Breaking News

නව ආණ්ඩුව නිසා සමගි ජන බලවේගය දෙකඩ වෙන ලකුණු

වර්තමාන ජනාධිපතිවරයා යටතේ පිහිට වන ආණ්ඩුවක කිසිම තනතුරක් බාර ගැනීමට සූදානමක් නැති බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසා තිබේ.

නව ආණ්ඩුවේ අගමැති ධූරය රනිල්ට නැතහොත් ෆොන්සේකාට ලබාදෙන බවට විවිධ ආරංචි මාර්ගවලින් පැවසිනි.

නමුත් ෆොන්සේකා පවසා ඇත්තේ තමා සාමකාමී අරගලය සමඟ කොන්දේසි විරහිතව සිට ගන්නා බවත් අරගලකරුවන් සමග සාකච්ඡාවකින් තොරව රාජපක්ෂවරුන්ගේ අර්බුදය විසඳීමේ කොටස්කරුවකුවීමට කිසිදු සූදානමක් නැති බවයි.

ඔහු මෙසේ ප්‍රකාශ කර ඇත්තේ සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනි. තමා සම්බන්ධයෙන් පැතිරෙන අසත්‍ය කටකතා ප්‍රතික්ෂේප කරන බවද ඔහු පැවසීය.

මේ අනුව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හෙට (12) හෝ අනිද්දා (13) ශ්‍රී ලංකාවේ අභිනව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට නියමිත බව පැවසේ.

රටේ ඇති වී තිබෙන අර්බුදය විසඳීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර ඊයේ රාත්‍රී සාකච්ඡාවක්ද පැවැත්වුනු අතර අද (12) පෙරවරුවේ ද සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව පැවසේ.

මේ අතර පවත්නා දේශපාලන අර්බුදය හමුවේ අග්‍රාමාත්‍ය ධූරය සම්බන්ධයෙන් සමගි ජනබලවේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස සෘජු තීරණයක් නොගැනීමේ තත්ත්වය හේතුවෙන් එම පක්ෂය තුළ අර්බුදයක් නිර්මාණය වී තිබේ.

මේ නිසා රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුවක් පිහිටවනු ලැබුවහොත් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක්ද නව රජයට එක්වීමට සූදානමින් සිටින බවයි වාර්තා වේ.

මේ වනවිටත් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු සමගි ජන බලවේගයෙන් ඉවත්ව ස්වාධීන වීමටත් ඉදිරියේදී බිහිකෙරෙන ආණ්ඩුවකට සහාය දීමටත් තීරණය කර තිබේ. මනූෂ නානායක්කාර ද ඔහු සමග එක්ව ඇති අතර සජබ මන්ත්‍රී කණ්ඩායමේ තවත් මන්ත්‍රීවරුන් පෙළක්ම ඔවුන් සමග එක්වීමට නියමිත බවයි ආරංචිමාර්ග සඳහන් කරයි.

leave a reply