Breaking News

හර්ෂද සිල්වා නටන්න ඕනා මගේ පදේට – රනිල් කියයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන ගිවිසුම පාර්ලිමේන්තුව විසින් සම්මත කර අවසන් බැවින් රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපතිවරයා ඊට අනුකූලව ඉදිරියට වැඩ කටයුතු සිදු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා තිබේ.

කාරක සභා සහ උපදේශක සභා වල රීති එම සභා තුළ රැස්වන මන්ත්‍රීතුවරුන්ගේ සාකච්ඡාවෙන් තීන්දු කළ යුතු බවද ජනාධිපතිවරයා කීය. මෙම ප්‍රකාශය සිදුකර ඇත්තේ රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ නව සභාපතිවරයා ලෙස සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පත්කිරීමෙන් අනතුරුවයි.

පාර්ලිමේන්තුවේ වැදගත්ම කාරක සභාව ලෙස මුදල් කාරක සභාව හැඳින්වේ. රටේ මූල්‍ය කටයුතු හැසිරවීමේ බලය ඇත්තේ පාර්ලිමේන්තුවටයි. මූල්‍ය පාලන කටයුතු අධීක්ෂණය කිරීමේ කටයුතු මුදල් කාරක සභාවට පැවරේ. මුදල් කාරක සභාවේ සභාපති ධූරය මාස කිහිපයක් තිස්සේ පුරප්පාඩුව පැවතුණි.

රටේ මූල්‍ය පාලන බලතල පාර්ලිමේන්තුව සතු බව පැවසුනත් එය ජනාධිපති විසින් පාලනය කරන ආකාරය පසුගිය කාලය පුරාම දැකිය හැකිවිය. මුදල් ඇමතිවරයා වන්නේ ජනාධිපතිවරයායි. උදාහරණයක් ලෙස මැතිවරණය සඳහා මුදල් ලබාදෙන ලෙස මැතිවරණ කොමිසම ඉල්ලා සිටියදී අධිකරණය විසින් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබාදෙන ලෙස නියෝග කරත් මුදල් ලබාදීමක් සිදුවන්නේ නැත. රනිල් වික්‍රමසිංහ මුදල් ඇමතිවරයා ලෙස සහ විධායක ජනාධිපති ලෙස එය පාලනය කරමින් සිටියි.

මෙම තීරණවලට එරෙහිව ප්‍රධාන විපක්ෂය ලෙස පාර්ලිමේන්තුව තුළ හඬක් නැගිය හැකිව තිබුනේ සමගි ජන බලවේගයටයි. මුදල් කාරක සභාවේ සභාපතිවරයා ලෙස එම පක්ෂයේම ප්‍රබලයෙක් පත්කිරීම පිටුපස සමගි ජන බලවේගය නිහඬ කිරීමේ අරමුණක් තිබෙනන්නට ඉඩ ඇත. ඊට අමතරව සමගි ජන බලවේගයේ බොහෝ පිරිසක් ආණ්ඩුව සමඟ එකතුවීමේ සූදානමක් පවතියි. හර්ෂ ද සිල්වා වැනි මන්ත්‍රීවරු එහිදී ඉදිරියෙන්ම සිටියි. හර්ෂද සිල්වා වැන්නන්ට රනිල් ඉදිරියට ගෙනයන IMF වැඩපිළිවෙල සම්බන්ධයෙන් ද කිසිදු ගැටළුවක් නැත. රනිල් මේ නොකියා කියන්නේ තමන් ගහන පදේට නැටීමට ඉදිරියේදී හර්ෂට සිදුවෙනු ඇති බවයි.

 

leave a reply