තිලීපන් සැමරූවන් ‘ත්රස්ත පනත’ යටතේ අත්අඩංගුවට ගෙන සිරගත කළ යුතු යැයි ප්රසිද්ධියේ කියන ලද්දේ ‘උත්තර ලංකා’ සභාගයේ නියමු විමල් වීරවංශ විසිනි. ප්රාණ පරිත්යාගී තිලීපන් මොහොතේදී, ගැටවර විමල් වීරවංශ ස්වකීය අධ්යාපන අනාගතය පවා පරදුවට තබා ජවිපෙ දේශපාලනය තෝරා ගත්, එහි ශිෂ්ය අංශයේ පූර්ණකාලීනයෙකි. තමන්ගේ කළ්යාන මිත්රයා පවා ඝාතනය කළ සිංහල හමුදාවන්ට මානෙල් මල් නෙළීම හරහා තමන්ගේ විප්ලවීය දේශපාලන අනාගතය සෙත්තපෝච්චි කර ගත් විමල්ට, ඇතැම් විට ‘තීලීපන් සමරුව’ විසින් ස්වකීය ‘ලෙමන් පෆ් උපවාසය’ මෙනෙහි කරවා අතීත විප්ලවීය හිත රිද්දනවා වන්නට පිළිවන.
හේතුව කවරක් වුව තිලීපන් සමරුව පරසක්වල ගැසූ මෙකී විමලුන්, ‘ත්රස්ත පනත’ යටතේ අත්අඩංගුවට ගත යුතු දෙමළුන් පිළිබඳ නිර්දේශය දී දින දෙක තුනක් ඇතුළත ලිංගනාදන් ධර්මරාජ් හෙවත් දර්ශන් ධර්මරාජ්ගේ දෙණ අබියස දෑත් එකතු කර වැඳ නමස්කාර කරනා දේශපාලනය අප කියවා ගත යුතු වන්නේ කෙසේද ?
ධර්මරාජ්, අන්තර්ජාල සංවාදයකදී පවුලේ දරිද්රතාව නිසා මෙන්ම, තමන් ‘සිංහල’ ෆේල් වූ බැවින් තමන්ට උසස් පෙළ හැදෑරීම අත්තැරුණු බව අඟවයි. ‘සිංහල’ ෆේල් වූ රක්වානේ දෙමළ මිනිසා සිංහල සමාජයම ජය ගත් නළුවකු වූ තර්කනය තිබෙන්නේ ‘සිංහල’ හෘදය සාක්ෂිය තුළ නොවේද?
ඔහු ‘අප කැමති වර්ගයේ දෙමළෙකි’.
‘ඒ-නයින්’ ටෙලිය හරහා සිදු වූ ඔහුගේ නිශ්චිත දෘශ්ය කලා ආගමනයෙහි මෙන්ම ඉක්බිති තුෂාර පීරිස්ගේ ‘ප්රභාකරන්’, සරත් වීරසේකරගේ ‘ගාමිණී’, බූඩි කීර්තිසේනගේ ‘මාතා’, බෙනට් රත්නායකගේ ‘ඉර හඳ යට’ මතු නොව, චත්ර වීර්මන්ගේ ‘ආලෝකා උදපාදී’ සිට සංජය නිර්මාල්ගේ ‘ප්රාණ’ දක්වාම, ඔහු අතිශය සවිඥානිකව ස්වකීය රංගන ශ්රමය ආයෝජනය කරන්නේ ‘සිංහලේ කේන්ද්රීය’ කලාත්මක අධිනිශ්චය වීම් තුළය.
පරිභෝජනවාදී දෘශ්ය මාධ්යකරණ ක්ෂේත්රයට පහළ වූ දක්ෂ ප්රොපර්ගැන්ඩාකරුවකු වන සිඩ්නි චන්ද්රසේකර, ධර්මරාජ් ‘ඒ නයින්’ නාට්ටියට කැඳවීමෙන් නොනැවතී, රක්වානේ, සාම්ප්රදායික කලාකරුවකු මෙන්ම රක්වාන ශ්රී මුත්තුමාරි අම්මාන් කෝවිලේ සංස්කෘතික කටයුතු වෙනුවෙන් කැප වී සිටි ධර්මරාජ් අප්පාගේ ලිංගනාදන් නාමකරණ උරුමය කප්පාදු කරවා ඒ වෙනුවට සිංහල සමාජයට ‘අල්ලලා යන’ දාර්ශනික නාමයකින් ඔහු බෞතීස්ම කරවීය. අවසන, ‘ඩබල් ඩිස්ටීල්ඩ්’ අරක්කු සිහි ගැන්වෙන ‘ඩීඩී’ දක්වා පරිණාමනය වන්නේ, අප්පාගෙන් විතැන් කර සිංහල සමාජය තුළ රෝපණය කළ දර්ශන් ධර්මරාජ් නම් මෙකී අලුත් නාමකරණයයි.
