Breaking News

කැබිලිත්ත වන විනාශය සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් ඇතුළු වගඋත්තරකරුවන්ට නොතීසි

කැබිලිත්ත රක්ෂිත වනාන්තරයට අනවසරයෙන් පුද්ගලයන් පිරිසක් ඇතුළුවී නීතිවිරෝධී කටයුතුවල නිරතවීම සම්බන්ධයෙන් ලබන නොවැම්බර් මස 02වනදා අධිකරණයට කරුණු දක්වන ලෙස ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසකට නියම කරමින් අභියාචනාධිකරණය පසුගිය 04වනදා නොතීසි නිකුත් කර තිබේ.

වන අපරාධකරුවන්ගෙන් කැබිලිත්ත රක්ෂිත වනාන්තර කලාපය ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙස බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පිරිසක් ගොනුකළ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් මෙලෙස නොතීසි නිකුත් කර තිබේ.

වන සංරක්ෂණ ඇමතිවරයා, එම අමාත්‍යංශයේ ලේකම්වරයා, වන සංරක්ෂණ ජනරාල්වරයා, සියඹලාන්ඩුව දිස්ත්‍රික් ලේකම්වරයා, ඇතිමලේ සහ මොණරාගල පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන්, පොලිස්පති සහ ආරක්ෂක ලේකම් මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබේ.

මොණරාගල දිස්ත්‍රික්කයේ සියඹලාන්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් යාල ජාතික වනෝද්‍යානයේ උතුරු ප්‍රදේශයට වන්නට කබිලිත්ත රක්ෂිත වනාන්තරය පිහිටා ඇත. මෑතකදී මේ ප්‍රදේශයට කඩා වැදුණු පිරිස් එහි සිටි වනජීවී නිලධාරීන්ට පහරදී නීති විරෝධී ආකාරයෙන් වනාන්තර හෙළිකිරීමට කටයුතු කර ඇති බවද වන රක්ෂණ නිලධාරීන් විසින් කල වන වගාව සියතට ගැනීමට කටයුතු කරන බවටද පවසමින් අධිකරණයට පෙත්සම ගොණුකර තිබේ.

මේ හේතුවෙන් රුපියල් මිලියන 25ක පමණ වටිනා වන වගාවක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අහිමිවීමේ අවධානමක් ඇති බවද අවසර පුද්ගලයන්ගේ නීති විරෝධී ක්‍රියා පිළිබඳ පොලීසියට පැමිණිලි කළද මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බවද මෙම පෙත්සම හරහා පෙන්වා දී ඇත.

වත්තේගම කැබිලිත්ත කොටියාගල වන රක්ෂිත ප්‍රදේශයේ මේ මොහොතේ සිදුවෙමින් පවතින මහා පරිමාණ වනාන්තර විනාශය හා රජයේ ඉඩම් බලෙන් අත්පත් කරගැනීම පිටුපස හිටපු ප්‍රබල අමාත්‍යවරුන් දෙදෙනකු, ඉහළ පොලිස් නිලධාරියකු, චීවරධාරියකු ඇතුළු ව්‍යාපාරිකයන් කිහිපදෙනකු සිටින බව දිවයින පුවත්පත වාර්තා කර තිබුණි.

මොනරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළ පිහිටි මෙම රක්ෂිත වනාන්තර ඉඩම් විනාශය වාර්තා වන අන්දමට විල්පත්තු උතුරු වනාන්තරවලට සිදුකරන ලද හානියටත් වඩා 20 ගුණයකටත් වැඩි විනාශයකි.

ප්‍රදේශයේ ඉඩම් අහිමි පුද්ගලයන් සඳහා වත්මන් ආණ්ඩුව මගින් මෙම වනාන්තර ඉඩම්වලින් අක්කර 25,000 ක් නිදහස් කර දී තිබියදීත් මෙසේ ඉතිරි රක්ෂිත ප්‍රදේශය ඩෝසර් දමා වැනසීම පිටුපස ප්‍රදේශය නියෝජනය කරන ප්‍රබල දේශපාලන චරිත රැසක් ද සිටින බව පරිසරවේදීහු පවසති.

වියළි කලාපීය වනාන්තර අයත් දිවයිනේ වටිනාම වනාන්තර කලාපයක් වන මෙම කැබිලිත්ත වන රක්‍ෂිතයේ විනාශයට ලක්වෙමින් පවතින වනාන්තර, කුමන, යාල ජාතික වනෝද්‍යාන හා සම්බන්ධව පවතින වන සංකීර්ණයක් වන අතර වන සතුන් රැසකගේ වාසස්ථානයක් වේ.

leave a reply