Breaking News

තඩි පොත්වල නැති ලොකු කතා පොඩි පොත් වල තියෙනවා.

හිල්මි සුපුන් 

පොත පත කියවීම පිළිබඳව විසල් කතා ඇති වෙන මේ  සැප්තැම්බර් මාසයේ ළමා සාහිත්‍යයට එකතුවූ  අපූර්ව පොත් දෙකක් පිළිබඳව ඉඟියක් ලබා  දෙන්න හිතුනා.   ” පුළුන්  මට කියූ දේ ”  සහ  ” මගේ තැන ඉඳන් හිතල බලන්න ”  පසුගිය වසරේ අහස ප්‍රකාශන ලෙස ළමා සාහිත්‍යයට එකතු වූ ඒ අපූර්ව පොත් දෙකයි. ” පුළුන්  මට කියූ දේ ”  සහ  ” මගේ තැන ඉඳන් හිතල බලන්න ”  යන  නම් වලින් සිංහලට පරිවර්තනය වෙන්නේ ප්‍රංශ කෘති දෙකකි. සිංහල සාහිත්‍යයට එකතු වෙන  මෙම කෘති දෙක පරිවර්තනය කරන්නේ සුභාෂිණි චතුරිකා  ලේඛිකාවයි.

ළමා කතාවක් ලිවීමත්, වෙනත් බසකින් ළමා කතාවක්  සිංහලට පරිවර්තනය කිරීමත් ලේසි පහසු කාර්යයක් නෙමෙයි. ළමා කාලයේ යනු අනාගතය වෙනුවෙන් සූදානම් වෙන්න තියෙන කාලයයි. ඒ නිසා ළමයෙකුට කියවීම හුරු කිරීමට  පහසුවක් සපයන්නේ  ඔවුන් කැමති , ආස කරන ,  රූප සහිත , කතන්දර පොත් ඔවුන් සමීපයේ තැබීමෙන්. රූප තිබූ පමණට මත්, කතාවක් යැයි අපි කියූ පමණට මත්, ළමුන් ඒකට ඇලුම් කරන්නේ නැහැ.  සිබිල් නැන්දගේ හැම රූපයකට ම හැම ළමයෙක්ම පහේ ඇලුම් කලත්,  සමහර කතන්දර පොත් වල කතාව කොච්චර හොඳ වුනත් ඒ රූපවලට ළමයි කැමති නැහැ. ඒ නිසාම ඒ පොත් කියවන්න ළමුන්  අකමැත්තක් දක්වනවා. ඔය කියන සියලු දුෂ්කරතා ජය ගත් පොතක් තමයි ” පුළුන්  මට කියූ දේ ” කියන ළමා කෘතිය. තඹරු සිඳුපමා  චන්ද්‍රසේනගේ  සිතුවම්  මේ පුංචි කතන්දර පොතේ හැඩ ඔප්නංවනවා . එ වගේම කතාව නිර්මාණය වූ ප්‍රංශයේ  සීත සෘතුවක  පාරිසරික  හැඩහුරුකම්  ඒ රූප ඔස්සේ මේ කතාවට පණ ලබා දෙනවා.  ඒ නිසා රූපයයි කතාවයි දෙකම අප නොදන්නා පරිසරයකට අපව සමපාත කරන්න සමත් වෙනවා.

“දවසක් කෑම ගනිද්දී  තාත්තා එක පාරටම ඇහුවා  ” අපි හිම   ළමයෙක් හදමු ද? කියලා ” 

ඊට පස්සේ   අපි දෙන්න එකතු වෙලා මීට ඉස්සර කවදාවත් දැකලා නැති, ලස්සන හිම ළමයව හැදුවා.  කළු පාට පුංචි පබළු ඇට දෙකක් හොයාගෙන ඇවිල්ලා, මම ඒක හිම  ළමයගේ ඇස් දෙක විදිහට තිබ්බා. අතු රිකිල්ලක් කඩාගෙන ඇවිත් ඒක එයාගේ කට වගේ හැදුවා. අම්මා අපට දුන්නු රතුපාට ලේන්සුව අපි එයාගෙ ගෙල වටේ  බැන්දා. මට ලැබුණු ලස්සන කුරුළු පිහාටුවක් මම හිම ළමයා ගේ හිස මුදුනට සවි කෙරුවා. ඒක හරියට පේන්නෙ හිම ලමයගෙ හිස  මුදුනේ ප්‍රශ්නාර්ථ ලකුණක් තියනවා වගේයි.  එතකොට තාත්ත හිනා වෙවී කිවුවා ” එයා  අපෙන් ප්‍රශ්න වැලක් අහන්න යනවා වගේ ඉන්නේ කියලා “

මේ පොතේ කතා සාරාංශය කියනවනම්  කුඩා පිරිමි දරුවෙකු  අධික හිම වර්ෂාවකින් පසුව එකතු වූ හිම වලින්  හිම බෝනික්කෙක් තනා ගැනීමත්,  එම හිම බෝනික්කා සමග යම් කාල පරාසයක් ගත කිරීමත්,  ගත කරන කාලය තුළ  ඔවුන් දෙදෙනාගේ අදහස් හුවමාරු කර ගැනීම තුළින්  කතාව ගොඩනගලා තියෙනවා .  මේ කතාවේ වඩා වැදගත් චරිතය බවට පත්වෙන්නේ හිම බෝනික්කා.  තමන්ගේ  මිත්‍රයා වන  කුඩා ළමයට අනාගතය සඳහා සූදානම් වීමට අත්‍යවශ්‍ය කරන  දැනුම ලබා දෙන්නේ මේ  හිම බෝනික්කා . පුංචි පුංචි හිම පියලි බොහොම සියුම් වගේම  තනිව තියෙද්දි ඉතා ඉක්මනින් දියවෙන සුළු  නමුත් ඒවා එක් කොට ගොඩගසා බෝනික්කෙක් හැඳු කළ  යම් කාලයක් හිමින් සීරුවෙ දියවෙමින් ටික කලක් පැවතීමේ  හැකියාව තියෙනවා.

