අයිස් නොදන්නා වුන් මතින් ක්ෂය වී යන්නෝය.

නාකියදෙණිය තලංගහ වත්තේ පුල්ලේමඩුවේ ක්‍රෙච් ඇටෙන්ඩන් තංගමනී ය. ඇගේ පුතා රමේෂ් වතු පාසලේ දී බඩගිනි වූ විට කන්නට කිඹුලෙක් ගෙනාවේය. පත්තර කොළේ ඔතා තිබූ කිඹුලාගේ බඩේ පිටි හා මුසුව තිබුනේ අයිස්‍ ය.

එය විය නොහැකි දෙයකි. තංගමනී පුල්ලේමඩුවේ ඔට්ටු වෙද්දී රාමන් තාත්තා පොල්ගස් දිගේ දවසට විසිතිස් පාරක් ඉහළ පහළ යයි. අයිස් ගහන්නට වෙලාවක් නැත. බේකරියේ ලූකස් අයිස් ගැහුවාද නැද්ද යන්න ප්‍රශ්නයක් නොවේ.ඒකාට කන්නටවත් වෙලාවක් නැත.

රත්ගම වැල්ලෙන් මූදු යන පොඩි විජේගේ දුවවන මාලතී අටේ පංතියේය.ඉන්ටවල් වෙන්නත් පෙර බංකුව අස්සට අතදාගෙන බනිසෙන් කෑල්ල කෑල්ල ඈ කෑවාය.එක සැරේක බනිස් කෑල්ල වෙනුවට මතුවුනේ අයිස්‍ ය. විය නොහැක. කරවල වේලන,ජාඩි හදන,මාළු උයන අහවරයක් තිබ්බොත් ඕපදූප දොඩන අම්මා මේරි අයිස් ගසනු දැක නැත. පෙරේදා මුහුදු ගිය තාත්තා ගොඩට එන්න තව සති දෙක තුනක්වත් යනු ඇත.

මට්ටක්කුලියේ පුංචි කාමරේක හිරවූ සුජාතාගේ දුව ස්වර්ණාය.අම්මා රෑට බොහෝවිට ගෙදර නැති නිසා ස්වර්ණා ආච්ච් හදාදෙන යමක් කෑම පෙට්ටියේ රුවාගනී. එදා කන්න තිබ්බේ රොටිය. කස්ටමස්ලා හිඟබව අම්මා කාටහෝ කියනු ස්වර්ණා ට මතකය. ඒ නිසා රොටියත් ඉහළින්ම පිරිමැහේ. රොටිය කන අතරමඟ අමුතු යමක් හැපුනි. අයිස් ය. වෙන්න බැරිය. නිල පිරිමි නැති කාන්තා නිවසේ අම්මා දවල්ට නිදන්නේ රෑ වෙහෙස මකන්නය. රෑට නැවත වෙහෙසෙන්නය. හැටේ ආච්චීට කප්පර වැඩය. අයිස් ගහන්න වෙලාවක් නැත.

නිකවැරටියේ දේවාලේ ගාව පොඩි එළවළු කඩේ කෝකිලාගේ දූ යන්තං දෙකේය.කෝලිලා කඩේට අමතරව බත් පැකට් බෙදන්නීය.කෙල්ලත් බත් අරන් පාසල් යන්නීය.කෝකිලාගේ පුරුෂයා බත් පැකට් පාරේ තියන් විකුණයි.ආරංචිය එනවිට ඔහු හිටියේ සල්ලි ගනිමින්‍ ය.කෙල්ලගේ බත් පැකැට්ටුවේ අයිස් ය. කෝකිලා හත්පොළේ දිවුරන්නත්,කාලි අම්මා ගාවට නඩුව කියන්න දුවන්නත් වූයේ එකවිටය.අයිස් ගහන්න තියා අයිස් ගැන දැනගත්තේද රූපවාහිනී ප්‍රචාරය නිසාය.එහෙව් එකේ අයිස්….?

සමදරා වැසිකිළියට බෙහෙත් දමා තුන්වෙනි පාර අතුල්ලද්දී පණිවිඩය ලැබුණි.කොල්ලා අදත් රංඩු වී පාසල් ගියේ පරිප්පුයි බතුයි කා එපාවී ඇති බැවිනි.ක්ලීනින් සර්විසෙකේ ඇන්ටන් අය්යාට කියා සමදරා පාසලට අඩියෙන් දෙකෙන් දිව්වාය. මිනිහා මළ දා සිට නිවනක් නැති සමදරා අයිස් ගැසීම් නොදනී.කොල්ලා දනීදැයි ප්‍රශ්න කරන හිතින් ඈ දුවයි.

වජිරාට පණිවිඩය එනවිට ඇ සිටියේ පරිගණකයේ ඇස් දුවමින්‍ ය.මාසේ අන්තිමට ළංවෙද්දී ඈ කොහොමත් කළබලය. රක්ෂණ සමාගමක සේවය කරන සැමියා ටාගට් පස්සේය. හතිවැටුනු ජීවිතයේ එකම සම්පත කොල්ලාය.උදෙත් ට්‍රිබල් දාගෙන කොල්ලා ගේටුවෙන් ඇතුල් වෙකම්ම බලාසිටයි වජිරලා ඔෆීස් ආවේ. අද පැස්ටාය. පැස්ටා අස්සේ අයිස් තිබී අසුවී ඇත. වජිරා ,සැමියා අයිස් ගැන නොදනී. ජීවිත සටන අයිස් හා බද්ධ නැත.කොල්ලාද ඒ වගක් දන්නේද??? ක්ලාස්,පැක්ටිස්,ගේම් ජීවිතය වූ කොල්ලා අයිස් ගැන දනීද? වජිරා පිස්සු වැටීමට ඔන්න මෙන්නය.

මේ කිසිවෙක් අයිස් ගැන නොදනී.ජීවත් වෙන්න දඟලන ජීවිතවලට අයිස් යනු නුහුරකි. එහෙත් අයිස් හුරු ජීවිත බොහෝය. පිනට ජීවත් වෙන හොරු අයිස් ගැන හොඳින් දනී. එහෙත් උන්ගේ බත්පත්වල අයිස් හොයන්නට කිසිවෙක් ඉඳිරිපත් නොවේ. එනිසාම සදාතනිකව ඔවුහු අයිස් වළදන්නෝය. මත් වන්නෝය. ඒ මතින් තුටු වන්නෝය.

අයිස් නොදන්නා වුන් මතින් ක්ෂය වී යන්නෝය.

Share post:

Popular

වෙනත් පුවත්

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක් 

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...