Breaking News

අතේ තියන කඩුවෙන් විලි වහගන්න පුළුවන්ද සිංහයෙක්ට

හිල්මි සුපුන් 

“තැබෑරුමකට වරෙන් සිංහයෝ ”  නලින්ද සංජීව ලියනගේ කවියාගේ දෙවන කවි පොත ජනගත වෙන්නේ 2017 වර්ෂයේ දී. 2021 මාර්තු 27 වන දා කවියක් සමග සැන්දෑවක් කාව්‍ය විචාරාත්මක 18 වන zoom වැඩ සටහනේ කතාබහට බඳුන් කළේ ඉහත සඳහන් තැබෑරුමට වරෙන් සිංහයෝ නලින්ද සංජීව ලියනගේ ගේ කවි පිළිබඳවයි . මහින්ද සෙනරත් ගමගේ , අමිල යහලෙවල, නිසංසලා ගම්ලත්, රසික ශිරන්ත, වසන්ත ප්‍රදීප් හෙට්ටිආරච්චි ආදී අය ඔවුන් ඔවුන්ගේ සමාජ දේශපාලන සංස්කෘතික භාෂා කාව්‍යමය හැදැරීම් ඇතුළේ සිට අදහස් ප්‍රකාශ කළා . මා හිතනවා එදා නලින්දගේ කවි පොත පිළිබඳව අදහස් දැක්වූ කිසිවෙක්ගේ අදහස් ප්‍රතික්ෂේප නොකර භාර ගැනීමට හැකි වන ආකාරයෙන් හැම අදහස් දැක්වීමක්ම නියම තැනට ඉලක්කගත වෙලා තිබුණා කියලා. මා මෙසේ පවසන්නේ සමහර සංවාද සාකච්ඡා අවස්ථාවලදී යොදාගත් මාතෘකාව හෝ සාකච්ඡාව පරිබාහිර කරමින් වෙනත් වල්-පල් සාකච්ඡාවට ගත් අවස්ථාවන් නිසා කාලය අපතේ යෑම් සිදු වීමේ අත්දැකීම් කිහිපයක්ම ලද හෙයිනි .

මම කවිය පිළිබඳව හෝ වෙනත් සාහිත්‍යයක් පිළිබඳව විචාරකයෙක් නොවුනත් යම් සාහිත්‍ය කෘතියක් රසවිධ එය මගේ සීමාවේ සිට යම් යම් අවස්ථාවල දී ඒ පිළිබඳව අදහස් දක්වා තිබෙනවා. විශේෂයෙන්ම අනිකුත් සාහිත්‍යයට වඩා කවිය පිළිබඳව විශේෂ ඇල්මක් සහ උනන්දුවක් තිබෙන හෙයින්ම ඕනෑම කවියක් කියවීම මගේ පුරුද්දකි. ඒ අතරින් මට නලින්ද විශේෂ වන තැන් දෙකක් තිබෙනවා. පළමුවෙනි එක ඔහුව හරිහැටි හදුනන්නෙ නැති මොහොතක තැබෑරුමකට වරෙන් සිංහයෝ කාව්‍ය සංග්‍රහය එළි දක්වන අවස්ථාවට අදාලව විවර වෙබ් අඩවිය වෙනුවෙන් ඔහුගෙන් එ පිළිබඳව සාකච්ඡාවක් ගෙන පළ කිරීම. ඔහුගේ කවිය යලි මට දෙවන වතාවට හමුවන අවස්ථාව වන්නේ ” ඩිරෙක් මාකටින් ” කවියට අදාළ ප්‍රස්තුතයම ගෙන ගීතයක් 2020 වසරේ ජන ගතවීමත් මේ නිර්මාණ දෙක කතා කරන එකම සමාජ ප්‍රශ්නය පිළිබඳව නැවතත් විවර වෙබ් අඩවියට ලියන අවස්ථාව.

