Day: October 7, 2022

  • කෝටිපතියන් රැවටූ කාන්තාවක් රිමාන්ඩ්

    කෝටිපතියන් රැවටූ කාන්තාවක් රිමාන්ඩ්

    විදේශ රටවල මුදල් තැන්පතු හා ව්‍යාපාරවල මුදල් තැන්පත් කිරීම් වෙනුවෙන් සිත්ගන්නාසුළු පොළී මුදල් ලබා දෙන බව පවසමින් මුදල් ලබාගෙන වංචා කළ බව කියන කාන්තාවක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

    ඇයව ඊයේ (06) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම 19 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළා.

    තිළිණි ප්‍රියමාලි නමැති මෙම කාන්තාව කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වන මහල රුපියල් 16 ලක්ෂයක කුලී පදනම මත ලබාගෙන එහි ආයතනයක් පවත්වාගෙන යමින් කෝටිපති ව්‍යාපාරිකයන්, දේශපාලකයන්, වෛද්‍යවරුන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් මුදල් ලබා ගෙන මෙම වංචාව සිදුකර තිබෙනවා.

    සැකකාර කාන්තාවගේ වංචාවට හසුවූ කෝටිපතියන් ඇතුළු පුද්ගලයන් දස දෙනෙකුට අධික පිරිසක් කරන ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන තිබුණා.

    මෙරට ප්‍රසිද්ධ ආරක්ෂක ආයතනයක ආරක්ෂක නිලධාරීන්ගේ රැකවරණය ලබමින් ඇය සිය ගමන්බිමන්වල යෙදී ඇති බවද අධිකරණයේදී අනාවරණය වුණා.

    කොළඹ හා ඒ අවට සුපිරි මහල් නිවාස සංකීර්ණ ලබා දෙන පවසමින්ද ඇය විවිධ පුද්ගලයන්ගෙන් මුදල් ලබාගෙන එසේ වංචා කර ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර සිටියා.

  • දින 50ට පසු හෂාන් ජීවන්ත නිදහස් කරයි

    දින 50ට පසු හෂාන් ජීවන්ත නිදහස් කරයි

    අද දිනයේ තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, දින 50ක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතින්(PTA) රඳවා ගෙන සිටි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරී හෂාන් ජීවන්තට ඇප ලබාදී තිබේ.

    මීට දින 50කට පෙර අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ, සිරිධම්ම හිමි සහ හෂාන් ජීවන්ත යන තිදෙනා අත්අඩංගුවට ගැණුනි.

    ඔවුන්ට එරෙහිව ජනාධිපතිවරයාගේ අත්සනින් යුතුව ත්‍රස්තවාදී චෝදනා යටතේ දින 90ක රඳවා ගැනීමේ නියෝග නිකුත් කර තිබුණි .

    පොලීසිය පවසා තිබුනේ ඔහුට එරෙහිව කිසිදු සාක්ෂියක් නොමැති බවයි.

  • කැබිලිත්ත වන විනාශය සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් ඇතුළු වගඋත්තරකරුවන්ට නොතීසි

    කැබිලිත්ත වන විනාශය සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් ඇතුළු වගඋත්තරකරුවන්ට නොතීසි

    කැබිලිත්ත රක්ෂිත වනාන්තරයට අනවසරයෙන් පුද්ගලයන් පිරිසක් ඇතුළුවී නීතිවිරෝධී කටයුතුවල නිරතවීම සම්බන්ධයෙන් ලබන නොවැම්බර් මස 02වනදා අධිකරණයට කරුණු දක්වන ලෙස ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසකට නියම කරමින් අභියාචනාධිකරණය පසුගිය 04වනදා නොතීසි නිකුත් කර තිබේ.

    වන අපරාධකරුවන්ගෙන් කැබිලිත්ත රක්ෂිත වනාන්තර කලාපය ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙස බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පිරිසක් ගොනුකළ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් මෙලෙස නොතීසි නිකුත් කර තිබේ.

    වන සංරක්ෂණ ඇමතිවරයා, එම අමාත්‍යංශයේ ලේකම්වරයා, වන සංරක්ෂණ ජනරාල්වරයා, සියඹලාන්ඩුව දිස්ත්‍රික් ලේකම්වරයා, ඇතිමලේ සහ මොණරාගල පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන්, පොලිස්පති සහ ආරක්ෂක ලේකම් මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබේ.

    මොණරාගල දිස්ත්‍රික්කයේ සියඹලාන්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් යාල ජාතික වනෝද්‍යානයේ උතුරු ප්‍රදේශයට වන්නට කබිලිත්ත රක්ෂිත වනාන්තරය පිහිටා ඇත. මෑතකදී මේ ප්‍රදේශයට කඩා වැදුණු පිරිස් එහි සිටි වනජීවී නිලධාරීන්ට පහරදී නීති විරෝධී ආකාරයෙන් වනාන්තර හෙළිකිරීමට කටයුතු කර ඇති බවද වන රක්ෂණ නිලධාරීන් විසින් කල වන වගාව සියතට ගැනීමට කටයුතු කරන බවටද පවසමින් අධිකරණයට පෙත්සම ගොණුකර තිබේ.

    මේ හේතුවෙන් රුපියල් මිලියන 25ක පමණ වටිනා වන වගාවක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අහිමිවීමේ අවධානමක් ඇති බවද අවසර පුද්ගලයන්ගේ නීති විරෝධී ක්‍රියා පිළිබඳ පොලීසියට පැමිණිලි කළද මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බවද මෙම පෙත්සම හරහා පෙන්වා දී ඇත.

