Breaking News

ශිෂ්ටාචාරක නිරුවත මැදින් අදුරක සත්‍ය සොයා යන්නෙහිද – තිලිනා වීරසිංහ

උදය ආර් තෙන්නකෝන් “මහ තුං අපෝහකය” ප්‍රකාශනය වී වසරක් ගත වුවද ඒ පිළිබද ලාංකීය විමසීමක් අදහස් පළ කිරීමේ ප්‍රතිචාරයක් නොවුණු බවට කළ ප්‍රකාශයක් පසු ගියදා මුහුණු පොත හරහා නෙත ගැටුණි. මහ තුං අපෝහකය පෙරවදනේ මව්බිමෙන් විප්‍රවාසීව සිටිමින් ගෙවී යන කාලයෙහි අතිරික්තය විසින් විවිධ අත් හදා බැලීම් කරමින් අවසානයේ නිදහස් කාව්‍ය ආඛ්‍යානයක් බවට පත් වූ මෙ නිර්මාණය නූතන ආඛ්‍යානයේ කවි කිවිදියන්ට පුදමින් කවියා සමුගනියි.එහෙත් ඔහු සහෘදයා ගේ මෙතෙක් නිහඩ ප්‍රතිචාරය තුළද නැවැත්මක පැවැත්මක නිහඩව බලා සිටියි..දරා සිටියි..

මෙ නිර්මාණය පිළිබද ගැඹුරු නිහඩියාව නිර්මාණයෙහි සංදර්භයය විසින්ම ගොඩ නංවන ලද්දක්ද…විශ්වාඛ්‍යාන කාව්‍යයක් ලෙස කවියාම හදුන්වන දාර්ශනික ගැඹුරක විහිදී පැතිරුණ ද්වාර 55 කින් නිමවූ මේ පශ්චාත් නූතන දේශපාලන දාර්ශනික සංවාදයෙහි අරුත් අපට තවමත් වටහා ගැනීමට බර වැඩිද…

සිදුහත් සොයා ගිය අවසානයේ ඔහුගේ විශ්වීය ඥානනය විසින් අත් පත් කර ගත් ස්වභාවයෙහි සත්‍යය…අප වෙත ඉදිරිපත් කළ ඒ ස්වභාවයෙහි යථාව…වසර දහස් ගණනක් අප විමස විමසා ගවේෂණය කරන සත්‍යය අප සැබවින්ම වටහා ගන්නේද…

නොපැවැත්මක් පැවැත්මක් ලෙස ගෙන මෝහයෙන් වැසී තෘෂ්ණාවෙන් සියල්ල අත් කර ගන්නට තනන ලෝකයක්…පෙරදිග…
බටහිර…දිගු ශිෂ්ටාචාර කාල අවකාශ පසු කර නූතනත්වයේ නිරුවත්ව ම්ලේච්ජව අසරණම සත්ත්වයා වූ මිනිසා ගේ ආඛ්‍යානය උදය කවීත්වයකින් ස්පර්ශ කිරීමට වෑයම් කරයි.

සොබාදහම රිසි සේ හීලෑ කර ගත් ඉතිහාසයෙහි අන්තය…හෙට දවස විශ්වය හැකිලේද…ලොකුවේද…නැතිවේද නොදන්නා මානව විඤ්ඤාණය…ලොව යටත් කරමින් ගොඩනැංවූ ශිෂ්ටාචාරය නිදහස තවමත් නිශ්චිත අරුත් නොගැන්වූ නිදහස හිර කර ගත් ජීවිත තමාගේම පැසක…
කිසිදු විප්ලවයකින් සම්පූර්ණව පොළා නොනැගි මිනිස් නිදහස…උදයගේ කාව්‍යය දාර්ශනිකයන් අතරින් ගලා යෑමට සලස්වමින් ප්‍රශ්න කරනු ලබයි…

උදය ආර්. තෙන්නකෝන්
දහ හතර වැනි ද්වාරය…
ස්වර්ගයේ සිහිනය….

“සත්‍යයේ හිමිදිරිය
තුළ ඇත්තේ යුරෝපය ස්වර්ග සිහිනයේ
සත්‍යයේ හිමිදිරිය නිදහස වට කළ පවුරක්මය..ඇතුළතින් විල් තෙර කැළඹේ.”

හර්මන් හෙස – ඔබ නැතිව උපුටනය.