මේ අවස්ථාව නලින්ද, නලින්ද ගේ කවිය සහ මම හමුවන තුන්වන අවස්ථාව. මගේ කියැවීමට අනුව “තැබෑරුමකට වරෙන් සිංහයෝ ” කවිපොත වැඩි බරක් තබන්නේ ඔහු ගන්න ප්‍රස්තුත දේශපාලන දෘෂ්ටි කෝණයකින් පාඨකයා වෙත ළඟා කිරීමටයි . විවිධ මාතෘකා ඔස්සේ ඔහුගේ කවි පොතට කවි 33 ක් ඇතුළත් කර තිබේ . ඉන් වැඩිමනක් සෞන්දර්යාත්මක ,දේශපාලන කවි වෙනවා පමණක් නොව ඍජු දේශපාලන ප්‍රකාශනද බවට පත්වෙනවා. මගේ පෞද්ගලික ප්‍රියමනාපයට අනුව මම දේශපාලන කවියට වඩාත් කැමති නිසාම මම නලින්දගේ කවියට කැමතියි . ඒ කැමැත්ත ප්‍රකාශ වෙන්නේ මේ නිද්‍රාශීලී සමාජය නලව නලව නිදි කරනවාට වඩා, හඬව හඬව දෙපරන්දස්සට ඔලුව ඔබනවට වඩා, හිත පාර පාර ,ඇඟිල්ලෙන් ඇන ඇන, ටොකු ඇන ඇන රිද්ද රිද්ද අවදියෙන් තියන්න පුළුවන් නම් හොඳයි කියලා මම සිතන නිසයි .

“තැබෑරුමකට වරෙන් සිංහයෝ” හරහා නලින්දට එදේ කරන්න හැකියාව ලැබී තිබෙනවා . ඒ සඳහා ඔහුට ඉවහල් වෙන්න ඔහුගේ දේශපාලන භාවිතාව සහ ජීවන විලාශය .නලින්ද යනු කෙනෙකු ස්වර්ගයෙන් වැඩම කර මේ ලෝකෙ වෙනස් කිරීම කරන තෙක් බලා ඉන්න කෙනෙකු නොව ක්‍රියාකාරී මැදිහත් වීමෙන් මේ සමාජ ක්‍රමය වෙනස් කිරීම තුලින් මානව සංහතිය යහ පැවැත්ම තීරණය කළ හැකි බව විශ්වාස කරන කවියෙකි .

අපි අපේ නෙමෙයි කියලා හිතන ප්‍රශ්න නලින්ද කවිය හරහා අපේ පැත්තට හරවල තිබෙනවා.අපට ඒ ගැන හිතන්න පෙළඹවීමක් කරන්න ඔහු සමත් වෙනවා. ඒ සදහා උදාහරණයක් ලෙස “ඩිරෙක්ට් මාකටින් ” , ” දියණිය සහ විදෙස්ගත පියා අතර හසුන් හුවමාරුව ” , “නායගිය දවසක උදෑසන” “ඇත්ත කතාවක්” වැනි කවි ගන්න පුළුවන්.

පිටේ බැදන් කොම්පැණියෙන් දුන් හීන
ලේන් එකේ දොර දොර යන මිතුරාණ
පෙනේ දහදියෙන් කරවුණ කළු මූණ
අතේ තිබෙන ආලේපෙන් සුදු නූණ

ගදින් කිළිටි අඩුවක් නැති බෝඩිමට
සමන් මලින් දවසක් පැන් ඉස කුමට
මචන්,හුස්ම හිර වෙයි ඔය ටයි එකට
වරෙන් දුමක් දානව නම් කාමරෙට

“පවරා පවුලෙ සුක්කානම මගෙ අතට
වැටුණා තාත්තා කුණු ලොරියෙන් බිමට
බිඳුණා මැටි පහන බය වී කළුවරට
දිව්වා ගණ දෙවිඳු පොත් මේසෙන් දුරට”

උඹ කී කතා මුහු වෙයි සිගරැට් දුමට
නොකියූ මගේ තතු වෙනසක් නැත දැනට
නොකිපී දොරින් පිටමන් කල නුවරුනට
හිනැහී යලිත් යන හැටි ඊලග දොරට

එන්න එන්න සැඩ වෙයි ජල කඳ ඉහල
එකම ඔරුවෙ අපි පාවෙනවා පහල
දියට වීසි කොට කමකට නැති හබල
ගිලෙමු,නැතොත් පිහිනමු ඉවුරට නිසල

