Breaking News

අසමත් ගෝඨාගේ අන්තර්වාර පාලන විගඩම අර්බුදයට විසඳුම් සෙවීමක් නොව

සනත් බාලසුරිය

රටතුළ මේ අර්බුදය නිර්මාණය කළ මෙන්ම, අර්බුදය විසඳීමේදී ද තීරණාත්මක වන ප්‍රධාන අමාත්‍යාංශ තුනක් තිබේ‍‍.
ඒවානම් –
1 ජාතික ආරක්ෂක
2 මුදල්
3 විදේශ කටයුතු
ජාතික ආරක්ෂක

ජාතික ආරක්ෂාව ලෙස වැඩිදෙනා තේරුම් ගන්නේ සන්නද්ධ ප්‍රහාරයන්ගෙන් ආරක්ෂා වීම පමණක් වුවත්, අද්‍යතන යුගයේ ජාතික ආරක්ෂාව නම් රාජ්‍ය පාලන විෂයය ක්ෂේත්‍රයට මිලිටරි නොවන මානයන් ගණනාවක් ද ඇතුළත් වේ. ඒ අතර මේ ක්ෂේත්‍ර තුන ද සුවිශේෂී වැදගත්කමක් දරයි.

1 ආර්ථික ආරක්ෂාව
2 බලශක්ති සුරක්ෂිතතාව
3ආහාර සුරක්ෂිතතාව

රටේ උද්ගතව ඇති අර්බුදය ඔස්සේ පැනනැගී ඇති ජනඅරගලයට මූලික වශයෙන් හේතුවූයේ, ආර්ථික බලශක්ති හා ආහාර සුරක්ෂිතතාව යන ජනජීවිතයට අත්‍යාවශ්‍යම ක්ෂේත්‍ර කිසිදා නොවූ විරූ ලෙස බිඳවැටීම යි.

ඉහත විෂයය ක්ෂේත්‍ර නිර්වචනයට අනුව මේ වගකීම ඇත්තේ ජාතික ආරක්ෂක අමාත්‍යාංශයට ය.

මේ අමාත්‍යාංශය මේ මොහොතේත් ඇත්තේ කා අතද?

මේ සියලු අර්බුදවලින් පසු කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වුණායයි හා නව අන්තර්වාර පාලනයක් සඳහා කැබිනට් මණ්ඩලයක් පත්කිරීමට අනෙක් පක්ෂවලට ආරාධනා කරන්නේය යි කියන්නා වූ ද, රාජ්‍යපාලනය තියා බුලත්විට කඩයක් කරන්නටවත් නොදන්නා බවට වසර දෙකක් තුළ ඔප්පුකර පෙන්වූවාවූ ද, ‘මූසලයා ගෙදර පල’ කියා හන්දිගානේ මහ හඬින් මුරගෑවත් ගෙලවලයකු මෙන් මේ දක්වාම ජනාධිපති පුටුවට ඇලීසිටින්නාවූ ද ගෝඨා නම් විගඩමා අතේ ය.

එලවාදැමිය යුතුයයි ජන අරගලය විසින් කියාසිටින අසමත් මිනිසා අත මේ අර්බුදය නිර්මාණය කළ වගකීම් සහිත අමාත්‍යාංශය, ඊට විසඳුම් සෙවීමේ දී වැදගත්වන අමාත්‍යාංශය පවතින තාක්කල් පත්කරන අන්තර්වාර පාලනයකින් අර්බුදයට දිය හැකි විසඳුම කුමක්ද?
මුදල්

දෙවනුව මුදල් ඇමැති කම ය. වත්මන් අර්බුදයෙන් රට ගොඩගැනීමට පළමුවෙන්ම කළ යුත්තේ හොරාකෑම නිසා පතුලටම හිස්වූ මහා භාණ්ඩාගාරය පිරවීම ය. මහාභාණ්ඩාගාරයට ඩොලර් එන්නේ නැතිව රටට තෙල් එන්නේ නැත. ගෑස් එන්නේ නැත. තෙල් නැතිව විදුලිය එන්නේත් නැත. ණයට ලැබෙන තෙල්නැව මල්මාලා දමා ඉඹලා පිළිගන්නට තරම් බංකොලොත් වූ අමන රටකට හැමදාම ණයට තෙල් දෙන්නට කිසිවෙක් ඉදිරිපත් වන්නේත් නැත.

