Breaking News

අනුමත සැලසුමට පිටින් ඉදිකිරීමයි ගැටලුව – ත්‍රීමලේ සිදුවීම ගැන අධිකරණයේදී හෙළිවෙයි

පසුගියදා ආන්දෝලනයට තුඩු දුන් ත්‍රිකුණාමලයේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිවර්ධන විහාරයේ ‘අනවසර ඉදිකිරීමක්’ කඩා ඉවත් කරන ලෙස, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති නියෝගය ක්‍රියාත්මක වීම වළක්වමින් ආඥාවක් නිකුත් කරන ලෙස එම විහාරයේ විහාරාධිපති ත්‍රිකුණාමලයේ කල්‍යාණවංශ තිස්ස හිමි විසින් රිට් පෙත්සමක් ගොනුකර තිබුණා.

එලෙස ඉදිරිපත් කරනු ලැබ තිබූ රිට් පෙත්සම ධම්මික ගනේපොළ සහ ආදිත්‍ය පටබැඳගේ යන විනිසුරුවන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ඊයේ (19) දින කැඳවන ලදී. එහිදී අදාළ ගැටලුව සාමකාමී ආකාරයෙන් විසඳා ගැනීම සුදුසු බව අභියාචනාධිකරණය යෝජනා කර තිබේ.

එහිදී නීතිඥ ඉසුරු එදිරිසිංහගේ උපදෙස් මත නීතීඥ ෂේන් ෆොස්ටර්, පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටිමින් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කර ඇත්තේ, රී සම්බුද්ධ ජයන්ති බෝධිවර්ධන විහාරය පිහිටි භූමිය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ප්‍රදානයක් වශයෙන් ලබා දී තිබූ බවයි.

නමුත්, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පසුගිය ජූලි 18 වන දා සිය සේවාදායකයා වෙත ලිපියක් එවමින් අදාළ ඉඩමේ තිබෙන අනවසර ඉදිකිරීම කඩා ඉවත් කිරීමට නියෝග කරමින් දන්වා එවා තිබෙන බව නීතිඥවරයා සඳහන් කර ඇත.

එසේම එම ලිපියට එරෙහිව සිය සේවාදායකයා වන විහාරාධිපති හිමියන් විසින් පරිසර අමාත්‍යශයේ ලේකම්වරයා වෙත වෙරළ සංරක්ෂණ පනත ප්‍රකාරව අභියාචනයක් ඉදිරිපත් කර ඇති නමුත්, එම අභියාචනය නිෂ්ප්‍රභ කෙරුණු බව නීතිඥවරයා සඳහන් කර ඇත. මෙහිදී පෙත්සම්කාර විහාරාධිපති හිමියන්ගෙන් කරුණු විමසීමකින් තොරව අභියාචනය නිෂ්ප්‍රභ කිරීම සම්පූර්ණයෙන් ම නීතියට පටහැනි බවද නීතිඥවරයා සඳහන් කර තිබේ.

අනතුරුව, වග උත්තරකාර වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරල්වරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් මනෝහර ජයසිංහ අධිකරණය හමුවේ කරුණු දක්වා තිබේ. මෙම සිද්ධියට අදාළ විහාරස්ථාන භූමිය සඳහා අනුමත සැලසුමක් තිබෙන බවත් එම අනුමත සැලසුමට ඔබ්බෙන් ගොස් නව ඉදිකිරීම් සිදුකිරීම නීතියට පටහැනි ක්‍රියාවක් බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් එහිදී කරනු දක්වමින් පෙන්වා දී තිබේ. ඒ අනුව එවැනි ඉදිකිරීම් ඉවත් කිරීමට වෙරළ සංරක්ෂණ පනත යටතේ වගඋත්තරකරුවන්ට බලය තිබෙන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල්වරයා වැඩි දුරටත් පෙන්වා දී ඇත.

දෙපාර්ශවයම ඉදිරිපත් කරන ලද කරුණු විමසා බැලූ විනිසුරු ධම්මික ගනේපොළ පෙන්වා දී ඇත්තේ, මෙම ගැටලුව සාමකාමී ආකාරයෙන් විසඳා ගැනීම සුදුසු බවයි.

ඒ අනුව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අදාළ ස්ථානයට යොමු කොට, අදාළ භූමියේ ඉදිකිරීම් පිළිබඳ අධ්‍යයනයක් සිදු කර එහි යම් ගැටලුවක් ඇත්දැයි සොයා බැලීම යෝග්‍ය බව මෙහිදී විනිසුරුවරයා විසින් පාර්ශ්වකරුවන්ට යෝජනා කරන ලදී.