“තැබෑරුමකට වරෙන් සිංහයෝ” හි හමුවන ” ගසක් , ඇතැම් සැඳෑ වල අහසද කලාගාරයකි, කසළ චක්‍රය ” වැනි කවි නැවත නැවත කියවන්නට සහ ඒ ඔස්සේ හිතන්නට අර්තමාන ගණනාවක්ම හංගා තබ න්නට ඒ හරහා කවිය කියවන්න කුතුහලයට පත් කරමින් ඒ වෙනස් වෙනස් මානයන් ගැන යළි යළි සිතන්නට පොළඹවන්නට ඔහු මේ කවි තුළින් සමත් වී තිබෙන බව මට හැඟෙන්නේ ඒ අවුලේ පැටලුම් කරුවෙක් වන්නට මට සිදු වූ නිසයි. මා සිත් ගත් කවි අතර “ගසක් ” කවිය ඉතා අපූර්ව කවියකි. එම කවියේ වඩා අපූර්ව තැන ලෙස මට හමුවන්නේ,

මිදුණු පසු
අවසාන එලයද තුරුලින්
පක්ෂියකු හෝ
නොඑන වග දනී මැනවින්
මගේ යැයි මගේ යැයි
රණ්ඩු වෙන පොඩි උන්
කොහේ නම් ඉඳීවිද
තව නොබෝ දිනකින්

“මගේ යැයි මගේ යැයි රණ්ඩු වෙන පොඩි උන් කොහේ නම් ඉඳීවිද තව නොබෝ දිනකින් “ දරුවන් ලොකු මහත් වන විට බොහෝ දෙමව්පියන් ගේ මුවින් පිටවෙන දෙබසක්ය මේ . දරුවන් දෙතුන් දෙනා ඉන්න පවුල් වල දෙමව්පියන්ව බෙදාගන්නට දරුවන් රණ්ඩු කරනවා. එකිනෙකාගෙන් ඇහුවොත් ලොකු වෙලා මොකද කරන්නේ කියලා බොහෝවිට දරුවෝ කියන්නේ අපි අම්මව තාත්තව දාලා යන්නේ නැහැ කියලා. නමුත් කලාතුරකින් හැර ඒක එහෙම වෙන්නේ නැහැ. දරුවන්ට දෙමව්පියන් හැර යන්න වෙනවා. දෙමව්පියන්ට නිසි කල ආ විට දරුවන්ව අතහරින්න වෙනවා. විශේෂයෙන්ම මෙන්න මේ මොහොතේදී පිටතට නොපෙන්නුවත් වඩා දුක්ඛිත අපහසුතාවයට පත් වන්නේ දෙමව්පියන් . ඒ තමන්ගේ දරුවන්ගෙන් වෙන්වෙන්න සිදුවීම එහෙම නැත්නම් ඔවුන්ට ඔවුන් හැර යන්නට සිදු වීම කියන වෙන්වීමේ සිදුවීම මුල්කරගෙන. ගසක් කිසිවක් ම බලාපොරොත්තු නොවෙයි. තමන්ට දෙන්න පුළුවන් උපරිම දේ අනෙකාට ලබාදෙන සොබාදහමේ අපූර්ව නිර්මාණයකි ගස . එල පිරී තිබෙන විට හැමෝම එක්රොක්වී එල භුක්ති විඳින අතර මල් පිරී තිබෙන විට හැමෝම ඉන් හැකි ඵල ප්‍රයෝජන ගෙන නෙතින් ලස්සන විඳ ගන්න අතර කිසිවක් ම නැති වන විට ඒ හැමෝම ගස අතහැර යනවා. ගසක් නම් කවිය තුළ මා කම්පනය වෙනවා ස්ථානය එයයි . සමස්ත කවියෙන් වෙනමම කතාවක් කිව්වත්, මේ පුංචි පද කිහිපය මා කොටු කරන්නෙම ඉහත සංසිද්ධියට ය.

