නයිස් කෑවා මතක නැතිලු ජනක තුෂාරගේ කියවීමෙන්

ඉතා දිගු කලක් සිය බිරිඳ සහ දරුවන් දෙදෙනා සමග ඉතාලියේ ජීවත් වන හිල්මි සුපුන් පෙරේරාගේ ‘නයිස් කෑවා මතක නැතිලු’ කාව්‍ය සංග්‍රහය එළිදක්වනු ලැබුවේ මීට මාස කිහිපයකට පෙර කොළඹ, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදීය. ඒ හමුවු අවස්ථාවේ ඔහු ඉතාලියේත් ලංකාවේත් සංස්කෘතික වෙනස්කම් ගැන බොහෝ දේ කීවේය.

මල් තිබුණු තැන්වල දැන් ඇත්තෙ
අතු රිකිලි සලකුණු පමණයි
කොළ ඉදී වියලී බිම වැටී මිය ගියේ ගස් මුලමයි
හිම පියලි වැටෙන තරමට දැන් අහස ධවලයි
ආචරෝ ගසකට දැන් ඉතිරි යළි එන වසන්තයේ පැතුමයි

ආචරෝ යනු ඉතාලියේ ජපානයේ වැනි රටවල වැවෙන මල් ගස් වර්ගයකි. වසරේ මාස හයක් පමණ නටු පමණක් ඉතිරි වන සේ කොළ හැලී යන ආචරෝ ගස යළිත් දළු ලන්නට පටන් ගන්නේ වසන්ත ඍතුව ආසන්න වද්දීය. ආචරෝ ගසේ චක්‍රය මතින් සිය විප්‍රරවාසී ජීවිතයේ පාලුව හිල්මි විවරණය කරයි.

ඉතාලි යාම ලංකාවේ බොහෝ දෙනකුගේ සිහිනයකි. ඒ සෞභාග්‍යමත් ජීවිතයක් අපේක්ෂාවෙනි. එහෙත් ඒ අපේක්ෂාවන් ඒ අයුරින්ම ඵල දරයිද? ‘සීතලයි හොඳටෝම’ කවිය ඒ ප්‍රශ්නය අප ඉදිරියේ තබයි. මේ ඒ කවියේ පළමු හා අවසන් කොටස්ය.
“සිහින දිගේ අපි ආවා
සිහින සැබෑ කරන් යන්න
සිහිනවලින් බිම වැටිලා
සීත රටක නතර වුණා.

….
තරු හිස් මුඩු වී
වියලී පත් බිම වැටේ
සීතලයි හොඳටෝම
දරා ගන්නත් බැහැ දැන්…”

හිල්මි මාධ්‍ය වේදියෙක් සහ දේශපාලන ක්‍රියාකාරිකයෙකි. ඉතාලියේ සිටින ඔහු ලංකාවේ දේශපාලනය, සමාජ-සංස්කෘතික ගැටලු වෙත නිරන්තරයෙන් සක්‍රියය. ඒ දෘෂ්ඨිය, බැඳීම ඔහුගේ කවිවලද හමුවේ.

නව ලිබරල් ධනවාදය තුළ සියල්ල වෙළෙඳපොළට කේන්ද්‍ර කරනවා පමණක් නොව සමාජයේ එතෙක් පැවැති විවිධත්වයන්ද අහෝසි කරයි. කුඩා කුඩා ව්‍යාපාර අහෝසි කර ඒවා මහා පරිමාණ සමාගම් තුළට අවශෝෂණය කර ගනී. ‘නයිස් කෑවා මතක නැතිලු’ කවිය කියවන විට සිහිපත් වන්නේ දශක කිහිපයක් තුළ ලාංකේය සමාජය කොතරම් සරල, පැතිලි වීද යන්නයි.
“…
සත පහකට නයිස් දෙකයි
පුංචි කොලේ බොම්බයි මොටයි
රස කර කර කාපු හැටි
පොඩි මල්ලිට මතක නැතිලු
….”

වමේ දේශපාලනයේ ඇතැම් දුර්වලතා, පිරිහීම්, පීලි පැනීම්ද ඔහුගේ විවේචනයට ලක්වේ. ජාත්‍යන්තර කම්කරු දිනය ගැන කියන ‘රජයේ නිවාඩු දවස’ ඊට උදාහරණයකි.

“….
වැලන්ටයින් දවස වගෙයි දැන් මැයි දිනයත්
පක්ෂවල බලය පෙන්නුවා මිසක්
සර්ලාට නැහැ හානියක්….”

‘ආදරය පැතූ තරුණයාට තරුණිය යැවූ ලියමන’ කවියේදී ඔහු සමාජ සම්මතයන්, විවහයේ සම්මතයන් දැඩිව ප්‍රශ්ණ කරයි. විවාහ ජීවිතය තුළ කාන්තාවන්ගේ අතෘප්තිය හා පීඩාව ප්‍රශ්ණ කරයි.

“මං ඔයාගෙ ආශාවන් සංසිඳුවමින්
මං මගේ ආශාවන් මරා දමන්න ඕනද
මං ඔයාට ආදරේ කරමින්
වෙනත් කෙනෙකු එක්ක ජීවිතය බෙදා ගත්තොත්
සමාජ සම්මත ගැරහුමට මාව ලක් නොකර
ඔයාට පුළුවන්ද මට අඛණ්ඩව ආදරය කරන්න”

විප්‍රවාසී ජීවිතයේ අත්දැකීම් වඩ වඩාත් ග්‍රහණය කර ගත් හිල්මිගේ ඊළඟ කවි අත්දැකීම විඳින්නට අපි ආශාවෙන් බලා සිටිමු.

ජනක තුෂාර

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක්