේ ලංකාව මුහුණපා තිබෙන ආතතියට වුවත් ක්ෂණික පිළිතුර ලෙස තිබෙන්නේ ඉන්දියානු සාගර කලාපය සාම කලාපයක් බවට පත් කිරීම සඳහා වන ලෝක ජන මතයක් ගොඩ නැගීම. වාමාංශික ජාත්‍යන්තරවාදී වැඩපිළිවෙලකින් මිස ලිබරල්වාදයෙන්, ජාතිකවාදයෙන් උත්තරයක් හොයන්න බෑ කියන එක පැහැදිලියි.
ලංකාව තුළ උනත් මේ ආර්ථික ප්‍රතිපත්තිය මෙහෙමම තියාගෙන, මේ රනිල්ලා-රාජපක්ෂලා-සජිත්ලා මෙහෙමම තියාගෙන, මේ බෙලහීන ධනපතියන්ට දේශපාලන බලය මෙහෙමම තියාගන්න දීගෙන, ණයත් අරගෙන, ආධාරත් අරගෙන, ස්වාධිපත්‍යය රැක ගැනීම සිහිනයක් විතරයි. අප සටන් කළ යුතුව තිබෙන්නේ පුළුල් හා ගැඹුරු ව්‍යුහාත්මක පරිවර්තනයක් වෙනුවෙන්. ඒ දිගුකාලීන වැඩපිළිවෙළ එලෙසම තිබියදී සංක්‍රමණීය හා කෙටිකාලීන අරමුණු වෙනුවෙන් පවා ජනතා ක්‍රියාකාරීත්වයක් අවශ්‍යයි. කවුරු හරි කපටි මොළයකින් මේක විසඳයි, හොඳ පෞරුෂයක් තියෙන කෙනෙක් ඇවිත් විසඳයි කියා සිතමින් ජනතාව නිෂ්ක්‍රිය නරඹන්නන් බවට පත්වීමේ ඉතිහාසය නිමා කරන්න ඕන. ජනතා බලවේග ඉතිහාසයේ වේදිකාවට කඩා වදින්න ඕන. ඒ හැර අන් විසඳුමක් නෑ. එවැනි අරගල මධ්‍යස්ථානයක් ගොඩ නගන්න අපි එකතු වෙමු. වැඩකරන ජනතා බලවේග, පීඩිත ජනතා බලවේග එක මිටකට එකතු කරමු.