ඒ වගේම මම   තවත්  වැදගත් දෙයක් වටහා ගත්තා . සීත කාලේ ගෙවිලා ගියොත් විතරයි වසන්ත කාලය උදා වෙන්නේ. ඉතින් මොන තරම්  විහිළුවට කරුණක් ද, හැමදේම හැමදාම එකම විදිහට තියෙන්න ඕනැයි කියල හිතන එක. හිම දිය වූනේ නැත්නම් මල් පිපෙන්නේ කොහොමද ? ඒ වගේම තමයි මහළු ඇය මැරුනේ නැත්නම්……….

 හෙමින් හෙමින් දියවෙන මේ හිම බෝනික්කා පොඩි එකාට  ජීවිතයේ යථාර්ථය වටහා දෙන්න උත්සාහ කරනවා.   ” පුළුන්  මට කියූ දේ ”  හරි අපූර්වත්ව අත්දැකීමක් සමග  දරුවන්ට ගැඹුරු පාඩමක්  කියා දෙන්නකි.

ඒ වගේම සුභාෂිණි චතුරිකා ලේඛිකාව අතින් පරිවර්තනය වූ ” මගේ තැන ඉඳන් හිතල බලන්න ”  යෝවුන් සාහිත්‍ය  කෘතිය ද එවැන්නකි. අපි හැම විටම හිතන්නේ  අපි තමයි නිවැරදි, අපි කරන වැඩේ තමයි බැරෑරුම්,  අපි නොකලොත් අනිත් අයට අපි කරන වැඩ කරන්න බෑ කියලා. බොහොම අඩු පිරිසක් තමයි හිතන්නේ මම සේම අනෙකාද කරන වැඩේ  මගේ වැඩේ සේම බැරෑරුම් වැඩක් කියලා.  මෙන්න මේ අනෙකාව අවතක්සේරු කිරීමේ  ගතිය නැති වෙන්න නම් කොයි යම් මොහොතක හෝ අනෙකා වී බලන්න ඕනේ . ඒක අපිට කරන්න පුළුවන් නම් අර ඉහත කියපු ආඩපාලි අපිට කියන්න විදිහක් නෑ . මොකද ඒ අත්දැකීම ලබද්දී අපිට තේරෙනවා, තේරුම් යනවා,  මම කරන වැඩේ සේම අනෙකා කරන වැඩේ ද ඉතාම බරපතළ වැඩක් කියලා.

 මෙන්න මේ අනෙකාව තේරුම් ගැනීමට නොහැකිවීමේ ප්‍රශ්නය  පිළිබඳව තමයි සුභාෂිණි ” මගේ තැන ඉඳන් හිතල බලන්න ” කතාවෙන් අප හමුවට  ගේන්නේ.

වඩාත් දුෂ්කර අවස්ථාවලදී, අපට අපේ සිරුරයි, මනසයි, දෙකේම  ශක්තිය  එකම අරමුණක් වෙත යොමු කරන්න සිද්ද වෙනවා. ඒ අරමුණ තමයි, දුෂ්කර අවස්ථාවල දී කෙසේ හෝ නොනැසී පැවතීම. නැවක් අනතුරට පත් වීමේදී ඊට මුහුණ දෙන නාවිකයන්, හිම කඳු කඩා වැටීම් වලට මුහුණ දෙන කඳු නගින්නන්, ගිනිදැල් වලට මැදි වන ගිනි නිවන භටයන්, ඒ ගැන හොඳින්ම දන්නවා. අපි අඩි තුන හතරක් උස හිම තට්ටුවකට යට වුනොත් අපි කවදාවත් ඒක උනේ කොහොමද කියලා හිත හිතා ඉන්නේ නැහැ. අපි හිතන්නේ එතැනින් එළියට එන හැටි විතරයි. එදා උදේ අම්මත්  මමත් කලේ ඒ දේම තමයි. අපී  නොතේරෙන දෙයක් තේරුම් ගන්න උත්සාහ කළේ නැහැ. ඒ කොයි හැටි වෙතත් ,අපට අපිව රැක ගන්න ඕන නිසා අපිට ඒකට මුහුණ දෙන්න සිද්ධ වුණා .

මෑත කාලයේ යොවුන් සාහිත්‍යය සහ ළමා සාහිත්‍යයට එකතු වුණු මේ අපූර්ව පොත් දෙක  තව නොබෝ දිනකින් එළඹෙන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී පොත් මිලට ගන්න ලිස්ට් එකට ඔබ එකතු කර ගත්තාට වරදක්  උනේ නැහැ කියලා  ඔබට හිතේවි කවද හරි මේ පොත් දෙක කියවා අවසන් වූ විට.

හිල්මි සුපුන්

leave a reply