එපමණද ?
දර්ශන් ධර්මරාජ් නළුවකු වීමේ සිහිනයෙන් හිරිවැටී කොළඹැවිත් නාට්ටාමිවරයකු ලෙස කටයුතු කිරීම, සිංහල සමාජය සුසුම් හෙළමින් රසවිඳින ඔහුගේ ජීවන දෘෂ්ටාන්තය රස ගන්වන රසකාරකයක් බවට පිරිහෙළනු ලැබ ඇත. ඔහු අඩි හතළිහේ කන්ටේනර් පෙට්ටි හිස් කිරීමට තරම් කාය ශක්තියකින් හෙබි දෙමළෙකි; සුදු ලුනූ, කරවල, අර්තාපල්, සහල්, පොල්තෙල්, සීනි, පරිප්පු මතු නොව ‘උප්පු උප්පු’ නොකියමින් ලුනූ මුට්ට කර ගැසූ දෙමළෙකි; මාළු මාරකට්ටුවේ අයිස් අට්ටි, මාළු පෙට්ටි කර ගැසූ දෙමළෙකි.
නාට්ටාමිභාවය යනු ගෙංදගං පොළොවේ හැඳුනුම්පතකින් තොරවැ කළ හැකිව තිබි එකම රස්සාව යැයි ධර්මරාජ් පවසයි. ඉන් ගම්යවන්නේ කුමක්ද? ඔහු හැඳුනුම්පතක් රහිතව රක්වානේ සිට කොළඹ පැමිණි බවද? නැත. ඒ වනාහී, දෙමළ අනන්යතාව පිළිබඳ එකී සමකාලීන මොහොතේ රණකාමී මහ පොළොවේ දේශපාලන තර්කනයයි. ධර්මරාජ් ‘හැඳුනුම්පත’ ගැන කළ ප්රකාශය කවරක් මත පදනම් වී දැයි ප්රශ්නකරුවා විමසන්නේ නැත. දෙමළ හැඳුනුම්පතක් සහිතව කොළඹ සිටීමේ අවදානම ගැන නොකියා කී සේම ලිංගනාදන් ධර්මරාජ්ට මෙම දෙමළ දඩයමෙන් ගැලවෙන්නට බැරි විය. දෙමටගොඩ ත්රස්ත විමර්ශන ඒකකයෙන් ඔහු කුදලා ගෙන යන විට ඔහු දර්ශන් ධර්මරාජ් බවට පත්ව සිටියේ නැත. දෙමළාගේ ඉරණම ගැන අත්දැකීමෙන් අවබෝධ කර ගත්තේ වුව, පීඩාවට එරෙහි වීම වෙනුවට ඔහු විසින් තෝරා ගැනුණේ, සිංහල සමාජයට ආණ්ඩුමට්ටු වුණු දෙමළකු බවට රූපාන්තරණය වීමේ මාර්ගයයි. ඊට අනන්ය වීමේ සිංහලවාදී ගමනයි. ඔහුගේ ඉක්මන් නිස්කාරණ මරණය විසින් සිංහල සමාජය අතිශය වේදනාවට පත් කෙරුණු පදනම ඇත්තේ මෙකී සිංහලකරණීය ක්රියාවලිය තුළයි. සිනමා-ටෙලි කලා වපසරිය තුළ නිනද නැංවෙමින් තිබුණේ, සිංහල සමාජය තව තවත් තෘප්ත කළ හැකි සිනමා රංග පෞරුෂයක් හිමිව තිබූ සුවිශේෂම දෙමළා අහිමි වීමේ වේදනාවයි; හොඳටම ‘සිංහල ටෙලි මුට්ට’ කර ගස්සවා වැඩ ගත හැකිව තිබූ හොඳම දෙමළා අහිමිව යාමේ සංවේගයයි.
සුප්රකට සාහිත්ය-කලා විචාරයකු මෙන්ම ජාතික ජන බලවේගයේ නියාමකයකුද වන අප මිත්ර මහැදුරු හිනිදුම සුනිල් සෙනෙවි ධර්මරාජ්ගේ නික්ම බ්යාමෙන් කම්පිතව මෙසේ ලියයි. ‘’ඔහු මට මාර නළුවෙක්. රිදී තිරයට වඩා ලොකු මිනිහෙක්’’. මෙම ප්රකාශයේ දේශපාලන අවිඥානය විශ්ලේෂණය කර ගැනීම එතරම් අපහසුකර කර්තව්යයක් වන්නේද ?
