Day: May 12, 2022

  • අරගලකරුවන්ට පහරදීමට සිරකරුවන් යොදාගත්තේද යන්න ගැන විමර්ශනයක්

    අරගලකරුවන්ට පහරදීමට සිරකරුවන් යොදාගත්තේද යන්න ගැන විමර්ශනයක්

    ගෝල්ෆේස් අරගලය් සිටින සාමකාමී විරෝධතාකරුවන්ට පහරදීම සඳහා වටරැක බන්ධනාගාරයේ රැඳවියන් යොදා ගැනීමේ සිදුවීම ගැන විමර්ශනයක් ආරම්භ වී තිබේ.

    මේ සැකය නිර්මාණය වූයේ සිරකරුවන්යැ යි කියන පිරිකට පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යවල සංසරණය වීමෙන් අනතුරුව ය.

    මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම කටයුතු යොදා තිබේ.

    ජනාධිපති කාර්යාලය අසල සහ අරලියගහ මන්දිරය අසල දී එල්ලවූ ප්‍රහාරයන්ට වටරැක බන්ධනාගාර රැඳවියන් සම්බන්ධ වූයේදැ යි විමසීම සඳහා අද දිනයේ දී (මැයි 12) බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සහ තවත් නිලධාරියෙකු ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවට කැඳවා තිබේ.

    සාමකාමී විරෝධාතාකරුවන්ට පහරදුන්බවට චෝදනා නගමින් ජනතාව විසින් රඳවාගෙන සිටි පිරිසක් පිළිබඳ වීඩියෝවක් පසුගිය 09 වැනිදා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය.

    සාමකාමී විරෝධාතාකරුවන්ට පහරදුන්බවට චෝදනා නගමින් ජනතාව විසින් රඳවාගෙන සිටි පිරිසක් පිළිබඳ වීඩියෝවක් පසුගිය 09 වැනිදා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය.

  • රනිල් 6වෙනි වතාවටත් අගමැති වෙයි

    රනිල් 6වෙනි වතාවටත් අගමැති වෙයි

    නිදහස් ශ්‍රී ලංකාවෙි 14 වන අගමැතිවරයා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ අද (12)පස්වරුවේ දිවුරුම් දී තිබේ.

    සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ද අගමැතිධූරය ලබාගන්නා ලෙස ඉල්ලීම් ඉදිර්පත්ව තිබූ අතර ඔහු අවසානයේ ඒ සඳහා කැමැත්ත ද ප්‍රකාශ කර තිබුණි.

    ජනාධිපති ධූරයෙන් ඉවත්වීම ඇතුළු කොන්දේසි කීපයක් මත අග්‍රාමාත්‍ය ධූරය බාර ගැනීමට එකඟත බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනපතිවරයාට ලිපියක් ද යවා ඇත. කෙසේවෙතත් අවසානයේ අගමැති තනතුරට පත්ව ඇත්තේ රනිල් වික්‍රමසිංහයි.

    2019 මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය අන්ත පරාජයක් ලබා ගත් අතර පක්ෂයට හිමි වූ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට පැමිණුනි.

    විසිවන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් බලවත් වූ ජනාධිපතිවරයකු යටතේ තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් පැවති අවස්ථාවක තනි මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට පැමිණි රනිල් වික්‍රමසිංහ රටේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වීම පිටුපස ඩීල් දේශපාලනයක් පවතින බව බොහෝ දෙනෙකුගේ මතය වී තිබේ.

    රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස මෙලෙස දිවුරුම් දෙන්නේ 6 වන වතාවටයි.

    හය වතාවක් රටක අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වූ ලොව එකම දේශපාලකයා වන්නේ ද රනිල් වික්‍රමසිංහයි.එය ලෝක වාර්තාවක් ලෙස ද සැලකේ.

     

  • නව ආණ්ඩුව නිසා සමගි ජන බලවේගය දෙකඩ වෙන ලකුණු

    නව ආණ්ඩුව නිසා සමගි ජන බලවේගය දෙකඩ වෙන ලකුණු

    වර්තමාන ජනාධිපතිවරයා යටතේ පිහිට වන ආණ්ඩුවක කිසිම තනතුරක් බාර ගැනීමට සූදානමක් නැති බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසා තිබේ.