කාව්‍යමය දුබලතා භාෂාමය අඩුපාඩු තිබුනත් අපි පොත හීන්සීරුවේ කියවන විට සිත තිගැස්මට පත්කරන කවි බොහොමයක් හමු වෙනවා. “ඇතැම් සැඳෑ වල අහසද කලාගාරයකි” මේ කවිය තුළින් කවියා අපට මොනවද කියන්නේ කියන එක වැදගත්, මේ කතාව බොහෝ කවියෝ අපිට කියලා තියෙනවා විවිධ විදිහට විවිධත්වයන් ගෙන්. නූතන ජීවිතය තුළ ජීවත් වෙනවා හැර වෙන කිසිවක් ම කර ගැනීමට වෙලාවක් වෙන්කර ගැනීමට අපට පුළුවන් කමක් නෑහැ. ඒ සඳහා වෙන් කරන්න කාලයකුත් අපිට නැහැ, මිනිහෙක් තමන් වෙනුවෙන් කළ යුතු සහ කරගත යුතු දේවල් එක දෙක හැර අනිත් කිසිවක් ම තමන් වෙත ළඟා කර ගන්න උත්සාහ කරන්නෙත් නැහැ මොකද මේ අපි ජීවත් වෙන අධි පරිභෝජනවාදී රටාව තුළ අපට ඉඩමක් ගෙයක් කාර් එකක් කනව බොනව කියන සීමිත අව ශ්‍යතාවයන් ටික සම්පූර්ණ කර ගන්න ට්‍රයි කරනවා මිස වෙන දෙයක් ගැන හිතන්න අවස්ථාවක් සලසා දී නැහැ. කලාව , රසවින්දනය , ක්‍රීඩාව ,විවේකය මේවා සීමිත කොටසකගේ වුවමනාවන් බවට පත්වෙලා . “ඇතැම් සැඳෑ වල අහසද කලාගාරයකි” කවිය මේ අවුල පිළිබඳව කතා කරන්න යොදාගත් අවස්ථාවක්

පින්තාරු කොට වලා තීරයේ පින්තූර
ප්‍රියාදරි යකට බාරදී තෙලිකුර
ශිල්පියා කරපොවා බලනවා මහපාර
රසිකයන් කීදෙනෙක් එනවා දැයි මේ පාර

බස්රියේ දුම්රියේ තෙරපි තෙරපී යනෙන
කුස්සියේ හාල් පොල් සිතින් යළි මැන බලන
නහුතයක් අනාගත හීන සැලසුම්කරන
ජනී ජනයා අතර කෝ එකෙක් උඩ බලන

ඇත්තටම සමහර දවස් වලට අහසක් පොළොවක් තිබුනද කියලා මතක නැති වෙන තරමටම අපි කාර්යබහුල වෙනවා. කල්පනා කරලා බැලුවොත් අහස කළු ද සුදු ද කියල බලපු නැති දවස් ඕන තරම තියෙනවා.

තැබෑරුමකට වරෙන් සිංහයෝ නලින්දගේ කාව්‍ය සංග්‍රහය අපට ඔහුගේ අනාගතය පිළිබඳ සංඥා ලබා දෙන කාව්‍ය සංග්‍රහයකි. නලින්ද ඉතිරි වී ඇත්තේ මහන්සි වී යා යුතු ඉදිරි ගමනක් මිස ආපස්සට ගමන් කිරීමක් නොවෙයි.

නිල් වෙන්න කෑ පසුව
අන්න අර දුම් නළෙන්
කටක් හොල්ලන්නැතිව
රණඹර ද පණ බයෙන්

එබෙන්නට ගිය දිනක
කොළොන්නාවට උඩින්
මීතේන් වැදුණු සඳ
ගැහෙනවලු කහ උණෙන්

එතැන් සිට කතන්දර
ඇසු නිසා හොඳවැයින්
පණ නසාගෙන තැනක
නොන්ජල් කඳු මුදුන්

සිංහයෝ ඔන්න ඔය
කඩුව තියලා බිමින්
බදාගෙන අඩමු
තැබෑරුමකට වරෙන්

නලින්ද සංජීව ලියනගේ කවියා තැබෑරුමට අඩ ගහන්නේ අපි කවුරුත් දන්නා හඳුනන සිංහයාටය , මඳක් ඒ ගැන හිතලා බැලුවොත් ඒ මොකට දැයි ඔබට වැටහේවි, කෙසේ වෙතත් ඔය සිංහයාට නලින්ද ගේ එකදු කවියක් වත් විලි ලැජ්ජාවකින් තොරව කියවන්නට බැරි ය. නලින්ද අපිට පෙන්වන අවුල් වලට ඔය සිංහයා සෘජුව වගකිව යුතුය.

හිල්මි සුපුන්

 

 

leave a reply