ඒ අනුව, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අදාළ භූමිය යළි පරීක්ෂා කර ඊට අදාළව නිරීක්ෂණ ලබාගැනීමටත් පසුව ඉදිරි පියවර සම්බන්ධයෙන් තීරණ ගැනීමටත් එහිදී දෙපාර්ශවයේ නීතිඥවරු අධිකරණය හමුවේ එකඟ වී තිබේ.

මෙම කටයුතු ඉටු කිරීම සඳහා සති දෙකක කාලයක් ලබා දෙන ලෙස මෙහිදී වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා ඇති අතර මෙම කටයුතු අවසන් වන තුරු පාර්ශවකරුවන් අනවශ්‍ය ගැටලු වලට මැදිහත් නොවී සාමය ආරක්ෂා කර ගැනීමට වගබලා ගත යුතු බව අභියාචනාධිකරණ විනිසුරුවරු දෙපාර්ශ්වයේ නීතිඥවරුන්ට දී ඇත.

එසේම මේ සම්බන්ධයෙන් තම තමන්ගේ සේවාදායකයින් දැනුවත් කරන ලෙසත් විනිසුරු මඩුල්ල පෙත්සම්කාර හා වගඋත්තරකාර පාර්ශවයේ නීතිඥවරුන්ට දැනුම් දී ඇති අතර එවැනි කටයුතු හරහා යම් අවාසනාවන්ත සිද්ධියක් සිදුවුවහොත් ඒ තුළින් රටට විශාල හානියක් සිදුවන බවත් මෙහිදී විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ දෙපාර්ශ්වයේ නීතිඥවරුන්ට පෙන්වා දී ඇත.

අදාළ පෙත්සම නැවත සලකා බැලීම දෙසැම්බර් මස 16 වන දාට කැඳවීමට නියෝග කළ විනිසුරු මඩුල්ල එම කටයුතුවල ප්‍රගතිය එදිනට දැනුම් දෙන ලෙසත් පාර්ශවකරුවන්ට නියෝග කරන ලදී.

2014 වසරේ ජූනි මස 6 වන දා මහින්ද රාජපක්ෂ විසින් මෙම ඉඩම එවක නායක හිමි මිහිඳුපුර මහින්ද වංශ තිස්ස හිමිට බලපත්‍රයක් යටතේ පවරා දුන් බවත් තම විහාරය අමරපුර නිකාය යටතේ විහාර හා දේවාලගම් පනතට අනුකූලව 1951 වසරේ ලියාපදිංචි කළ විහාරස්ථානයක් බවත් පෙත්සම්කාර විහාරාධිපති හිමියන් පෙත්සම තුළින් සඳහන් කර තිබේ.

එසේම මෙම විහාරස්ථානයේ කොටසක් කඩා ඉවත් කරන ලෙස වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා 2025.07.18 සහ 2025.07.25 දිනවල ලිපි නිකුත් කළ අතර, ඊට එරෙහිව පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත තමන් වහන්සේ අභියාචනයක් ඉදිරිපත් කළද එම අභියාචනය පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබෙන පෙත්සමේ සඳහන් කර තිබේ.

සිය ඉදිකිරීම් කඩා ඉවත් කිරීමේ තීරණය සම්පූර්ණයෙන් ම නීතියට පටහැනි අත්තනෝමතික මෙන් ම ද්වේෂසහගත තීන්දුවක් බවත් විහාරාධිපති හිමියන් පෙත්සම තුළින් සඳහන් කර තිබේ.

මෙම සිදුවීමේදී පැහැදිලිව පෙනෙන ආකාරයට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මැදිහත්වීමට හේතුව වී ඇත්තේ අනුමත සැලසුමට පිටින් ඉදිකිරීම් සිදුකිරීම හේතුවෙනි. එම නිසා මෙම භුමියේ නිත්‍යානුකුල අයිතියක් තිබෙන බව පැවසීම පළක් නොවේ. අධිකරණය පවසා ඇති මෙම ප්‍රශ්නය විසඳා ගත යුත්තේ අදාළ වගකිවයුතු පාර්ශව සාමකාමී ලෙසයි. ඒ සඳහා අදාළ පාර්ශව නොමැතිව මෙම සිදුවීම් හරහා වාසි ලබාගැනීමට සිටින පාර්ශවවලට මැදිහත්වීමට ඉඩ නොදීමට ආණ්ඩුව වගබලා ගත යුතුය.

leave a reply