    නව ආණ්ඩුවේ අගමැති ධූරය රනිල්ට නැතහොත් ෆොන්සේකාට ලබාදෙන බවට විවිධ ආරංචි මාර්ගවලින් පැවසිනි.

    නමුත් ෆොන්සේකා පවසා ඇත්තේ තමා සාමකාමී අරගලය සමඟ කොන්දේසි විරහිතව සිට ගන්නා බවත් අරගලකරුවන් සමග සාකච්ඡාවකින් තොරව රාජපක්ෂවරුන්ගේ අර්බුදය විසඳීමේ කොටස්කරුවකුවීමට කිසිදු සූදානමක් නැති බවයි.

    ඔහු මෙසේ ප්‍රකාශ කර ඇත්තේ සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනි. තමා සම්බන්ධයෙන් පැතිරෙන අසත්‍ය කටකතා ප්‍රතික්ෂේප කරන බවද ඔහු පැවසීය.

    මේ අනුව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හෙට (12) හෝ අනිද්දා (13) ශ්‍රී ලංකාවේ අභිනව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට නියමිත බව පැවසේ.

    රටේ ඇති වී තිබෙන අර්බුදය විසඳීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර ඊයේ රාත්‍රී සාකච්ඡාවක්ද පැවැත්වුනු අතර අද (12) පෙරවරුවේ ද සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව පැවසේ.

    මේ අතර පවත්නා දේශපාලන අර්බුදය හමුවේ අග්‍රාමාත්‍ය ධූරය සම්බන්ධයෙන් සමගි ජනබලවේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස සෘජු තීරණයක් නොගැනීමේ තත්ත්වය හේතුවෙන් එම පක්ෂය තුළ අර්බුදයක් නිර්මාණය වී තිබේ.

    මේ නිසා රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුවක් පිහිටවනු ලැබුවහොත් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක්ද නව රජයට එක්වීමට සූදානමින් සිටින බවයි වාර්තා වේ.

    මේ වනවිටත් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු සමගි ජන බලවේගයෙන් ඉවත්ව ස්වාධීන වීමටත් ඉදිරියේදී බිහිකෙරෙන ආණ්ඩුවකට සහාය දීමටත් තීරණය කර තිබේ. මනූෂ නානායක්කාර ද ඔහු සමග එක්ව ඇති අතර සජබ මන්ත්‍රී කණ්ඩායමේ තවත් මන්ත්‍රීවරුන් පෙළක්ම ඔවුන් සමග එක්වීමට නියමිත බවයි ආරංචිමාර්ග සඳහන් කරයි.

  • නව ආණ්ඩුවක් සමඟ 19වන සංශෝධනය  යලි බලාත්මක කරනවා – ජනපති

    නව ආණ්ඩුවක් සමඟ 19වන සංශෝධනය යලි බලාත්මක කරනවා – ජනපති

    මේ සතිය තුළ පාර්ලිමේන්තුවේ බහුතරයගේ විශ්වාසය දිනාගත් සහ ජනතාවගේ විශ්වාසය තහවුරු කළ හැකි අග්‍රාමාත්‍යවරයෙක් හා අමාත්‍ය මණ්ඩලයක් පත්කරන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ රටේ දේශපාලන අස්ථාවරත්වය ඇතිවීමෙන් පසු පළමුවරට ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදුකරමින් ඊයේ (මැයි 11) පැවසීය.

    ජනාධිපතිවරයා කියා සිටියේ ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට වඩා බලතල ලැබෙන ආකාරයට 19 වන සංශෝධනයේ අන්තර්ගත දෑ නැවත බලාත්මකවන පරිදි ව්‍යවස්ථා සංශෝධනයක් කිරීමටද තමා කටයුතු කරන බවයි.

    “අද අපේ රට ඉතිහාසයේ බරපතලම අර්බුදයකට මුහුණ දී තිබෙන අවස්ථාවක්. මේ අවස්ථාවට එන්නට ප්‍රථම ආර්ථික අර්බුදය නිසා ජනතාව මුහුණ දෙමින් සිටි දුෂ්කරතා නිසා සමාජ, දේශපාලන අස්ථාවරත්වයක් නිර්මාණය වුණා.” ජාතිය අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැවැසීය.