එපමණක් නොව භාණ්ඩාගාරය හිස්ව තිබෙන තාක්කල් රටට අත්‍යාව්‍ශ්‍ය ආහාර ද්‍රව්‍ය හෝ බෙහෙත් එන්නේත් නැත. ජනජීවිතයට ඇවැසි කිසිදු අත්‍යාවශ්‍ය භාණ්ඩයක් රටට එන්නේ නැත.

එසේනම් භාරකාර පාලනයක ප්‍රධානතම හා ඉතා හදිසි පියවරක් වියයුත්තේ භාණ්ඩාගාරයට ඩොලර් ලැබෙන පිළිවෙලක් සැකසීම ය. ආර්ථික සුරක්ෂිතතාවේ වගකීම ඇති ජාතික ආරක්ෂක අමාත්‍යාංශය අසමත් බව එළිපිට ඔප්පුකර ඇති, එලෙව්වත් නොයන ගෝඨා යටතේ තබාගෙන, මුදල් අමාත්‍යාංශයත් තමන්ගේ පෞද්ගලික නීතීඥයා ලෙස වැඩකළ, මෙවන් අර්බුදයකින් රටක් ගොඩගත හැකි තරමේ ආර්ථික දැනුමක් ඇතැයි කිසිසේත්ම සිතිය නොහැකි අපාය සහායක ගජමිතුරෙකු වන අලි සබ්‍රිට පවරා, අන්තර් වාර පාලන ගුණ්ඩුවට අනෙක් පක්ෂ අල්ලාගන්නට හැදීමේ

අර්ථය කුමක්ද?
විදේශ කටයුතු

පවත්නා අර්බුදයට විසඳුම් සෙවීමේ දී තවත් අතිශයින් වැදගත් අමාත්‍යාංශයක් වන්නේ විදේශ කටයුතු ය. මේ අර්බුදය නිර්මාණය කිරීමේ ලා, මුළු රාජපක්ෂ පාලන කාලයෙන් වැඩිහරියකදී මෙන්ම පසුගිය ගෝඨා පාලන කාලයේ දී ද දියත්කළ වැරදි විදෙස් ප්‍රතිපත්ති මහත්වූ මෙහෙයක් ඉටුකළේ ය.

අර්බුදය විසඳීමේදී ද මේ අමාත්‍යාංශයට පැවරෙන වගකීම අතිප්‍රධාන ය. භාණ්ඩාගාරයට ඩොලර් ලබාගැනීමට ද, රටට තෙල්, ගෑස් ඇතුළු බලශක්ති ප්‍රභවයන් හා සෙසු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබාගැනීමට ද, රටේ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ, පිළිකුලට භාජනය වූ, ලෝක හොරුන් බවට ගර්හිත වූ දේශපාලන කඳවුරක හොරනාතෙකුට පුළුවන් වෙතැයි සිතන උන්මත්තකයා ගෝඨාම හැර වෙන කවුද?

ඒ කාර්යය මේ දුෂ්කර මොහොතේ යන්තමින් හෝ ඉටුකිරීමට වුවමනා වන්නේ මේ චෞර රැලේ තවත් සොරදෙටුවකු නොව, ලෝකය යන්තමටවත් විශ්වාස කරන්නට ඉඩ ඇති දේශපාලන බලවේගයක් නියෝජනය කරන විදේශ අමාත්‍යවරයෙක් නොවන්නේද?

එහෙත් අන්තර් වාර පාලනයක් නමින් අටවා ඇති උගුල මත ගෝඨා නම් අසමත් මිනිසා සිටුවා ඇත්තේ රාජපක්ෂලා සමගම කුජීත වී ගිය, දේශපාලන වශයෙන් අවලංගු වී, මහජනයාගෙන් ප්‍රතික්ෂේප වූ, තමන් උගත් ශාස්ත්‍රයට හා තමන් ලත් ශාස්ත්‍රීය පට්ටම්වලට පවා අගෞරවයක් වූ ජීඇල් පීරිස් නම් මළගිය ප්‍රාණකාරයා ය.