    වත්තේගම කැබිලිත්ත කොටියාගල වන රක්ෂිත ප්‍රදේශයේ මේ මොහොතේ සිදුවෙමින් පවතින මහා පරිමාණ වනාන්තර විනාශය හා රජයේ ඉඩම් බලෙන් අත්පත් කරගැනීම පිටුපස හිටපු ප්‍රබල අමාත්‍යවරුන් දෙදෙනකු, ඉහළ පොලිස් නිලධාරියකු, චීවරධාරියකු ඇතුළු ව්‍යාපාරිකයන් කිහිපදෙනකු සිටින බව දිවයින පුවත්පත වාර්තා කර තිබුණි.

    මොනරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළ පිහිටි මෙම රක්ෂිත වනාන්තර ඉඩම් විනාශය වාර්තා වන අන්දමට විල්පත්තු උතුරු වනාන්තරවලට සිදුකරන ලද හානියටත් වඩා 20 ගුණයකටත් වැඩි විනාශයකි.

    ප්‍රදේශයේ ඉඩම් අහිමි පුද්ගලයන් සඳහා වත්මන් ආණ්ඩුව මගින් මෙම වනාන්තර ඉඩම්වලින් අක්කර 25,000 ක් නිදහස් කර දී තිබියදීත් මෙසේ ඉතිරි රක්ෂිත ප්‍රදේශය ඩෝසර් දමා වැනසීම පිටුපස ප්‍රදේශය නියෝජනය කරන ප්‍රබල දේශපාලන චරිත රැසක් ද සිටින බව පරිසරවේදීහු පවසති.

    වියළි කලාපීය වනාන්තර අයත් දිවයිනේ වටිනාම වනාන්තර කලාපයක් වන මෙම කැබිලිත්ත වන රක්‍ෂිතයේ විනාශයට ලක්වෙමින් පවතින වනාන්තර, කුමන, යාල ජාතික වනෝද්‍යාන හා සම්බන්ධව පවතින වන සංකීර්ණයක් වන අතර වන සතුන් රැසකගේ වාසස්ථානයක් වේ.

  • කඳුළු ගෑස් ගැන තොරතුරු ලබාදීම පොලීසිය නැවතත් ප්‍රතික්ෂේප කරයි

    කඳුළු ගෑස් ගැන තොරතුරු ලබාදීම පොලීසිය නැවතත් ප්‍රතික්ෂේප කරයි

    පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ අණ දෙන නිලධාරියා පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටිමින් කඳුළු ගෑස් සම්බන්ධ තොරතුරු ලබා දෙන බවට පොරොන්දු වී තිබියදී පොලිස් නීති කොට්ඨාසයේ නිලධාරියකු පැමිණ තොරතුරු ලබාදී ප්‍රතික්ෂේප කරන්නේ කෙසේදැයි තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාව ශ්‍රී ලංකා පොලිසියෙන් ප්‍රශ්න කර තිබේ.

    තොරතුරු කොමිෂන් සභාව එලෙස ප්‍රශ්න කළේ කල් ඉකුත් වූ කඳුළු ගෑස්, උද්ඝෝෂණවලට එල්ල කරන ලද කඳුළු ගෑස් සහ කඳුළු ගෑස් මිලදී ගැනීම සම්බන්ධයෙන් සමාජ ක්‍රියාකාරිකයකු වන තරිඳු ජයවර්ධන තොරතුරු ඉල්ලීමකට අදාල ඉදිරිපත් කළ අභියාචනයක් තෙවැනි දිනටත් විභාගයට ගත් අවස්ථාවේදීය.

    තොරතුරු කොමිෂන් සභාව හමුවේ පසුගිය අවස්ථාවේ පොලිස්පතිවරයා නියෝජනය කරමින් සහභාගි වූ පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ අණ දෙන නිලධාරීවරයා දින 10 ක් ඇතුළත තොරතුරු ලබාදීමට පොරොන්දු වූවද ඔහු සැප්තැම්බර් 17 වැනිදා එම තොරතුරු එකතු කරගැනීම සඳහා පොලිසියේ සියලුම කොට්ඨාස භාර නිලධාරීන් සහ අධ්‍යක්ෂවරුන්ට ලිපියක් යොමු කර ඇති බවත් එලෙස යොමු කර තිබියදී පොලිස්පතිවරයා සැප්තැම්බර් 30 වැනිදා ලිපියක් යොමුකරමින් තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බවත් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශ කර තිබේ.

    පොලිස්පතිවරයා නියෝජනය කරමින් පොලිස් නීති කොට්ඨාසයේ නීති උපදෙස් අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නීතිඥ වසන්ත කුමාර ප්‍රකාශ කළේ එම තොරතුරු ලබාදීම මගින් ජාතික ආරක්ෂාවට සහ භෞමික අඛණ්ඩතාවයට හානියක් වන බැවින් පොලිස්පතිවරයා තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බවයි.

    පොලිස්පතිවරයා වෙනුවෙන් පැමිණි පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ අණදෙන නිලධාරියා එම තොරතුරු ලබාදීම කොමිසම හමුවේ එකඟතාවය පළ කර තිබියදී සහ එම තොරතුරු එකතු කර ගැනීම සඳහා ලිපි පවා නිකුත් කර තිබියදී මෙලස යළිත් වරක් තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කරන්නේ කුමන පදනමකින්දැයි කොමිෂන් සභාව කළ විමසුමේදී, පොලිස්පති නියෝජනය කරන නිලධාරීන්ගේ සැලකිරීම් පරස්පර බව ද සඳහන් කර තිබේ.