    “මේ පැවති ගැටලුවලට විසඳුම් හැටියට විවිධ පාර්ශ්වයන් ඉදිරිපත් කළ පොදු යෝජනාවක් වුයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන බහුතරයක් පක්ෂ එකතුකරන නව ආණ්ඩුවක් පිහිටුවන ලෙස. පසුගිය කාලයේ මම මේ සඳහා විවිධ පක්ෂ සහ කණ්ඩායම්වල නායකයන් සමග සාකච්ඡා බොහොමයක් කළා. ඒ අදහස මමත් පිළිඅරගෙන මේ විසඳුමට අවශ්‍ය පසුබිම සකස් කරන්න අසීරු හා දැඩි තීන්දු කිහිපයක්ම අරගත්තා.”

    “පසුගිය කැබිනට් මණ්ඩලය පත් කිරීමේ දී එවකට හිටි ජ්‍යෙෂ්ඨ ඇමතිවරු විශාල ප්‍රමාණයක් ඒ වගේම රාජපක්ෂවරු සියලුදෙනාම නැති තරුණ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත නව ඇමති මණ්ඩලයක් පත් කළා. ඒ වගේම අගමැතිවරයා ඉල්ලා අස්වී සමස්ත කැබිනට් මණ්ඩලයම විසුරුවලා නව අගමැතිවරයෙකුට සහ කැබිනට් මණ්ඩලයකට අවස්ථාව සලසා දෙන්නට එකඟතාවකට පැමිණියා,” යනුවෙන් ඔහු පැවසීය.

    “නමුත් මැයි මස 09 වන සදුදා උදෑසන ඔබ සියලුදෙනාම දන්නා පරිදි ඉතා අවසනාවන්ත තත්ත්වයක් ඇති වුණා. මේ සිදුවීම පාදක කරගෙන ඉතාම සුළු වේලාවක් තුළ දිවයින පුරා කළහකාරී සිද්ධීන් ඇති වෙන්න පටන් ගත්තා. ඇඳිරි නීතිය පනවලා ත්‍රිවිධ හමුදාව ස්ථානගත කරන්නටත් ප්‍රථමයෙන් මේ ක්‍රියාදාමය සංවිධානාත්මකව රට පුරාම සිදු වුණා. පැය කිහිපයක් ඇතුළත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඇතුළු නව දෙනෙක් පමණ අමානුෂික ලෙස පහරදී මරා දමනු ලැබුවා. ඒ වගේම 300කට ආසන්න සංඛ්‍යාවක් රෝහල්ගත කළා. ඒ වගේම නිවාස විශාල ප්‍රමාණයක් ගිනි බත් කළා. රට පුරාම මංකොල්ල කන්න පටන් ගත්තා.”

    ජනාපතිවරයා තවදුරත් පැවසුවේ මෙම සිද්ධීන්ට පාදක වූ මුල් සිද්ධිය පක්ෂපාතීත්වයකින් තොරව තමා දැඩි ලෙස හෙළා දකින බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කිරීමටත් නිසි කටයුතු කිරීමටත් පොලිස්පතිවරයාට උපදෙස් දී තිබෙන බවයි.

    “ඒ කෙසේ වෙතත් ඉන් පසුව සිදු වූ මිනීමැරුම්, පහරදීම්, බිය ගැන්වීම්, දේපළ විනාශ කිරීම් ඇතුළු මේ ම්ලේච්ඡ සිදුවීම් මාලාව කිසිසේත්ම සාධාරණීයකරණය කිරීමට හැකියාවක් නැහැ. මෙම සිද්ධිය සිදුවූ මොහොතේ ඉදලා ආරක්ෂක ලේකම්, ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්, පොලිස්පති, බුද්ධි අංශ ප්‍රධානීන් ඇතුළු ආරක්ෂක මණ්ඩලය සම්බන්ධ කර ගනිමින් මම රට සාමකාමී කරන්න පියවර ගනිමින් සිටිනවා.”