ඔහුගේ මළගම වෙනුවෙන් වැඩියෙන්ම වැලපුණු දකුණේ සුප්රකට නිළි චරිතය, නිරංජනී ශම්මුගරාජා බව කැපී පෙනෙන්නට තිබිණ. ඇගේ වැලපීමේ යථාර්ථය ඇය තුළ තාර්කිකය. ඇය වැලපෙමින්ම මෙසේ කියයි.
‘‘සිංහල මිනිස්සු දෙමළ මිනිස්සු අතර ප්රශ්න නෑ. ඒ ප්රශ්න හැදුවෙ දේශපාලඥයෝ. ඒකට හොඳම උදාහරණෙ තමයි දර්ශන් වෙනුවෙන් අද වැඩියෙන්ම දුක් වෙන්නේ සිංහල මිනිස්සු’’
මහනුවර සිට කොළඹ පැමිණ, රක්වාන සිට කොළඹ ආ දර්ශන් ධර්මරාජ් දකුණේ සිංහල දෘශ්ය කලා වපසරියට සිදු කළ බලපෑම ඊට සමාන්තරව සිදු කළ සමකාලින ස්ත්රී නියෝජනය වන නිරංජනි, තමන්ගේ නිවුන් සහෝදරයාවන් දර්ශන්ගේ හදිසි නික්ම යාම නිසා මහත් වේදනාවට පත්ව, කඳුළු අතරින් වුව මෙවන් අදේශපාලනික හැඟුම්බර ප්රකාශ නිකුත් කරනවාට සිංහල සමාජය කැමතිය.
ප්රස්තුත රක්වානේ තරුණයාගේ සැබෑ පීඩිත දෙමළ අධ්යාත්මය පාදා ගන්නට ඔහුට කලාත්මක අවකාශයක් තනා දුන්නා නම් ඒ අසෝක හඳගම පමණි. ‘ඉනියවන්’ නම් වූයේ මෙකී බරපතළ අවකාශයයි. ‘ඉනියවන්’ වැරදියට කියවා ගත් සිංහල සමාජය මෙම අලුත් දෙමළා සම්මාන මුට්ට කර ගස්සවා ‘සිංහල’ බර අදින දෙමළ මිනිහෙකු බවට පත් කරලීය. ඉක්බිති ලිංගනාදන් ධර්මරාජ් ගමන් කරන ලද්දේ ‘හඳයා’ පෙන්වූ හෘදය සාක්ෂියේ මඟ ඔස්සේ නොවේ; මේ අතිදක්ෂ, ආකර්ෂණීය රංගන පෞරුෂය සිංහල බෞද්ධ සංහිඳියා පාප්ප බාල්දිය පතුලට ඇද වැටිණ. ඔහු ටෙලි සිනමා මුට්ට කර ගසන්නකු බවට පත් විය.
ඔහුගේ ඉක්මන් මරණයෙහි විශාල පංගුවක්, දෛනික වැටුපට, ඔහුගේ හෘදය ස්පන්දන වේගය පමණක් නොව ඔහුගේ හෘදය සාක්ෂිය පවා එකෙල මෙකෙල කරලමින් අධිකව ‘වැඩ ගත්’ නාටකකාරකාදීන් භාර ගත යුතුය. ඔහුගේ දෙණ අසල හැඟුම්බර වූයේ පසෙකින් මෙකී යථාර්ථයේ නිර්මාණකාරකයන් වූත් පසෙකින් එහි ගොදුරු වූත් ‘හිත මිත්ර’ චරිතයන්ය.
දකුණේ දේශපාලනය දත් හඳයා, මෙම සමුගැන්ම ගැන හැඟුම්බර කතා කියන්නට ගියේ නැත. ඔහු ලීවේ මෙපමණකි.
“ලොව ඇත්තේ යාම් ඊම්ය – නොගොස් එන්ට බැරිය – නෑවිත් යන්ට බැරිය”
සරත්චන්ද්රව උපුටා දක්වමින් කැඩිච්ච සිංහලෙන් ‘මේ පාරෙන් එන්න’ හි උඹ කිවූ හැටි තාමත් මතකයි…..සුබ ගමන් ‘ඉනි අවන්’ !
‘ඉන් අවන්’ බවට රූපාන්තරය කෙරුණු ධර්මරාජ් එකී සිනමාපටයේ මෙසේ පවසයි.
‘’ඒ යුද්ධෙන් දාස් ගාණක් මැරුණා. නොමැරී ඉතිරි වෙච්ච කරුමෙ, මට තනියම ගෙවන්න ඉඩ දීපල්ලා’’
එසේ පැවසූ ‘අලුත් දෙමළා’ සංකේතීයව මිය ගොස් ඇත. ඉන් වරනැඟෙන දේශපාලන අරුත, සමාජයක් ලෙස අප කියවා ගත යුතුය.