“සෑම මිහිරකම වේදනාව පානය කරමි
නොදැනගත් අමිහිර හුදකලාව ම යි”

“විප්ලවයක්
සෙවල ඉතිරිකර අන්තර්ධාන වෙයි
අලුත් නිලධාරීවාදය කෆ්කාගේ උමතුව”

සෑම විප්ලවයක් කෙළවරම නැවතත් අලුත් හැඩයකින් අලුත් ව්‍යුහයකින් ගොඩ නැගෙන සමාජ යදම් කවියා සියුම් පරිකල්පනයකින් ග්‍රරහණය කරයි.
නිදහසේ රහස දැනුවත් කිරීම තුළ දුෂ්ඨත්වයක් ඇති හැම තැනම මුග්ධත්වයම පවතී..

දාර්ශනික එළඹුම් විශ්වයේ සත්‍යයන් සමග ලාංකික සහෘද මනස්‍ යා කිරීමට කවියාට සිත් වන්නේ තමා සොයා යාමට ආත්මය ගවේෂණයට සත්‍යයෙහි යථාව පිරික්සීමට මිනිසාගේ කෲරත්වය ශිෂ්ටාචාර පවුරු පදනම් තුළ හිද දකින්නට අවකාශ සලසවමිනි..

මම යැයි මට කියමි…
එහෙත් මා කවුද…

උදයගේ නිර්මාණය පුරා මේ මමත්වයේ ගොඩ නැංවීම,මිත්‍යාව,මමත්වය හරහා අනෙකා වැනසීම…ආධිපත්‍යය පැතිරීම සංඥාවන් සංජානය කිරීම හරහා මනුෂ්‍ය ඝාතනය,ස්වාධිපත්‍යය නිදහස, බල අරගලය වැනි බොහෝ සංකල්ප හා සංසිද්ධීන් එකිනෙක මත ද්විඝට්ඨනය වන ආකාරය අපූර්ව රිද්මයකට කැටි කර විහිදයි.

“ලෝකය උඹලටයි
උඹලාට
නුඹලා ම
කියාගත්
මිනිස්සු යි
හිනාවෙන හඬ
රැලි නගා තරංගය
යන හඬ
නොපෙනෙන නෑසෙන ලෝකය බෙදාගෙන, බදාගෙන
බදාමෙන් වෙන් කරන මායිම
බෝම්බෙන් කුඩු කරයි සේරම”

“හිනාව ඇතුලෙන් දෝංකාරය
කැඩී ගිය තාප්ප
බර්ලින් බැම්ම
ලෝක දෙක
ලෝක එක
යුද්ධ සීතල මළ මිනී අතර අඩි තියා නොපෑගෙන්නට උඩින් හෙමින්
කර තියාගෙන
මානව හිමිකම
නිදහස
සාමය
සායම් මුහුණ “

ඉතිහාසයේ මිනිසා ඇදහීම හා බලය වෙනුවෙන් භෞතිකය වෙනුවෙන් අත් පත් කර ගැනීම ගොඩ ගසා ගැනීම වෙනුවෙන් විශ්වය බෙදා ගැනුමට බදා ගැනුමට මිනිසාට එරෙහිවම අවි අමෝරා ශිෂ්ටත්වය වළලන කාව්‍ය ආඛ්‍යානයක් ගොඩ නංවන උදය ගේ ආඛ්‍යානය මිනිස් සංතානයෙහි සංකීර්ණත්වය කවි බසට මිශ්‍ර කිරීමට ගත් වෑයම හරහා
“මහ තුං අපෝහකය” තරමක් සංකීර්ණ නිර්මාණයක් බවට පත්ව ඇතැයි සිතේ..

උපහාසය හා උත්ප්‍රාසාත්මක වැකි බහුල විවිධ භාෂා ශෛලීන් සම්මිශ්‍රිත නව ආකෘතිමය අත් හදා බැලීමක් ඔස්සේ නිමවූ “මහ තුං අපෝහකය” අපට විවේකී මනසකින් රසවිදීමට නිමවූ අපගේම චිත්ත ගවේෂණයකි. ඒ තුළ සැරි සරමින් කරන සියුම් ගවේෂණයේදී අපගේ චිත්ත සංතානය තුළ ගැඹුරු පතුළ කදී අපට අපවම අභිමුඛ කරන්නට උදය ආර්.තෙන්නකෝන් සමත්ව ඇත.

“මම සොයන්නෙක් වෙමි.
සොයා යන්නෙක් වෙමි
සොයා ආවෙක් වෙමි.
ඔබ කවුද
මා කවුදැයි නො අසන්න
නො හැකි ය මේ දොර අරින්න
සියවස් ගණනක් හිර කොට ඇත මා
මීට වඩා යමක්
කීමට පමා”

” යතුරු මා සතු
නැත සන්තක
අගුල හැර නො හැකි ය ඔබගේ හඬ
වේදනාවකි මට…”

“තැනක් නැති තැනකට” ද්වාරය…
“මහ තුං අපෝහකය.”

leave a reply