    “මේ අවස්ථාවේදී රජයේ මූලිකම වගකීම වන්නේ සියලුම පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම. ඒ නිසා කළහකාරීන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන ලෙස ත්‍රිවිධ හමුදාවට සහ පොලීසියට නියෝග ලබා දී තිබෙනවා. මේ සිද්ධියට සම්බන්ධ වූ සැලසුම් කළ, අනුබල දුන් සහ ප්‍රචාරණය කළ සෑම දෙනාටම විරුද්ධව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමටත් පියවර ගන්නවා.”

    මෙවැනි කඩාකප්පල්කාරී ක්‍රියාවලින් ඉවත් වී සිටින ලෙස ඉල්ලා සිටි ජනපතිවරයා පැවසුවේ මෙතෙක් සිදු වූ ජීවිත හා දේපළ හානි දෙස බලා තවදුරටත් වෛරය වපුරුවන කණ්ඩායම් හෙළා දකින්නට මේ රටේ වගකිවයුතු පුරවැසියන්ගෙන් ඔහු ඉල්ලා සිටින බවයි.

    ඔහු තවදුරටත් පැවසුවේ රටේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරන අතරම රටේ දේශපාලන ස්ථාවරත්වය ඇති කිරීම සඳහා ජනපතිවරයා සියලු පක්ෂ නායකයන් සමග කටයුතු කරන බවයි.

    “වර්තමානයේ තිබෙන තත්ත්වය පාලනය කරන්න, ඒ වගේම රට අරාජිකත්වයට පත්වීම වළක්වා ගන්න දැනට ඇණහිට තිබෙන රජයේ කටයුතු පවත්වාගෙන යන්න නව ආණ්ඩුවක් පිහිටුවීමට මා කටයුතු කරමින් සිටිනවා.”

    “මම මේ සතිය තුළ පාර්ලිමේන්තුවේ බහුතරයකගේ විශ්වාසය දිනාගත්, ඒ වගේම රටේ ජනතාවගේ විශ්වාසය තහවුරු කර ගන්න පුලුවන් අග්‍රාමාත්‍යවරයෙක් සහ අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීමට කටයුතු කරනවා,” යනුවෙන් ජනපතිවරයා පැවසීය.

    “ඊට පස්සේ පාර්ලිමේන්තුවට වඩා බලතල ලැබෙන ආකාරයට 19 වන සංශෝධනයේ අන්තර්ගත දෑ නැවත බලාත්මක වන පරිදි ව්‍යවස්ථා සංශෝධනයක් කිරීමට ද මා කටයුතු කරනවා.”

    “පත්වන නව රජයේ අගමැතිවරයාට නව වැඩපිළිවෙළක් ඉදිරිපත් කර රට ඉදිරියට ගෙන යන්න අවස්ථාව සලසා දෙනවා. ඒ වගේම විවිධ පාර්ශ්වවලින් ජනාධිපති ක්‍රමය අහෝසි කරන ලෙසත් ඉල්ලීම් ලැබි තිබෙනවා. පත්වන නව රජය රට ස්ථාවරත්වයට පත් කිරීමෙන් පසු සියලුදෙනාම සමග සාකච්ඡා කර ඒ සඳහා කටයුතු කිරීමටත් ඉඩ ප්‍රස්ථාව සලසා දෙනවා.”

    “මෙම අතිශය දුෂ්කර අවස්ථාවේදී රට කඩාවැටීමට ඉඩ නොතබා මහජනතාවගේ ජිවිත වගේම ඔවුන්ගේ දේපළ ආරක්ෂා කරගෙන ජන ජිවිතයට අත්‍යාවශ්‍ය සියලු දේ සැපයීමට රාජ්‍ය යාන්ත්‍රණය අඛණ්ඩව ක්‍රියාත්මක කරන්න මට සහය දෙන ලෙස මම ඉල්ලා සිටිනවා.”

    “එබැවින් මේ අවස්ථාවේදී සාමකාමීව සහ කල්පනාකාරිව කටයුතු කරන මෙන් සියලුම ශ්‍රී ලාංකික ජනතාවගෙන් මම ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා,”යනුවෙන් ඔහු පැවසීය.