දැන් ඉතින් මේ අර්බුදය නිර්මාණය කළ සහ එය විසඳනවා නම් අත්‍යවශ්‍යයෙන්ම ක්‍රියාත්මක වියයුතු අමාත්‍යාංශ තුනක් තමන් හා තම දූෂිත, ජනතා පිළිකුලට ලක්වූ අසමත් හෙංචයියන් දෙදෙනෙක් අත තබාගෙන ‘අන්තර් වාර පාලනයකට වරෙව්’ කියා සෙසු පක්ෂවලට ආරාධනා කිරීම ලෝක විහිළුවක් මිස වෙන කුමක්ද?

එවැනි අන්තර් වාර පාලනයකට යන කිසියම් පක්ෂයක් වේ නම්, ඒ පක්ෂයේ සිටිය යුත්තේ පිස්සන් ය.

ජොනියා ලද අපූරු ඇමති පට්ටම

ගෝඨා නම් පිස්සු පූසා විසින් තවත් එක් අපූරු ඇමැති විගඩමක් මේ අන්තර් වාර පාලන පිස්සංකොටුවේ එල්ලා තිබේ.

ඒ ‘හිටපු මහාමාර්ග’ ඇමැති වූ ජොනී නම් දූෂිත, භීෂක, අපරාධ චෝදනා ලැබූ, රාජපක්ෂ හොරුන්ට බැලමෙහෙවරකම් කිරීම හේතුවෙන් ඒ සියලු චෝදනාවලින් බේරී අදටත් සිත් සේ සොරාකමින්, රාජපක්ෂ හොරුන්ට කප්පම් ගෙවමින් සිටින අමන දේශපාලුවා ආපහු ‘අලුත් මහාමාර්ග ඇමතියා’ ලෙස පත්කිරීම ය. සෞඛ්‍යයටවත්, බලශක්තිවලටවත්, ආහාරවලටවත් ඇමතියෙක් නොදා මහාමාර්ගවලට පමණක් තමන්‌ගේ හොඳම හෙංචයියෙක් සහ අන්ත දූෂිතයෙක් පත්කරගන්නේ මන්ද යන්න දැන් රටට රහසක් නොවේ.

පසුගිය රාජපක්ෂ පාලන සමයන්හි දී වැඩිම විදෙස් ණය ප්‍රමාණයක් ගංගාවක් මෙන් හරවමින්, කිලෝ මීටරයෙන් කිලෝ මීටරයට උපරිමයෙන් ගසාකෑ, රාජපක්ෂ හොරුන්ට සහ ජොනියා වැනි උන්ගේ හෙංචයියන්ට ධන උල්පතක් වූ ක්ෂේත්‍රයකි මහාමාර්ග.

ඉතින් ජොනියා මේ හදිස්සියේ මහාමාර්ග ඇමතිකමට දමන්නේ, පහුගිය කාලයේත් මහාමාර්ගවලින් කියා ගසාකෑ මේ ජනතා ධනයේ හොර අසුවීම මේ අන්තර්වාර පාලන විගඩමෙන් ද සඟවා තබාගැනීමටත්, තවත් තියෙන ඩොලර් එකක් හෝ ගසාකා ඉවරයක්ම කිරීමටත් හැර වෙන කුමකටද?

මෙවැනි ගැටවලට හසුවී රටම වෙනසක් ඉල්ලන මේ සන්ධිස්ථානීය මොහොත පාවාදෙන කිසියම් පුද්ගලයෙක්, පක්ෂයක් වේ නම් ඔවුහු වනාහී ද්‍රෝහීන් නොවන්නාහුද?

ගෝඨා, දැන් තොප කළයුත්තේ මෙවැනි විගඩම් නටා රට තවත් විනාශ කිරීම නොව වහා ධූරයෙන් ඉවත්වීමයි!
Pix –
1 Dinuka Liyanawatte/Reuters
2 Ishara S. Kodikara/AFP

leave a reply